එමා බොවාරි සෙවණැල්ලෙන් උපන් රයන්ගේ දියණිය

සැප්තැම්බර් 1, 2022

 

ප්‍රංශ ජාතික ලේඛකයකු වූ ගුස්ටාව් ෆ්ලොබෙයාර් විසින් 'මැඩම් බොවරි' නම් නවකථාවක් ලියා ප්‍රකාශයට පත් කළේය. ඒ මීට ශත වර්ෂයකටත් පෙරය. එනම් 1856 දීය.මෙහී ප්‍රධාන චරිතය වූයේ එමා බොවාරිය. ඇය සමඟ ගැටුණු අනෙක් චරිත වූයේ චාර්ල්ස් බොවාරි, රොඩ්ලොප් බෞලැන්ගර්, සහ ලියොන් ඩුපිස්ය. මෙහි චාර්ල්ස් දොස්තර කෙනෙක් වූ අතර, රොඩ්ලොප් ව්‍යාපාරකයෙක් විය. ලියොන් ඩුපිස් නිතී සිසුවෙකි.

ගුස්ටාච් ගේ 'මැඩම් බොවාරි' කේන්ද්‍රකරගෙන තිබුණේ අනුරාගය ය. එය එකල ගුස්ටාව් එලෙසම යැයි පිළිගැන්මට කැමති නොවීය. ඔහු කියන්නේ එය අනුරාගයට එහා ගිය මානුෂික හැඟීම් සමඟ සටන් කර පැරදුණු අහිංසක ගැහැනියක්ගේ කථාවක් ලෙසය. එහෙත් එය එක එල්ලේම පිළිගත නොහැකි වන්නේ මැඩම් බොවරි හී එමා, මිනිසුන් තිදෙනෙක් සමඟ අනුරාගීකව ගැටෙන නිසාය. ඇය යොවුන් නීති සිසුවකු සමඟ අනුරාගයෙන් වෙලුනේ ඇයට වඩා තරමක් වැඩි මහල් තම සැමියා වූ දොස්තර චාර්ල්ස් බොවරි ගෙන් සෑහීමකට පත් නොවූ නිසාය. එයටද හේතුවක් තිබුණි. දොස්තර තම කාලය වඩාත් යෙදවූයේ තම වෘත්තිය මතය, තම රෝගින් සමඟය. මේ හේතුවෙන් එමා තනි විය . නීති සිසුවා නීති විද්‍යාලයට ගිය පසු ඇය ව්‍යාපාරකයෙකු මෙන්ම උසස් සමාජීක රොඩ්ලොප් සමඟ සම්බන්ධ කමක් ඇති කර ගත්තේද, අර අනුරාගීක බව නිසාමය.

අවසානයේ විනාශ වී ගියේ එමා බොවරිමය.

මෙය 1949 දී හොලිවුඩ් චිත්‍රපටයක් බවට පත් කළේ වින්සන්ට් මිනේලිය.

මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වූයේ මෙම පොත ලියූ ගුස්ටාව් ෆ්ලොබෙයාර් ද චරිතයක් ලෙස ඇතුළත් කිරීමය. ගුස්ටාව් චරිතය ප්‍රධාන චරිත වලින් එකක් වූ අතර, එය රඟපෑවේ හොලිවුඩ් ඉදිරි පෙළේ සිටින නළුවකු වූ ජේම්ස් මේසන් ය. ජෙනිෆර් ජෝන්ස් එමා බොවරි ලෙසත්, වෑන් හෙෆ්ලින් චාර්ල්ස් බොවරි ලෙසත් රඟපෑ අතර රොඩ්ලොප් බෞලැන්ගර් වූයේ ලුවිස් ජෝර්දන්ය. ඇල්ෆ් ක්ජෙලින් නීති සිසුවා වූ ලියෝන් ඩුපිස් ගේ චරිතය රඟපෑවේය.

