ගුරු සිසු සබඳතාවක සටන්කාමී අරගලය

The Karate Kid
සැප්තැම්බර් 15, 2022

ඒ 1964 වර්ෂයයි. ඇමෙරිකාවේ ලෝක වෙළඳ සැණකෙළිය අවසන් දින එවකට 17 හැවිරිදි වයසේ පසුවු ⁣'රොබට් මාර්ක් කාමන්'ට එම වයසේම චණ්ඩි කොලු රෑනක් වට කරගෙන, ඔහුව අඩපණ වන තෙක් අතින්, පයින් ගැසූහ. එයට මුල් වුණු හේතුව නිසියාකාරව ඔහු දැනගෙන සිටියේද නැත. කිසිදු සටන් ක්‍රමයක් නොදැන සිටි ඔහුට, මෙම මැර කොලු රෑන අතින් පයින් තදින් ගසන විට, එම පහරවල් වලක්වා ගැන්මට හැකියාවක් නොවීය. කිසියම් හෝ සටන් ක්‍රමයක මූලික සිද්ධාන්ත ටිකවත් හරි හැටි නොදැන සිටීමේ ආදීනත්වය එදින ඔහු අත්විදීය.

මෙම සිදුවීම නිසා ඔහු මාර්ෂල් ආර්ට්ස් සටන් කලාව ඉගෙන ගැන්මට යොමු විය. හුදෙක් ඒ ආරක්ෂා ක්‍රමවේදය දැන ගැන්මටය.

ඔහු ඇතුළත් වූ පළමු පන්තියේ ගුරුවරයා උගන්වන ක්‍රමය ඔහුට ගෝචර නොවීය. ඒ එතන බොහෝ විට ඉගැන්නුවේ ආරක්ෂක ක්‍රමවේදවලට වඩා, උරෙන් උර සටන් කර ප්‍රතිවාදියාව දරුණු ලෙස තුවාල කිරීම හෝ මරණයට පත් කිරීම නිසාය. එහෙයින් කාමන්, එයින් ඉවත් වී ජපන් ගුරුවරයෙකු ළඟ ඉගෙනුම කරගෙන ගියේය. එකී ජපන් ගුරුවරයාට ඉංගී‍්‍රසි කතා කිරීමට නොහැකි වූවත් ඔහු එකල ලොව ප්‍රසිද්ධ මාර්ෂල් ආර්ට්ස් ගුරුවරයෙකු වූ චෞජුන් මියාගිගේ ගෝලයෙකු විය.

මේ අතරේදී හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක 'ජෙරි වෙයින්ට්‍රවුබ්'ගේ ඇස එදින පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් වෙත ගියේය. එහී තිබුණේ ඇමරිකාවේ එක් මවක් තමාගේ කුඩා දරුවාව මාර්ෂල් ආර්ට්ස් පන්තියකට දමා කළු පටි ශ්‍රේණියට එනතෙක් ඉගැන්වීමට යොමු කළේ එකී දරුවාට, තවත් චණ්ඩි කොලු රෑනක් නිතරම අඩන් තේට්ටම් කරන නිසාය. ජෙරි වෙයින්ට්‍රවුබ් මෙම සිදුවීමේ ප්‍රවෘත්තිය, රොබට් මාර්ක් කාමන්ට දුන්නේ මෙය තේමා කර ගනිමින් චිත්‍රපට තිර නාටකයක් ලියන ලෙසටය. කාමන්, තමාට චණ්ඩි කොලු රෑනගෙන් සිදුවූ සිදුවීමත්, මෙම ප්‍රවෘත්තියේ සිදුවූ සිදුවීමත් එකතු කර හොඳ තිර නාටකයක් ලිවීය.

චිත්‍රපට නිෂ්පාදක ජෙරි වෙයින්ට්‍රවුබ් එම තිර නාටකය ගැන පැහැදී එය අධ්‍යක්ෂණය කිරීමට , සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපෑ 'රොකී' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර අතී සාර්ථක වී සිටි ජෝන් ඩී ඇවිල්ඩ්සන්ට භාර දුනි. 1984 ජුනි 22 වෙනි දින කොලොම්බියා චිත්‍රපට සමාගම විසින් බෙදා හරිනු ලැබු එම චිත්‍රපටය 'ද කරාටේ කිඩ්' නම් විය.

ජෙරි වෙයින්ට්‍රවුබ් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වෙන් කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 8 කි. අධ්‍යක්ෂක ජෝන් ඩී. ඇවිල්ඩ්සන්ට මෙම චිත්‍රපටය කළ යුතුව තිබුණේ මේ මුදල් සීමාව තුළය. ඔහු මෙම තිරනාටකය සිල්වෙස්ටර් ස්ටෙලෝන්ට පෙන්වූ විට ඔහු කීවේ, තම 'රොකී' චිත්‍රපටයේ කතා සාරය, අනුකරණය කර ඇති බවකි. වෙනසකට ඇත්තේ රොකී බොක්සිං ක්‍රිඩකයෙකු ගැනත්, කරාටේ කිඩ් කාරාටේ ශිල්පියෙකු ගැනත් පමණක් කියාය. නමුත් අධ්‍යක්ෂ ඇවිල්ඩ්සන් එය එකහෙළා පිළිගත්තේ නැත. එහෙත් චිත්‍රපට දෙකේ සමානත්වයක් තිබෙන බවක් නම් දෙකම නැරඹූ ප්‍රේක්ෂකයන් දැනුණි. බොහෝ විට ඒ එකම අධ්‍යක්ෂවරයෙක්, එකිනෙකට කිට්ටුවෙන් යන තේමා දෙකක් අධ්‍යක්ෂණය කළ නිසා විය හැකිය.

