මලයාලම් සිනමා කැඩපතෙන් පෙනෙන සමකාලීන සිනමාව

සැප්තැම්බර් 8, 2022

 

සිනමාව යනු, දිවිය පවතින අයුරින් කැඩපතක් සේ පිළිබිඹු කරන ලෝකයේ මතුපිට එලෙසින්ම වාර්තා කර පෙන්වන දෘශ්‍ය මාධ්‍යයක් (ඡායාරූපය මෙන්ම) බව ඇතැම් සිනමා විචාරකයින් හා විශ්ලේෂකයන් මෙන්ම සිනමාකරුවන් ද පවසා තිබේ. ඔවුන් එසේ පවසන විට සිනමා මාධ්‍යයෙහි මූලික කාර්මික හා තාක්ෂණික ලක්ෂණ මෙන්ම පසුගිය විසි වෙනි සියවස ඔස්සේ අද දක්වාම සිනමාකරුවන් විසින් භාවිත කළ ගොඩනඟන ලද ඇතැම් චිත්‍රපට ප්‍රකාශන රීතීන් සහ ආබ්‍යාන රටා සේම චිත්‍රපට ඡායාරූපමය ලක්ෂණ ද එහි ගැබ් ව ඇති බව පෙනේ. එසේම ඒ කියමන ඇතුළත අප හඳුනාගත යුතු තවත් වැදගත්ම යටි අරුත වන්නේ, ලොව එක් ප්‍රධාන චිත්‍රපට ප්‍රේක්ෂක පිරිසකගේ චිත්‍රපට රසවින්දනයේ මූලික අවශ්‍යතාවයක් ඉන් ප්‍රකාශ වීමයි. එනම් චිත්‍රපටයක් තුළ තමාගේ ජීවන පරිසරය තමාට සමීප මිනිස් චරිත, හැසිරීම්, සංස්කෘතික ලක්ෂණ හෝ ජීවන ආකල්ප වැනි දේ, එලෙසම දැකීමට ඇති ආශාවයි.

‘යථාර්ථවාදී‘ හෝ ‘තාත්විකවාදී‘ සිනමාව නමින් සිනමා කලා ප්‍රවණතාවයක් පසුගිය සියවසකට වඩා කලක් තිස්සේ ගොඩනැඟී ඇත්තේ, චිත්‍රපට මාධ්‍ය හා සබැඳී ඉහත කී තාක්ෂණික, කලාත්මක හා ප්‍රේක්ෂක මානසික යන තත්වයන් ඇසුරු කරගෙනයි.

එහෙත් පසුගිය සියවසක් ඉක්මවන සිනමා ඉතිහාසය පුරා ලොව දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක්, ඉල්ලුමක් ලබා ගත්තේ ද වෘත්තාන්ත චිත්‍රපට නමින් වැඩිම ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ ද, ‘චිත්‍රපට අත්දැකීම යනු ජීවිතයට වඩා විශාල, විචිත්‍ර හා සරල විනෝදාත්මක ගුණයක් උපදවන කතාන්දරයක්‘ය යන අදහස මූලික කරගත් ජනප්‍රිය විනෝදාත්මක චිත්‍රපට යි. එය මිනිසුන් අවට පවතින ජීවන පරිසරය සමාජය හෝ අපට සමීප චරිත ඒ ආකාරයෙන්ම පිළිඹිබු කරන්නක් නොව, ඒවාට වෙනත් විනෝදාත්මක, විචිත්‍ර සිහිනමය ගුණයක් කවා, ඒවා නිරූපණය කරන ලද සිනමාවකි. මතුපිටින් බැලූ විට, එය පැහැදිලිව එක් යුගයක යථාර්ථවාදී හෝ කලාත්මක යයි හඳුනාගන්න සිනමා ප්‍රකාශන ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ සිනමා රීතියක් යයි සැලකිය හැකිය.