'ද කරාටේ කිඩ්' චිත්‍රපටය ගලා ගියේ ප්‍රධාන චරිත දෙකක් හරහාය. එයද පිරිමි චරිත දෙකක් විය. එලෙසම ඔවුන් අතරේ තිබූ වයස් පරතරයද විශාල විය. ඩැනියල් ලාරූසෝ වයස 17ක් පමණ වූ අතර, මියාගි මහතා වයස 65ක් - 70ක් පමණ විය. චිත්‍රපටය ජනප්‍රිය කළ යුත්තේ මෙවන් පසුබිමක් හරහාය. එහෙයින් එය හදවතට කාවදින ලෙස ඉදිරිපත් කළ යුතු වේ.

අධ්‍යක්ෂ ජෝන් ඩී. ඇවිල්ඩ්සන්, එහි ප්‍රධාන චරිතය වූ ඩැනියල් ලාරූසෝගේ චරිතයට නළුවන් කීප දෙනෙක් ගැනම තම අවධානය යොමු කළේය. ශෝන් පෙන්, රොබට් ඩව්නි ජූනියර්, චාර්ලි ෂීන්, ජොන් ක්‍රයර්, එමිලො එස්ටිවෙස්, නිකොලස් කේජ්, ඇන්තනී එඩ්වඩ්ස්, තෝමස් හෝවෙල්, ටොම් කෘස්, එරික් ස්ටෝල්ට්ස්, හා ඩී.බී.ස්වීනි ඒ අතරේ විය. අවසානයේදි එම චරිතයට තෝරා ගැනුණේ, 1983 වසරේ ප්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා අධ්‍යක්ෂණය කෙරූ 'ද අවුට්සයිඩර්ස්' චිත්‍රපටයේ රඟපෑ 'රැල්ප් මාචියෝ'වය.

මියාගි මහතාගේ චරිතයට අධ්‍යක්ෂක හා නිෂ්පාදක කණ්ඩායමට අවශ්‍ය වූයේ අකිරා කුරෝසාවාගේ චිත්‍රපට වූ 'රෂොමන්', 'සෙවන් සමුරායි', 'ද හිඩන් ෆොට්‍රෙස්' , හී ප්‍රධාන චරිතය රඟපෑ තොෂිරෝ මිෆුනේ තෝරා ගැන්මටය. එහෙත් ඔහුට ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට හෝ අවම වශයෙන් එය තේරුම් ගැනීමටවත් හැකියාවක් නොතිබූ නිසා ඔවුනට වෙනත් නළුවෙකු ගැන සිතන්නට සිදු විය. ඔවුන් එයට 'පැට් මොරිටා' හා සම්මුඛ පරික්ෂණයකට එළැඹුණද, ඒ වන විට ඔහු විකට චිත්‍රපටවල රඟපාමින් සිටි නිසා, මෙවන් බැරෑරුම් චරිතයකට විකට නළුවෙකු සුදුසු නොවේ යැයි ඔවුනට සිතුණි. පසුව නළුවන් කීපදෙනෙක් ගැන සොයා බැලුවද, මෙම චරිතයට ගැළපෙන කෙනෙක් ඒ අතරේ නොවීය. මේ අතර පැට් මොරිටා තම උඩු රැවුලට අමතරව, යටි රැවුලද වවා තිබුණි. නිෂ්පාදන කණ්ඩායම යළිත් වරක් ඔහුව පරීක්ෂණයකට කැඳවූ අතර, එතැනට ඔහු පැමිණියේ අර යටි රැවුලත් සමඟය. ⁣මෙම වෙනස සමඟම ඔහු දුටු අධ්‍යක්ෂ මේ තමාගේ මනසේ මැවී සිටින චරිතයම නොවේදැයි සිතින් තර්ක කළේය. යළි සිතා බැලීමක් නොවීය. ඔවුහු පැට් මොරිටාව 'මියාගි' මහතාගෙ චරිතයට තෝරා ගත්තේය.

චිත්‍රපටය පටන් ගැනෙන්නේ 17 හැවිරිදි ඩැනියල් ලාරූසෝ ඔහුගේ මව වූ ලුසිලි සමඟ ඇමරිකාවේ නිව් ජර්සි සිට කැලිෆෝනියා හි පදිංචියට ඒමෙනි. ඔවුන්ගේ නිවසට අල්ලපු නිවසේ සිටියේ මැදි වයසද පසු කෙරූ තනිව ජීවත් වන ජපන් ජාතිකයෙකි. ඔහු නිහඬ, එහෙත් විනය ගරුක, කරුණාවන්ත පුද්ගලයෙක් බව එහී ආ මුල් දිනයේම ඩැනියල්ටත්, ඔහුගේ මවටත් වැටහුණි.

'මියාගි' නම් වූ මේ වයෝවෘද්ධ ජපන් ජාතිකයා ව ඩැනියල් හා ඔහුගේ මවට පෙනුණේ විටෙක වඩු කාර්මිකයෙක්, තවත් විටක විදුලි කාර්මිකයෙක් මෙන්ම තව බොහෝ වැඩ කළ හැකි 'හැන්ඩි මෑන්' කෙනෙක් ලෙසටය. එලෙසම ඔහු නිතරම තමන්ගේ පාඩුවේ ජීවත් වූ කෙනෙක් විය.ඔහු කුමක් හෝ විශාල දුකක් සිතේ දරාගෙන සිටිනවා විය හැකියැයි ඩැනියල්ගේ මව ලුසිලිට කීප විටක් සිතුණද, ඇය ඒ ගැන දිගින් දිගටම සිතන්නට ගියේ නැත. ඩැනියල්ට වුවද, ඔහු ගැන විශේෂිත ඇල්මක් නොවීය. අන් අතකට, ඩැනියෙල්ගේ සීයාටත් වඩා වයස මේ පුද්ගලයා සමඟ අවුරුදු 17 ක කොලු ගැටයෙකුට ඇත්තේ කුමන ඵලයක් ද?

සියලු සිදුවීම් ඇරඹුණේ ඩැනියල් මුහුදු වැල්ලේ රාත්‍රි සාදයට සහභාගි වූ පසුවය. එදින ඔහු එයට එක්වූයේ ඔහුගේ හොඳම මිතුරිය වූ ඇලී මීල්ස්ගේ ඉල්ලීමටය. එහෙත් එම සාදයට ඇයගේ පෙර පෙම්වතා වූ ජොනි ලෝරන්ස් ඔහුගේ මිතුරු කණ්ඩායම සමඟ පැමිණ සිටියහ. ඔවුන් සියල්ලෝම මාර්ෂල් ආර්ට්ස් කළුපටිධාරින් විය. ඔවුන් නගරයේ 'කෝබ්රා කායි ඩොජෝ' කරාටේ පාසැලේ සිසුන් වූ අතර, එහී උපදේශකයා වූයේ වියට්නාම් යුධ බළකායේ සිටි හමුදා නිලධාරියෙකු සේම, අතිදක්ෂ මාර්ෂල් ආර්ට්ස් සටන්කරුවෙකු වූ 'ජෝන් ක්‍රීසිය'. එලෙසම ඔහු ඉතාමත් දරුණු පුද්ගලයෙකු විය. ඔහු ඔහුගේ සිසුන්ට මාර්ෂල් ආර්ට්ස් කලාව ඉගැන්වූයේ ආරක්ෂිත සටන් ආකාරයට නොව, සටන් කර ප්‍රතිවාදියාව පරාජය කරන්නටය. ඔහු නිතරම කියනුයේ ඒ පරාජයන් කළ යුත්තේ දරුණු අන්දමට බවය.

මෙම මුහුදු වැල්ලේ සාදයට තම පැරණි පෙම්වතිය, හැඩකාර කොලුවෙක් සමඟ පැමිණීම ගැන ජොනි ලෝරන්ස් සතුටට පත් වූයේ නැත. ඔහුට අවශ්‍ය වී තිබුණේ තම පරණ පෙම්වතියට රිදවන්නටය. ඒ ඔහුව අතහැර ගිය නිසා වන්නට ඇත. එහෙයින් ඔහු, තම කණ්ඩායම සමඟ පැටලුණේ ඩැනියල් සමඟය. ඔවුන් ඩැනියල්ට අපහාස කරමින් ඔහුට අඩන් තේට්ටම් කළේ ඇලී මීල්ස්ට රිදවන්නටය. ඇයට රිදීම කෙසේ වෙතත්, ඩැනියල්ට නම් හොඳටම රිදුණේ ඔවුනගෙන් හොඳ හැටි බැටකෑ නිසාය. 17 හැවිරිදි , කිසිදු සටන් ක්‍රමයක් හෝ ඉගෙන නොගත් ඩැනියෙල් වැන්නෙක් කළුපටිධාරි මැර කොල්ලන් රංචුවකට මැදී වීම හරියට සිංහ රැලකට අසුවූ හා පැටියෙක් ගානය.