එහෙත් ලෝක සිනමා ඉතිහාසය විමසන විට අපට හමුවන අපූරු තත්වයක් හා ප්‍රවණතාවයක් වන්නේ, ලොව විවිධ කලාප සහ සිනමා සංස්කෘතීන්වලට අයත් ඇතැම් සිනමාකරුවන් ඉහත කී ‘යථාර්ථවාදී‘ හෝ ජනප්‍රිය විනෝදාත්මක සිනමා ධාරාවන් වලට මුළුමනින් ලඝු නොවී, මේ සිනමා ධාරාවන් දෙක අතර සංකලනයක් ඇති කරන්නට වෙනත් පිවිසුම් සමඟම සාර්ථක උත්සාහයක් ගත් බවයි. මෙවැනි සිනමාකරුවන් අතර ඇතමුන් තමාට සමීප වෙනත් කලා මාධ්‍යයක් වන, නාට්‍ය කලාව, මිථ්‍යා කථා, හෝ ජනකථා සාහිත්‍යය, නවකථාව, සංගීතය මෙන්ම චිත්‍ර මූර්ති වැනි දෘශ්‍ය කලාවන්වල ලක්ෂණ වලින් මනා අභ්‍යාසයක්, අනුප්‍රාණයක් ලබා ගනිමින් තම සිනමා නිර්මාණය හුදු තාත්විකවාදී සහ වාර්තාමය ස්වභාවයෙන් මුදා ගනිමින්, ඉහළ සිනමානුරූපී ගුණයක් සහිත ප්‍රබල භාව ප්‍රකාශනයක් බවට පත් කරන්නට සමත් වූහ. තවත් පිරිසක් විනෝදාත්මක සිනමාවට අයත් ජන ආකර්ෂණීය ලක්ෂණ, (අධිනාටකීය බව, විචිත්‍ර රූපරාමු, දීප්තිමත් වර්ණ, ගීත, නැටුම් ආදිය යොදා ගනිමින් ඉස්මතු කරන සංගීතමය රූ රිද්මය, ආතතිය හා සංත්‍රාසය ආදී) සමග තම තියුණු යථාර්ථවාදී සිනමා රීතිය මුසු කරමින් පොදු ප්‍රේක්ෂකයාගේ හැඟීම් හා මනෝභාවයන් අමතන්නට උත්සාහ කළහ. සියවසක් ඉක්මවා සිනමාවේ විවිධ යුගවල සිදුවූ චිත්‍රපට තේමාව, ආඛ්‍යානය හා ඉදිරිපත් කිරීම මෙන්ම සිනමා භාෂාව පිළිබඳව වූ අත්හදාබැලීම් වලින් සිනමා ප්‍රේක්ෂකයාගේ භාව වින්දනය මෙන්ම සිනමා සාක්ෂරතාවය ද වැඩි දියුණු වූ බව පැහැදිලිය. එය වත්මන් සිනමාව ඇසුරේද විවිධ සිනමා සංස්කෘතීන් ඔස්සේ අපට හඳුනා ගත හැකිය. සිනමාවේ මහා කවීන් හෝ දාර්ශනිකයන් සේ සැලකෙන, බ්‍රෙසෝන්, තර්කොව්ස්කි, බර්ග්මාන්, ගොඩාඩ්, බෙලාටාර් වැනි සිනමා විශාරදයන් ද, “හිච්කොක්, ඕසන් වේල්ස්, ජෝන් ෆෝඩ්, මාටින් ස්කොසෙසි, රෝමන් පොලන්ස්කි, කොපොලා, ටෲෆෝ, ස්පිල්බර්ග්“ බඳු ශූර සිනමා කතන්දරකරුවන් මෙන්ම අපට සමීප ආසියානු සිනමාවේ “සත්‍යජිත් රායි, රිත්වික් ඝටක්, බිමල් රෝයි, අදූර් ගෝපාල ක්‍රිෂ්ණන්, මනිකවුල් මෙන්ම අකිරා කුර්සාවා, ඕසු, කෙන්ජි මිසගුචි, නගීෂා ඔෂීමා, වොන්කාවායි, කිම්කිදුක්“ වැනි ආසියානු ජන ආධ්‍යාත්මය නිරූපණය කළ සිනමා විශාරදයන් ද සිදුකර ඇත්තේ, ප්‍රේක්ෂක සිත සිනමානුරූපී ගුණය සමඟ මුසුවූ මනෝභාවයන් මගින් පොහොසත් කොට පුබුදුවාලීමයි. මිනිස් ජීවිතයේ අනේක බිම් පෙදෙස් පිළිබඳ හැඟීම් මුසු අවබෝධයක් ලබාගැනීමට සැලැස්වීමයි.