තමාට කිසිසේත් කළ නොහැකි වූවත්, කෙලෙසක හෝ මොවුන්ගෙන් පළිගන්නා බව ඩැනියෙල් ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. එසේ බලාපොරොත්තු වී සිටි දිනය ඉක්මනින් උදාවූයේ 'හලෝවින්' උත්සවය දිනදීය. 'හලෝවින්' උත්සවය දින හැමෝම ඇඳ පැලඳ ගෙන සිටියේ, අවතාර, යක්ෂ හා හොල්මන් මෙනි. එහෙයින් එකිනෙකාව එක්වරම හඳුනා ගැන්මට අපහසු විය. ඩැනියල් සහ ඇලී මීල්ස්ද, අවතාර මෙන් ඇඳ පැලඳ සිටියහ. ජොනි ලෝරන්ස් හා ඔහුගේ චණ්ඩි කොලු රෑනද එක් එක් අවතාර ඇඳුම් ඇඳ සිටියහ. කල් යල් බලා ඩැනියල් ඔවුන් දෙසට වතුර පයිප්පය හැරවිය. ඔවුන් සියල්ලෝම වතුරෙන් නෑවුනි. ඔවුන් රෑනම ඩැනියල් පිටු පස එළවා ගොස් ඔහුට ගුටි බැට දෙන්නට විය. ඇලී මිල්ස් එය බේරන්නට පැමිණියද, ඇයටද එකී ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. අද නම් මොවුන්ගෙන් ඩැනියල්ට කිසිදු ගැලවිල්ලක් නැති බව, ඔහුටත්, ඇයටත් වැටහුණි. එහෙත් ඔවුන් සිතුවා වැරදිය. හදිසියේම එතැනට කිසිවෙක් පැමිණ විදුලි වේගයෙන් මාර්ෂල් ආර්ට්ස් පහර කීපයක් එල්ල කළ අතර, එම ඉතාමත් දරුණු පහරවල්වලින් බැට කෑ ජොනි ලෝරන්ස් සහ ඔවුන්ගේ චණ්ඩි, කරාටේ කලුපටිධාරින් හිස් ලූ ලූ අත දිව්වහ. සියල්ලන්ටම අදහා ගැන්මට නොහැකි ලෙස මෙතරම් වේගයකින් හරඹ පෙන්නූ තැනැත්තා කවුදැයි හිස ඔසවා බැලූ ඩැනියල්ට තම දෑස් අදහා ගත නොහැකි විය. ඒ වෙන කව්රුත් නොව, තම සීයාටත් වඩා වයසැති, තමා විසින් අවතක්සේරූ කෙරූ තමාගේ අසල්වැසියා මියාගි මහතාය.

බොහෝ නිහඬව, කේඩැරි චරිතයක් ලෙස තම අසැල්වැසි නිවසේ සිටි මේ මහලු මිනිසා ගේ අසාමාන්‍ය ජවය හා වේගවත් මාර්ෂල් ආර්ට්ස් හරඹය දුටු ඩැනියල් හා ඇලී මීල්ස් මවිතයට පත්වී යළි පියවි සිහියට එන්නටත් විනාඩි ගණනක් ගතවිය. ඒ මොහොතේ මියාගි එතැනට නොපැමිනුණා නම් ඩැනියල්ගේ කෑලිවත් සොයා ගැන්මට නොහැකි වනු ඇත. එතැන් සිට ඩැනියල්ගේ වීරයා වූයේ මියාගිය.

ඉන්පසු ඩැනියල් මියාගි ළඟට ගොස් ඉල්ලා සිටියේ තමාටත් කරාටේ උගන්වන ලෙසටය. මියාගි එය ප්‍රතික්ෂේප ⁣කළ අතර, ඔහු කීවේ 'කෝබ්‍රා කායි ඩෝජෝ' පාසලට ගොස් ජෝන් ක්‍රීසිගෙන් ඉගෙන ගන්නා ලෙසටය. තමා ඩැනියල් ව එතැනට රැගෙන යන ලෙසද පොරොන්දු විය. එසේ පොරොන්දු වූ සේම මියාගි, ඩැනියල්ව ජෝන් ක්‍රීසි ළඟට රැගෙන ගියේය. මියාගි කවුද යනු ජෝන් ක්‍රීසි හොඳ හැටි දැනගෙන සිටි අතර, තමාට මාර්ෂල් සටන්වලින් පරද්දන්නට නොහැකි, එකම පුද්ගලයා මියාගි බවත් ජෝන් ක්‍රීසි දැනගෙන සිටියේය. එහෙයින් ඩැනියල්ව තමාගේ 'කෝබ්‍රා කායි ඩෝජෝ' පාසලට ඇතුළු කර ගෙන කරාටේ ඉගැන්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට මියාගි කීවේ එසේ නම් ඩැනියල්ට, ඔහුගේ පාසලේ ජොනි ලෝරන්ස් ඇතුළු අනෙක් කොලු රෑන කරන හිංසා නවත්වන ලෙසටය.

එහෙත් ජෝන් ක්‍රීසි එයද ප්‍රතික්ෂේප කළේය. නමුත් ඔහු, ඔවුනට එක් අවස්ථාවක් දුනි. එනම් ළඟ එන කරාටේ ශූරතා තරඟාවලියේ අවුරුදු 18 න් පහළ තරගවලින් ඩැනියල්ට තරග කර තම සිසුන්ව පරද්දන ලෙසටය. යම් හෙයකින් ඩැනියල්ට එය නොහැකි වුව හොත්, ඔහුට ⁣තම සිසුන් දැන් කරන හිංසාවන් දිගටම කරගෙන යන බවට තදින්ම අවවාද කළේය. ඇත්තෙන්ම මෙම සිදුවීම තුළදී පැහැදිලිවම පෙනුණේ ජෝන් ක්‍රීසි, මියාගි සමඟ කිසියම් ⁣ වෛරයකින් පසු වන බවකි. ජෝන් ක්‍රීසි, ඩැනියල්ගේ සිදුවීම හරහා මියාගිට රිදවන්නට උත්සාහ කරන බවක් මියාගිට වැටහුණි. ඒ නිසාම මියාගි ඔහු දුන් අභියෝගය භාර ගත්තේ ඩැනියල්ව මවිතයට පත් කිරීමෙනි.

ඩැනියල් , මියාගිට කිවේ 'තමා කරාටේ ගැන අකුරක්වත් නොදැන කළුපටිධාරින් සමඟ කෙසේ සටන් කරන්නටද' කියාය. 'මෙය ඔවුන් හිතාමතාම ඇටවූ උගුලක් බවත් , එය තේරුම් ගැන්මට තරම් මොළයක් මියාගිට නොමැති වීම තමාට විශාල පුදුමයක්' බවත් කියා ඔහු මියාගිට දොස් කීය. මෙතරම් අත්දැකීමක් තියෙන මියාගිත් ඔවුනගේ උගුලට අසුවී තිබෙන බවත්, අවසානයේදී ඒවාට වන්දි ගෙවන්නට වෙන්නේ තමාට යැයි කියා ඩැනියල් කී විට මියාගි ඩැනියෙල්ගෙන් ඇසුවේ 'අර කළු පටිධාරි චණ්ඩි කොල්ලන්ගෙන් හැමදාම ගුටි කන්න කැමතිද' කියාය. ඩැනියල් හිස වනා 'නැහැ' කියා කී විට, මියාගි කීවේ ' එසේ නමි කරාටේ තරගාවලියට තරඟ කිරීමට සුදානම් වන ලෙසටය. එවිට ඩැනියල් කීවේ ' තමාව 'කෝබ්‍රා කායි ඩෝ ජෝ' පාසලට නොගන්නා නිසා කරාටේ ඉගෙන ගැනීමට තැනක් නොමැති' බවය. එවිට මියාගි කීවේ හෙට උදයේ 7 වන විට තම නිවසට පැමිණෙන ලෙසටය. තමා විසින් ඩැනියල්ට කරාටේ පුහුණුව ලබා දෙන බවද මියාගි කීවේය. ඩැනියල්ට එක්වරම සිහිවූයේ එදා හදිසියේම පැමිණ ඩැනියල්ට ගුටි බැට දෙන කළුපටිධාරි මැර කොල්ලන්ට මියාගි විසින් එළව එළවා පහර දුන් ආකාරයයි. මෙම තරගාවලියට තමාව සහභාගි කරවීමට පමණක් නොව, තමාව දිනවීමටද කිසියම් සැලැස්මක් මියාගිගේ සිතේ තිබෙන බවක් ඩැනියෙල්ට වැටහුණේ එවිටය.

පසුවදා උදයේම ඩැනියල් මාර්ෂල් ආර්ට්ස් පුරුදු වීම සඳහා මියාගිගේ නිවසට ගියේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. ඔහු සිතුවේ කරාටේ පුරුදු වන සුදු ඇඳුම ඇඳගෙන, මුල් අභ්‍යාස ටික පටන් ගනීවී කියාය. එහෙත් ඔහුට මුලින්ම ලැබුණේ කාර් සේදීමටය. ඊට අමතරව මියාගිගේ වහලෙක් සේ තවත් බර වැඩ කිරීමටය. ඔහු දින දෙක තුනකින් මෙය අත් හැර දමා ගෙදර ගියේය. එසේ ගියද, ඔහුට ඉදිරියේදීත් ජොනි ලෝරන්ස් හා ඔහුගේ ගැන්සියෙන් විඳීන්නට ලැබෙන ගුටි බැට, හිංසා මතක් විය. එලෙසම ඔහුට මියාගි විසින් කරන්නට දුන් කාර් සේදීම් ඇතුළු අනෙක් බර වැඩවල කිසියම් සැඟවුණු හේතුවක් තිබෙන බවක් සිහිවිය. කාර් සේදීමේදී, තම අත් දෙක පාවිච්චි කළ යුතු අන්දම මියාගි කියා දුන්නේ එක්තරා ආකාරයකටය. වම් අත පහළට, දකුණු අත ඉහළට, ඉන් පසු දකුණු අත පහළට, වම් අත ඉහළට , ඉන් පසු ඒ දෙකම රවුමට, කරමින් ය කාර් වලට ෂැම්පු කළ යුත්තේ. ඔහු තම අත් දෙක ඒ ආකාරයට කර බැලීය. එහි මාර්ෂල් ආර්ට්ස් සටන්වල දෑත් හසුරුවන ලතාව පැහැදිලිවම ගැබ් වී තිබුණි. මියාගි යනු කිසිදාක කියවා තේරුම් ගැන්මට නොහැකි පොතක් බඳු යැයි ඩැනියල්ට වැටහුණේ එවිටය. ඔහු යළි මියාගි සොයා ගියේය.