සිනමා මාධ්‍යයේ මූලික ගුණාංග පිළිබඳ මෙන්ම ඒ ඒ ලක්ෂණ කාලය සමඟ ගමන් කරමින් වෙනස් හැඩතල හා රස ආකෘතීන් නිපදවන බව කියාපාන අටුවාවක් ලියා තැබුවේ, පාඨක ඔබගේ අවධානය දකුණු ආසියානු කලාපයේ ශීඝ්‍ර වර්ධනයක් හා ඉහළ ජනප්‍රියත්වයක් පෙන්වන සිනමාවක් වෙත යොමු කරන්නටයි. ඒ කේරළයේ මලයාලම් සිනමාවයි. මලයාලම් සිනමාවේ මෑතකාලීන නිර්මාණ ප්‍රවණතා හඳුනා ගැනීම දැනටමත් මලයාලම් චිත්‍රපට නරඹන්නට හුරුවී සිටින ප්‍රේක්ෂක ඔබට දැනුම්වත් චිත්‍රපට රසවින්දනයකට මඟ සලසනු ඇත. (මේ වනවිට සිනමා ශාලාවේ විසල් තිරයක් පාමුල අසුන් ගෙන චිත්‍රපට නරඹන විශාල ප්‍රේක්ෂක පිරිසක් මෙරට දක්නට නැතත්, ච්ඍච්, ර්‍ණඊඊ හෝ අන්තර්ජාලය මගින් විවිධ චිත්‍රපට නරඹන විශාල පිරිසක් දැන් මලයාලම් චිත්‍රපට වෙත නැඹුරු වී ඇති බව පෙනේ. ඒ අතර ශ්‍රී ලාංකීක තරුණ ප්‍රේක්ෂක පරපුරක් පමණක් නොව, උතුරු ඉන්දීය, මැද පෙරදිග, යුරෝපීය, කොරියානු, ජපන් හා ඇමෙරිකානු ප්‍රේක්ෂක පරපුරක් ද සිටින බව පැහැදිලිය)