එතැන් සිට ඔහු මියාගි කියන අන්දමට පුරුදු පුහුණු විය. එය ඇත්තෙන්ම කිසිදු අයුරකින් හෝ පහසු වූයේ නැත. නමුත් ඒ දුෂ්කර පුහුණුව තමාට පන්නරයක් වන බවක් යොවුන් ඩැනියෙල්ට දැනුණි. විටෙක මුහුදු වැ⁣ල්ලෙ, තවත් විටෙක මුහුදේ ගලක් උඩ තම පාද සමබරව තබා ගැන්ම, එයට සරිලන සේ දෑත් හසුරවීම, එලෙසම දකුණු පාදයට බර කර වම් පාදය ඔසවා පහර දෙන විට අත් චලනය කිරීම වැනි බොහෝ දේ ඔහු මියාගිගෙන් ඉගෙන ගත්තේය.

මෙලෙස ඩැනියල් පුහුණුව ලබන විට ඔවුන් දෙදෙනා නොදැනුවත්වම එකිනෙකා හා දැඩි සබඳකමක් ගොඩ නැඟෙන්නට විය. මියාගි, තම බිරිඳ, තම පුත්‍රයාව ප්‍රසුත කරන විට දෙදෙනාම මිය යෑමේ පුවත, පවා ඩැනියල්ට හෙළි කළේය.

ඩැනියල්, මියාගිගේ පුහුණුවේදී ඉගෙන ගත්තේ කරාටේ පමණක් නොව. ජීවිතයට අවශ්‍ය ගුරු හරුකම් මෙන්ම තමන් තමාව පාලනය කර ගන්නා අන්දම පවා ඉගෙන ගත්තේය. එලෙසම මියාගි ඩැනියල් තම පෙම්වතිය ලෙස ඇලී මීල්ස්ව තෝරා ගැන්ම ගැන ඉමහත් සතුටට පත් වූ අතර, ඔහු, ඔවුනගේ ආදරය ගලා යෑමට හැකි හැම උපකාරයක්ම කළේය.

ඩැනියල්ගේ 18 වන උපන් දිනයට මියාගි ඔහුට අපූරු ත්‍යාගයක් දුනි. ඒ කාර් රථයකි. ඩැනියල්ට එය අදහා ගැන්මට නොහැකි විය. මියාගි ඩැනියල්ට කාර් රථය තෑගි කර කිව්වේ, එම කාර් එකෙන් ඇලී මීල්ස් සමඟ රවුමක් ගොස් හොඳ කෑමක් කා එන ලෙසටය.

මියාගිගෙන් ලද කෙටි එහෙත් දුෂ්කර පුහුණුවකින් පසු ඩැනියල් මාර්ෂල් ආර්ට්ස් තරගවාලියට මුහුණ දීමට ලක ලෑස්ති විය. ඒ වන විට ඔහුගේ මානසික මට්ටමද හොඳ තත්ත්වයක තිබුණි.

තරගාවලිය පටන් ගති. 'කෝබ්‍රා කායි ඩෝජෝ' පාසලේ සියල්ලෝම තම උපදේශක ජෝන් ක්‍රීසි සමඟ පැමිණ සිටියහ. ඔවුන් සියල්ලන්ටම උවමනා වූයේ ඔවුන්ගේ සිසු⁣න් අතින් ඩැනියල් පරාද වෙනවා දකින්නටය. ඩැනියල්ට සහයට සිටියේ මියාගි සහ ඇලී මීල්ස් සහ ඔහුගේ මව පමණි.

පළමු තරග වාරයන් හි ඩැනියල් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරන අන්දමට හරි අපූරුවට තරඟ කළ අතර, මියාගි විසින් ඔහුට ඉගැන්වූ බොහෝ සටන් විධිවලින් ප්‍රයෝජන ගෙන, ප්‍රතිවාදීන් වූ ජෝන් ක්‍රීසිගේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක්වම පරාජය කළේය. එහෙයින් ඔහුට අර්ධ අවසන් පූර්ව තරගයට එන්නට හැකි විය. මෙය ජෝන් ක්‍රීසිවත්, ඔහුගේ පාසැල වූ 'කෝබ්‍රා කායි ඩෝජා' හි සිසුන් බලාපොරොත්තු නොවූ දෙයකි.

අර්ධ අවසන් පූර්ව තරගයේදී කෙසේ හෝ ඩැනියල්ව පැරදවීමට ජෝන් ක්‍රීසිට උවමනා විය. පැරදවීමත් සමඟ ඩැනියල්ගේ කකුලක් කඩා දැමීමට ද ඔහුට උවමනා විය. කුමක් හෝ පෙර සිදුවූ විශේෂිත සිදුවීමක් නිසා, ජෝන් ක්‍රීසි මියාගි සමඟ සිටියේ කිසියම් වෛරයකිනි. ඒ හෙයින් ඔහුට අවශ්‍ය වූයේ ඩැනියල්ට අනතුරක් කරමින් මියාගිට රිදවන්නටය. එහෙයින් ඔහු, ඔහුගේ දෙවැනි හොඳම ශිෂ්‍යයා වූ බොබි බ්‍රවුන්ට කීවේ අර්ධ අවසන් පූර්ව තරඟයේදී ඩැනියල් සමඟ තරග කරන විට, නිත්‍යානුකූල නොවී හෝ ඔහුගේ කකුලකට ප්‍රහාර එල්ල කොට, ඔහුව අබ්බගාත තත්ත්වයකට පත් කරන ලෙසටය. ඒ කී ලෙසටම බොබී බ්‍රවුන්, ඩැනියල් සමඟ තරග බිමේදී අනිත්‍යානුකූල පා පහරකින් ඔහුගේ දණහිස ආබාධිත තත්ත්වයට පත් කළේය. ඩැනියල් සටන් වළල්ලෙම ඇදගෙන වැටුණි. තරග සංවිධායකවරු වහාම ඔහුව එහි තිබූ ප්‍රථමාධාර කාමරයට රැගෙන ගියහ. ඔහුගේ කකුලට බරපතළ ලෙස ඇතුළතින් තැළීම් සිදුවී ඇති හෙයින්, එම තත්ත්වය මත ඔහුට යළිත් තරග කිරීමට නොහැකි, නිසා ඔහු තරගයෙන් ඉවත්වූවකු සේ සැලකීය.