1930 දී තිරගත වූ “විගාතකුමරන්“ නම් පළමු නිශ්ශබ්ද මලයාලම් චිත්‍රපටයේ සිට වසර අනූවකට අධික ඉතිහාසයක් ඇති මලයාලම් සිනමාව, ඒ දිගු කාලය තුළ බොහෝ වාර ගණනාවක අන්තර්ජාතික හා ජාතික සම්මානයන් ට පාත්‍ර වූ අතර ඉහළම විචාරක ඇගයුම් ප්‍රශංසා වලට ද ලක් වී ඇති බව පෙනේ. එවැනි ගෞරව ප්‍රණාම හා සම්මානයට ලක්වීම පිළිබඳ, මෑතකම උදාහරණය වන්නේ, පසුගිය මැයි මස මෙවර ප්‍රංශයේ ‘කාන්‘ චිත්‍රපට උළෙලේ දී, එහි ‘සම්භාව්‍ය කෘති‘ අංශයේ දී මලයාලම් ප්‍රවීණ සිනමාකරු, ‘ජී.අරවින්‘ ගේ ‘තාම්ප්‍ර‘ චිත්‍රපටයේ නව සංරක්ෂිත පිටපතක් තිරගත කිරීමයි. එමෙන්ම 2022 ජූලි මස ඉන්දියානු ජාතික සිනමා සම්මාන උළෙලේ දී, නවතම මලයාලම් චිත්‍රපටයක් වූ, “අයියපානුම් කෝෂියම්“ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන සම්මාන හතරක් දිනා ගත් අතර “සුරාරෙයි පොට්රු“ දමිළ චිත්‍රපටියේ රංගනයේ යෙදුණු, කේරළ රංගන ශිල්පිනියක වන, ‘අපර්ණා බාලමුරලි‘ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, ‘යක්කු‘ නම් තම පළමු චිත්‍රපටය වෙනුවෙන් කාව්‍ය ප්‍රකාශ් අධ්‍යක්ෂකවරිය, ජූරියේ විශේෂ සඳහනක් ද ලබාගනිමිනි. මීට වසර ගණනාවකට පෙර සිය පළමු චිත්‍රපටය වූ,“ස්වයංවරම්“ ඇතුළු තම චිත්‍රපට සියල්ලටම වාගේ අන්තර්ජාතික සිනමා උලෙළේ ඇගයීම් ලබා ගන්නට ප්‍රවීණතම කේරළ සිනමාකරුවකු වන, ‘අදූර් ගෝපාල ක්‍රිෂ්ණන්‘ සමත් විය. ‘සාජි.එන්.කරුන්, තම “පිරවි“, “වනප්‍රසාතම්“ සහ “ස්වාගම්“ යන චිත්‍රපට සඳහා ජගත් සිනමා උලෙළ නියෝජනයන් හා ඇගයුම් මෙන්ම ජාතික සම්මාන කිහිපයක් ද ලබා ගත්තේ ය. නව පරපුරේ මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ, ‘ලිජෝ ජෝසෙ පෙල්ලිසාරි‘ ගේ සිව්වන චිත්‍රපටය වූ, “ජල්ලිකට්ටු“, 2018 වර්ෂයේ ඉන්දියාවේ ඔස්කාර් විදේශ චිත්‍රපට සම්මානය සඳහා නිර්දේශ විය. මීට අමතරව තවත් චිත්‍රපට කිහිපයක්ම ජාතික තලයේ හා අන්තර්ජාතික වේදිකාවල සම්මානයටත්, ගෞරවයටත් 2022 පාත්‍ර විය. සමස්ත ඉන්දියානු සිනමාවට ඇතුළත් විවිධ ප්‍රාන්ත හා භාෂාවන්ට අයත් සිනමා කර්මාන්ත අතර බෙංගාලි සිනමාව හැර වැඩිම අන්තර්ජාතික ඇගයීම් සම්මාන ලබා ඇත්තේ, මලයාලම් චිත්‍රපට යයි කිව හැකිය. මේ සියලු ජයග්‍රහණ, විචාරක විචාරණ හා ඇගයුම් ඔස්සේ කියවෙන එක් ප්‍රධාන අරුතක් වන්නේ, මලයාලම් සිනමාව එහි ආරම්භක අවධියේ සිටම යම් යහපත් මට්ටමක, සංස්කෘතික, කලාත්මක හා ශිල්පීය භාවිතයක් ලෙස පැවති බවයි. විශේෂයෙන්ම එහි ආරම්භයේ පටන් ම සමකාලීන සමාජ දේශපාලන ප්‍රවණතා පසුබිම් කරගත් කතාපුවත් චිත්‍රපටයට නැගීමට මලයාලම් මුල් කාලීන සිනමාකරුවන් උත්සාහ කළහ. 1952 නිපද වූ “නීල් කුයිල්“, එවක කේරළ සමාජයේ පැවති කුලභීනයන්ගේ ගැටලු පිළිබඳ පුවතක් පසුබිම් කරගත් චිත්‍රපටයකි. “පේපර් බෝයි“ (1955) චිත්‍රපටය මුද්‍රණාලයක සුළු රැකියාවක් කළ තරුණයෙකු හා ඔහුගේ පවුලේ අන්ත දුගීභාවය පසුබිම් කරගත් චිත්‍රපටයේ, එවක නවතාත්විකවාදී සිනමා රීතියෙන් ලද ආභාසය මනාව දක්නට ලැබිණි. පනහ දශකයේ මැද භාගයේ සිටම මලයාලම් සිනමාකරුවන් එවකට බිහි වූ ප්‍රබල නවකථා හා කෙටිකතා ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය කිරිමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. එහි එක් කූටප්‍රාප්ති චිත්‍රපටයක් ලෙස ප්‍රකට ලේඛක, “තකාෂිශිවශංකර් පිල්ලෙයි“ ගේ නවකතාවක් ඇසුරු කරගත්, “චෙම්මීන්“ (1965) සැලකෙන්නේ, එහි තේමාව, කථා වින්‍යාසය හා කලාත්මක විශිෂ්ටත්වය මලයාලම් සිනමාවේ ප්‍රධාන මං සලකුණක් ලෙස සටහන්ව ඇති බැවිනි. මෙවැනි සමාජ දේශපාලන තේමාවන් පසුබිම් කරගත් ගීත, නැටුම්, සටන් ආදී විනෝදාත්මක චිත්‍රපට ප්‍රවණතාවක් ද ඊට සමාන්තරව මලයාලම් සිනමාවේ බිහි වූ බව පෙනේ.

එහෙත් වර්තමානයේ අපේ තරුණ පරපුර මෙන්ම වෙනත් රටවල තරුණ ප්‍රේක්ෂකයන් මලයාලම් චිත්‍රපට නමින් සොයා, හඳුනාගෙන ආකර්ෂණය වී ඇත්තේ, මෙතෙක් අප සඳහන් කළ අතීත චිත්‍රපට ලෝකය නොවේ. මේ නව තරුණ ප්‍රේක්ෂක පරපුරට මලයාලම් චිත්‍රපට සහ ඉන් උපදවන භාවමය, සංස්කෘතික, සමාජ රිද්මයන් පිළිබඳ බලවත් ආස්වාදයක්, ආකර්ෂණයක් ඇති කළේ, 2010න් පසුව මතුව ආ මලයාලම් සිනමාවේ නව පුරපුරේ චිත්‍රපට නිසාය. දෙදාහ අවසන් භාගයේ චිත්‍රපට කර්මාන්තයට පිවිසි නව තරුණ සිනමා පරපුරක් 2010න් පසු මෙතෙක් ඔවුන්ගේ සිතින් දුටු සිනමා රූපමාලාවන්, ජගත් සිනමාවෙන් ලද ආභාසයන්, ඔවුන්ගේ ජීවිත වටපිටාවේ අත්දුටු වේග රිද්මය හා නාට්‍යාකාර සිද්ධීන්, සමාජ ජීවිතය කෙරේ ඔවුන් තුළ තිබූ නැඹුරුව හා විරෝධ ආකල්ප ආදිය සමඟ පර්යේෂණාත්මක ලෙස හැසිරෙමින්, නව මාදිලියක සිනමාවක් එළි දක්වන්නට විය. මේ නව සිනමා ආකෘතීන් හා ප්‍රකාශන, මෙතෙක් කේරළයේ හැත්තෑ දශකයේ පැවති සමාන්තර සිනමාව හෝ අසූව දශකය මැද වන විට පිබිදී ආ, ‘අතරමැදි සිනමාව‘ටත් දිගු කාලයක් තිස්සේ කේරළයේ පැවති සම්මත ජනප්‍රිය සිනමාවටත් වඩා බෙහෙවින්ම වෙනස් වූ වේගරිද්ම නාට්‍යමය සිනමා ධාරාවක් ලෙස ගොඩනැගී ආවකි.මේ නව සිනමා ප්‍රවණතාව තියුණු ලෙස සලකුණු කළ චිත්‍රපට දෙකක් 2011 වසරේම ප්‍රදර්ශනය වී ප්‍රේක්ෂක විචාරක අවධානය දිනාගත්තේය. ‘ට්‍රැෆික්‘ සහ “සිටි ඔෆ් ගෝඩි“ නම් මේ චිත්‍රපට දෙකම මෙතෙක් නිපද වු එක තලයක දිවෙන මුලසිට අගට සරලව ගමන් කරන ආඛ්‍යාන නොව, අධි සිද්ධි සම්බන්ධතා එක් කරන සංකීර්ණ ආඛ්‍යාන ලෙස ගොඩනඟා තිබිණි. ‘ට්‍රැෆික්‘ මෙන්ම ‘සිටි ඔෆ් ගෝඩ්‘චිත්‍රපටය ද බරපතළ රිය අනතුරක් වටා සම්බන්ධ වන චරිත හා සිදුවීම් දාමයන් මුලික කරගත් නිර්මාණ වේ. ඉතාම නැවුම් ආකෘතියක් හා කුතුහලය දනවන කතා වින්‍යාසයක් ඔස්සේ මේ චිත්‍රපට දෙක ප්‍රධාන තවත් චිත්‍රපට කිහිපයක්, ඒ වසරේම නවතම සිනමා ප්‍රවණතාවයක් සනිටුහන් කළේය. මේ 2011 වසරින් පසුව අතිවිශාල නව චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා තිරනාටක රචකයන් ප්‍රමාණයක් මලයාලම් සිනමා කර්මාන්තයට එක් විය. මේ බොහෝ නව අධ්‍යක්ෂකවරු දැඩි ලෙස වෙනස් නවකතා තේමා සහ නැවුම් ආකෘතික ලක්ෂණ සොයා යන්නට වූහ.