මියාගි හා ඇලි මීල්ස් හැකි අයුරින් ඩැනියල්ට උපස්ථාන කරන්නට විය. මෙවන් අවස්ථාවක කළ යුතු දේ ගැන හොඳ අවබෝධයකින් සිටි මියාගි වුවද, තරමක බලාපොරොත්තු කඩ වීමකින් පසු විය. එහෙත් ඔහු කළ යුතු හැම ප්‍රථමාධාරයක්ම ඩැනියල්ට කළ අතර, ඩැනියල්ගේ මානසිකත්වය නංවා ලන්නට බොහෝ දෑ කීවේය. ඩැනියල් මියාගිට කීවේ තමන්ට කෙසේ හෝ තරගයට යළි අවතීර්ණ වීම⁣ට අවශ්‍ය හෙයින් මෙවන් අවස්ථාවක ජපනුන් යොදන ⁣'රෙයිකි' නම් ප්‍රතිකර්මය කරන ලෙසටය. 'රෙයිකි' යනු බෙහෙත් වෙනුවට ශක්තිය ඒමට කරන ප්‍රතික්‍රියාවකි. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ 'පාර්ම් හීලිං ' නැත්නම් 'හෑන්ඩ්ස් ඔන් හීලිං' නමිනි. එය රෝගී තැනැත්තාට ආත්මීය හා ශාරීරිකව ප්‍රතිශක්තිය ලබා දෙනු ඇත. මියාගි මේ ක්‍රමය හොඳාකාරව දන්නා බව ඩැනියල් දනී. ඒ නිසාය ඔහු මියාගි⁣ට ඒ බව මතක් කළේ. මියාගි වහා 'රෙයිකි' ක්‍රමය යොදවා ඩැනියල්ව නැඟිටුවා ගති.

මේ අතරේ ජොනි ලෝරන්ස් නිතරගයෙන්ම වසරේ මාර්ෂල් ආර්ට්ස් ශූරතාව තමා සතු කර ගැන්මේ අවස්ථාවට මුහුණ දෙමින් සිටියේය. ඒ අතරේ ඩැනියල් කොර ගසමින් හෝ තරග වළල්ලට පැමිණියේ සියල්ලෝම මවිතය⁣ට පත් කරමිනි.

තරගය යළි පටන් ගති. තනි කකුලෙන් ප්‍රතිවාදියාට පහර දෙන අන්දම මියාගි ඩැනියල්ට බොහෝ වාර ගණනාවක් උගන්වා තිබූ හෙයින්, ඔහු එකී ක්‍රමවේදය යොදවමින් ජොනිගේ නහයට ගැසුවේ නහයෙන් ලේ පෙරෙන්නටය. ජෝන් ක්‍රීස්ට තම දක්ෂතම සිසුවා වූ ජොනි ලෝරන්ස් පරදින්නට යන බවක් වැටහුණෙන් ඔහු ජොනිට ඇස් සංඥාවකින් කීවේ ඩැනියල්ගේ ආබාධිත වූ කකුලට තියුණු පහරක් එල්ල කරන ලෙසටය. ජොනි ඒ අනුව ඩැනියෙල්ගේ තුවාල වූ පාදය එල්ල කරා දැඩි පා පහරක් ගසන්නට උත්සාහ කලද, ඩැනියල් තනි කකුලෙන් සිට මුහුදු වෙරළේදී මියාගී උගන්වා තිබූ උඩ පැන ගසන පා පහර කෙළින්ම එල්ල කළේ ජොනීගේ මුහුණටය. ඒ පහර ජොනීට තදට වැදුණු අතර, ඔහුව වේගයෙන් විසිවී ගොස් තරග වළල්ල මැදට වැටුණේ, යළි සෑහෙන වේලාවකින් වත් නැඟීටීමට නොහැකි වන අන්දමටය. ඒ අනුව ඩැනියෙල් ලාරුසෝ වැඩි ලකුණු ප්‍රමාණයක් ගෙන තරගාවලියේ ජයග්‍රහණ කුසලානය ලබා ගති. තුවාල වී සිටියදීත් මෙතරම් විස්කමක් පෑ ඩැනියල් ගැන වඩාත්ම ආඩම්බර වූයේ මියාගිය. එලෙසම මෙම ජයග්‍රණයෙන් වඩාත්ම රිදුණේ ජෝන් ක්‍රීසිටය. එය මියාගි සමඟ වෛරය වැඩි කර ගැන්මට තවත් හේතුවක් විය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 8 ක ඇස්තමෙන්තුවට නිර්මාණය වූ 'ද කරාටේ කිඩ්' ලොව වටා ප්‍රදර්ශනය කිරීමෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් විය. එය ඇමෙරිකාවේ 1984 වර්ෂයේදී තිරගත කරන ලද චිත්‍රපට අතුරෙන් තවත් විශාලතම ආදායමක් ලැබූ චිත්‍රපටයක් විය. එතෙක් විකට නළුවෙක් ලෙස හංවඩු ගැසුණු නළු 'පැට් මොරිටා' චරිතංග නළුවෙකු ලෙස පැමිණීම පමණක්ම නොව මෙම මියාගි මහතාගේ චරිතය වෙනුවෙන් ඔහු ඒ වසරේදී හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් ඇකඩමි සම්මානයට පවා නිර්දේශ විය.