පසුගිය වසර දහය ඇතුළත කේරළයේ මෙන්ම ගෝලීය වශයෙන් ද ප්‍රචලිත වූ මලයාලම් නව සිනමා රැල්ල සෑම අතින් ම වාගේ නැවුම් ස්වරූපයක් ගැනීම නිසා වත්මන් තරුණ පරපුර අතර ද කෙමෙන් ජනප්‍රිය වූවා සේම කේරළයේ පොදු ජන ප්‍රේක්ෂකයා තරමක් ගැඹුරු ඉහළ සිනමා රසවින්දනයක් වෙත සහභාගි කරගත් බවක් පෙනුණි. මේ චිත්‍රපට වැඩි ප්‍රමාණයක ම දක්නට ලැබුණු මූලික ගුණාංග ඇතැම් වෙනස්කම් සහිතව වුවද සමීපතා පළ කළේය. තියුණු විමර්ශනයක් ඇතිව තර්කානුකූලව ලියන ලද තිරරචනා, ජනප්‍රිය සිනමා තරු වලින් හැකිතාක් හෝ ඇතැම් විට මුළුමනින් බැහැර ව ඉතා සාමාන්‍ය පෙනුමක් ඇති නවක රංගන ශිල්පීන් යොදා ගැනීම, පැරණි සමාජ සම්මත හෝ සංස්කෘතික සම්මත සූක්ෂ්ම ලෙස බැහැර කරමින් සමකාලීන සමාජ සංස්කෘතික ආකල්ප චිත්‍රපට කථා පුවත් හෝ තිරරචනා මඟින් මතුකර ගැනීම, අඩු වියදම් නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම, පීඩිත ගැමියන් හා කුලවත් දේශපාලන නායකයින් පිළිබඳ කතා පුවත්වලින් මෑත්වෙමින් සමකාලීන පහළ මැද පන්ති සහ මැද පන්තික ගැටලු පිළිබඳ කතා තේමාවන් තෝරාගැනීම, ඉතාම ජනප්‍රිය විනෝදාත්මක වර්ගයේ චිත්‍රපටයක වුව ද චරිත හා සමාජ පසුබිම හැකිතාක් යථාර්ථවාදීව නිරූපණය කිරීම වැනි ගුණංග මේ නව ප්‍රවණතාවයට අයත් චිත්‍රපටවල දක්නට ලැබුණි.

මේ නව ප්‍රවණතාවයේ චිත්‍රපට අතර ඉතාම ප්‍රබල නිර්මාණයක් වන්නේ ලිජෝ ජොසෙ පෙල්ලිසාරි ගේ ‘ජල්ලිකට්ටු“ (2019) ය. කුලප්පු වු ගවයකු පසුපස ලුහුබැඳ යන විශාල ගැමියන් පිරිසක් පිළිබඳ සිද්ධි මාලාවක් පසුබිම් කරගත් මේ චිත්‍රපටය, තියුණු නාට්‍යමය ගුණයක් හා අසාමන්‍ය සංකර්ෂණයක් (ඊඥදඵඪධද) සහිත වේගරිද්මයේ සිනමා අත්දැකීමක් ලෙස නිර්මාණය කොට ඇති සෙයකි. ශිෂ්ටාචාරය හෝ සංස්කෘතිය මඟින් හික්මවා ඇතැයි සලකන නූනත මිනිසා ඇතුළත සැඟවී ලැග සිටින හුදු ආවේග මඟින්, ඇවිස්සී කඩාපනින මෘගයකුගේ ස්වභාවය තියුණු ලෙස හෙළිකරන් චිත්‍රපටයක් වන ‘ජල්ලිකට්ටු‘, සිනමා මාධ්‍යයේ සියලු ශිල්පීය අංගෝපාංගයන් විශිෂ්ට ලෙස යොදා ගනී. ඒ සියලු ශිල්පීය අංග මනාව භාවිත කරමින් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂ්කයා වෙත ගෙන එන්නේ වත්මන් ද මැද පන්තික ප්‍රේක්ෂකයකුට නම් දරාගත නොහැකි තරම් වූ පුපුරා යන ආවේග බහුල අතිශය ප්‍රචණ්ඩ සිනමා අත්දැකීමකි.

“කුම්බලාංගි නයිට්ස්“ (2019) චිත්‍රපටය කලපුවක් අසල කුඩා නිවෙසක දිවිගෙවන සොහොයුරන් සිව්දෙනෙකු ගේ ජීවිතයේ එකිනෙකා අතර සම්බන්ධතාවල කළුසුදු සහ අළු පැහැ තත්ත්වයන් ඉතා සංවේදී මෙන්ම තාත්වික අයුරින් නිරූපණය කරන සිනමා කෘතියකි. “මධු නාරායන්“ නම් නව අධ්‍යක්ෂකවරයා ගේ පළමු චිත්‍රපටය වූ කුම්බලාංගි නයිට්ස්‘, ප්‍රාණවත් චරිත නිරූපණත් ප්‍රබල තිරනාටයකයත් සහ මනා ආලෝකකරණයකින් පාලනය වූ තියුණු එහෙත් සුන්දර රූපරාමු සහිත සවිමත්, ඡායාරූපකරණයත් මගින් ප්‍රේක්ෂ්කයා මනාව ග්‍රහණයට ගත් සම්මානලත් චිත්‍රපටයකි.

මලයාලම් සිනමාවේ මෑත කාලීනව රංගන ශිල්පියෙකු වූ “දිලීශ් පොතාන්“ නිර්මාණය කළ තෙවැනි චිත්‍රපටය වන “ජෝජි‘, ශේක්ස්පියර් නාට්‍යකරුවාගේ “මැක්බත්“ නාට්‍යයේ කථා පුවත හා චරිත ඡායානුවාදයක් ලෙස ගෙන නිම කළ කෘතියකි. තම පියාගේ දැඩි ආර්ථික හා දේපළ ආධිපත්‍යයත් පවුල තද සම්ප්‍රදායනුත් නිසා අවමානයටත් පිටස්තර බවට පත්වන ජෝජි නම් රැකියා විරහිත තරුණයා සියුම් සැලසුමක් මඟින් පියා ඝාතනය කොට, පවුලේ බලකේන්ද්‍රය දෙදරවා හැරීමත් එතැන් සිට ඔහුගේ මනසේ ඇතිවෙන කෲර මානසික ආවේග ඔස්සේ බලය අතට ගැනීමට කරන උත්සාහය සහ අවසානයේ ඝාතන හෙළිවීමෙන් පසු ඔහුට අත්වන ඛේදජනක ඉරණමත් නිරූපණය කරන ‘ජෝජි, (2021)මලයාලම් නව සිනමා ප්‍රවණතාවයේ මිණිකැටයක් සේ සැලකිය හැකිය. ප්‍රධාන චරිතයේත් සෙසු චරිත වලත් සියුම් චර්යාවන් හා චලනයන් මනාව නිරීක්ෂණය කරමින් මන්දගාමී රිද්මයකින් දිගහැරෙන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට රැගෙන එන්නේ ශීත අඳුරු වනාන්තරය මැදින් මුහුණේ මඳ සිනහවක් ඇති ගුප්ත මිනීමරුවකු සමඟ අශ්ව කරත්තයක සෙමින් ගමන් කරන්නාක් මෙන් බියකරු හැඟීමකි. විශිෂ්ට මලයාලම් රංගන ශිල්පියෙකු වන, ‘ෆහාඩ් ෆසීල්‘ ගේ සියුම් රංගනයත්, නිසල භුමි ප්‍රදේශ හා චරිතවල චර්යා රටා අතර මනා මුසු කිරීමකින් නව රූපකාර්ථවත් සිනමා රූපමාලා මතු කරන සිනමා ඡායාරූපකණයත්, ඉතාම අවම ලෙස භාවිත කෙරෙන සංගීතයත් “ජෝජි“ චිත්‍රපටයේ ජීවනාලිය බවට පත්ව තිබේ. මෑතකාලීන මලයාලම් සිනමාවේ ප්‍රබලතම චරිත අධ්‍යයනයක් ලෙස ‘ජෝජි‘ සටහන් කළ හැක‍