'ද කරාටේ කිඩ්' චිත්‍රපටය ලොව පුරා මොනතරම් ජනප්‍රිය වූවා දැයි කිවහොත් පසුව එය චිත්‍රපට මාලාවකට පරිවර්තනය විය.

'ද කරාටේ කිඩ් පාර්ට් 2' තිරගත කළේ 1986 දීය. පළවෙනි චිත්‍රපටයේ මෙන්ම දෙවනි චිත්‍රපටයේද නිෂ්පාදක, තිර නාටක අධ්‍යක්ෂ හා නළු නිළියන්ද 1 වන චිත්‍රපටය මෙන් විය. එය ද පළවන චිත්‍රපටය මෙන්ම සාර්ථක වූ අතර, ඒ සා ආදායමක් ද ඉපැයීය.

'ද කරාටේ කිඩ් පාර්ට් 3' තිර ගත වූයේ 1989 යේ දීය. එහි ප්‍රධාන චරිත රඟපෑවේත් පැට් මොරිටා හා රැල්ප් මාචියෝමය. එය 1 සහ 2 තරම්ම ආදායමක් ඉපයූවේ නැත, එතරම් ජනප්‍රිය වූයේත් නැත.

'ද කරාටේ කිඩ්' කතා මාලාවේ අසාර්ථකම චිත්‍රපටය ලෙස සැලකෙනුයේ 1994 වසරේ තිරගත කළ 'ද නෙක්ස්ට් කරාටේ කිඩ්' ය. එහීද පැට් මොරිටා ප්‍රධාන චරිතය රඟපෑවද, එහි රැල්ප් මාචියෝ වෙනුවට රඟපෑවේ නිළියකි. ඇය හිලෙරි ස්වැන්ක්ය. චිත්‍රපටය නිර්මාණාත්මකව අසාර්ථක වූවාක් මෙන්ම, ආදායම් අතින් ඉතාමත් පහළම මට්ටමක තිබුණි. මේ හෙයින් එතැනින් පසු ' පැට් මොරිටා' රඟපෑ කරාටේ කිඩ් කතා මාලාව නිම විය.

මුල් චිත්‍රපටයෙන් වසර 26 කට පසු එනම් වර්ෂ 2010 දී, 'ද කරාටේ කිඩ්' හැරල්ඩ් ස්වැට් නම් වෙනත් අධ්‍යක්ෂකවරයකු විසින් යළි ප්‍රතිනිර්මාණය කළේය. එහී මියාගි මහතාගේ චරිතය හදුන්වා තිබුණේ 'හෑන්' මහතා ලෙසටය. එය රඟපෑවේ ලොව ප්‍රසිද්ධතම නළුවෙකු වූ ජැකී චෑන්ය. ඩැනියල් ලාරූසෝගේ චරිතයේ නම වෙනස් වී තිබුණේ 'ඩ්‍රී පාර්කර්' ලෙසටය. එය 11 හැවිරිදි චරිතයක් වූ අතර, රඟපෑවේ කළු ජාතික 'ජේඩ්න් ස්මිත්' ය. ජේඩ්න් යනු ලොව අංක එකේ නළුවෙකු වූ වීල් ස්මිත්ගේ පුත්‍රයා ය. මෙම චිත්‍රපටය සියලුම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 40 කට ඇස්තමේන්තු කෙරූ මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 359ක් උපයා තිබුණි.

'ද කරාටේ කිඩ්' යනු 80 දශකයේ බිහිවූ එක්තරා උන්මාදයකි. 'රම්බෝ' ⁣'රොකි' 'ටර්මිනේටර්' 'ජුරාසික් පාර්ක්' වැනි එක චිත්‍රපටයකින්, චිත්‍රපට මාලාවකට මඟ පාදා ගත් උන්මාදයකි. එය 80 දශකය තුළ නොනැවතී 2010 දශකය කරා එන්නට තරම් ජනප්‍රිය වූ උන්මාදයකි. තවත් දශකයකින් පසුත් යළිත් 'ද කරාටේ කිඩ්' චිත්‍රපටය ප්‍රතිනිර්මානය වූවත්, පුදුම විය යුත්තක් නොවන්නේ 'ද කරාටේ කිඩ්' යනු අතිශයෙන්ම ආකර්ෂණීය වූ චිත්‍රපටයක් නිසාය.