මේ හැර ඉතා මෑතක ප්‍රදර්ශනයට එක්වුණු ‘මාටින් ප්‍රක්කාත්‘ ගේ, ‘නයාත්තු‘, ටිනු පපාචන්ගේ, ‘අජගජාන්ත්‍රම්“,ඩිඩෝ ජෝඩ් ඇන්තනීගේ, ‘ජනගනමන‘, ඉන්දු වී.එස්. තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ, "19 (1) ඒ", සජිමන් ප්‍රභාකර්ගේ ‘මලයන්කුන්ජු කමල් කේ එම්‘, පාඩා වැනි විවිධ ශෛලීන් හා සිනමා රූප රීතින් අනුගමනය කළ ප්‍රබල චිත්‍රපට ලෙස ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදයට ලක් වෙමින් පවතී. මේ සෑම චිත්‍රපටයකම නව වස්තු බීජ හා තේමාවන් සොයායාමේ අවශ්‍යතාවත්, වත්මන් සංකීර්ණ සමාජ, චරිත අධ්‍යයනක් ලෙස ‘පොප්‘ සටහන කළ හැකිය.

මේ හැර ඉතා මෑතක ප්‍රදර්ශනයට එක්වුණු ‘මාටින් ප්‍රක්කාත්‘ ගේ , ‘නයාත්තු,‘ ටිනු පපාචන්ගේ, ‘අජගජාන්ත්‍රම්‘, ඩිඩෝ ජෝඩ් ඇන්තනිගේ, ‘ජනගනමන,‘ ඉන්දු වී.එස්. තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ '19 (1) ඒ", සජිමන් ප්‍රභාකර්ගේ, ‘මලයන්කුන්ජු කමල් කේ එම්“ පාඩා වැනි විවිධ ශෛලින් හා සිනමා රූප රීතීන් අනුගමනය කළ ප්‍රබල චිත්‍රපට ලෙස ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදයට ලක් වෙමින් පවතී. මේ සෑම චිත්‍රපටයකම නව වස්තු බීජ හා තේමාවන් සොයා යාමේ අවශ්‍යතාවත්, වත්මන් සංකීර්ණ සමාජ, දේශපාලන තත්ත්වයන් මෙන්ම ජනමාධ්‍ය හැසිරීම්වල අවුල් වියවුල් ද, විනිවිද දකින අධ්‍යක්ෂ දෘෂ්ටියත්, ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරන නාට්‍යමය වේග රිද්ම සිනමා රීතියකුත් ප්‍රකට වේ. නව මලයාලම් සිනමාව අවධාරණය කරන්නේ, සිනමාව අප අවට ජීවිත යථාර්ථය මෙන්ම ප්‍රේක්ෂකයාගේ නාට්‍යමය වින්දන අවශ්‍යතාව ද පෙන්නුම් කරන කැඩපතක් විය යුතු බව ද?