'ලෝරන්ස් ඔෆ් ඇරේබියා', 'ඩොක්ටර් ශිවාගෝ' යන චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු ඩේවිඩ් ලීන් තම අලුත් චිත්‍රපටයට අත ගසන්නට විය. එය ඔහු , ඔහුගේ තිර රචක රොබට් බෝල්ට් ට කීය. ඉහත කී චිත්‍රපට යුගලේම තිර නාටකය ලියා සම්මානනීය වූ රොබට් බෝල්ට් ඩේවිඩ් ලීන් ට කීවේ 'මැඩම් බොවරි ' චිත්‍රපටය 'රි මේක්' කරමු කියාය. එහී කථාව කියවූ පසු ලීන් එයට කැමති වූයේ නැත. එහෙත් ඔහු රොබට් බෝල්ට් ට කීවේ එමා සහ චාර්ල්ස්ගෙ චරිත හා ඔවුන් ලබන අත්දැකීම් වලට තව තවත් දෑ එකතු කර, රොඩ්ලොප් හා ලියොන් ගේ චරිත දෙකම එකතු කර, එක චරිතයක් කරන ලෙසටය. තිර රචක රොබට් බෝල්ට් ට එය විශාල අභියෝගයක් වූයේ නැත. ඔහු රොඩ්ලොප් හා ලියෝන් ගේ චරිත දෙකම එකට එකතු කර, වෙනස් හැඩතලයකින් මේජර් රැන්ඩොල්ප් ඩෝර්යාන් ගේ චරිතය මැවීය. එමා බොවරි වෙනුවට ඇයගේ ගතිලක්ෂණ හරහා රෝසි රයන් වද, චාර්ල්ස් බොවරි ගේ චරිතය චාර්ල්ස් ශව්ගනසි නම් ගුරුවරයාට ද හැරවිය. ටොම් රයන් හා මයිකල් නම් පිස්සු අබ්බගාතයාගේ චරිතත්, හියුග් කොලින්ස් නම්වූ දේවගැතිවරයාගේ චරිතයත් කථාවට අලුතින් එක් කළ ප්‍රධාන චරිතයන් විය.

තිරනාටකය ගොඩනැඟුණේ රෝසි රයන් හරහා ය. ඇයගෙන් බාහිර අනෙක් සියලු චරිත ඇය සමඟ බැඳී සිටින චරිත විය. රයන් ඇයගේ පියා විය.චාර්ල්ස් ශව්ගනසි ඇය විවාහ වූ ඇයගේ සැමියා විය.මයිකල් නම් පිස්සු අබ්බගාත ගොළු මිනිසා ඇයට ආදරය කරයි. රැන්ඩෝල්ප් ඩෝර්යාන් ඇයගේ අනියමි පෙම්වතා විය. මේ සියලු චරිත සම්බන්ධ වන්නේ ඇය සමඟය. ඩේවිඩ් ලීන් චිත්‍රපටයට කෙළින්ම ඇයගේ නම නොයොදා, ඇයව හැඳීන්වීම උපයෝගි කොට අපූරු නමක් යෙදවිය. ඒ ඇයගේ පියා වූ රයන් හරහාය.ඇයගේ පියා රයන් නම්, ඇය රයන්ගේ දියණිය ය. එනම් 'රයන්ස් ඩෝටර්' ය.

රෝසි රයන්ට සාරා මයිල්ස් වත් මයිකල්ට ජෝන් මීල්ස්ව තෝරා ගත්තද, ඩේවිඩ් ලීන් ප්‍රශ්නයක් වී තිබූ චරිත තුන වූයේ චාර්ල්ස් ශව්ගන්සි, රැන්ඩොල්ප් ඩෝර්යාන් හා හියුග් කොලින්ස් දේවගැතිවරයා ය.

චාර්ල්ස්ගේ චරිතයට ඩේවිඩ් ලීන්ගෙ ප්‍රථම තේරිම වූයේ පෝල් ස්කෝෆීල්ඩ් නම් නළුවාවය. ඔහු 'අ මෑන් ෆො ඕල් සීසන්' නමැති චිත්‍රපටයේ විශිෂ්ට චරිතයක් රඟපෑවේය. එම චරිතය තුළින් ඔහු ඔස්කාර් ඇකඩමි සම්මානය පවා දිනා ගති. එහෙත් ඔහුට ඩේවිඩ් ලීන්ගේ ආරාධනාව පිළිගන්නට නොහැකි වූයේ ඔහු ඒ වන විට වේදිකා නාට්‍ය හා චිත්‍රපට වලට හිරවී සිටි නිසාය. ඉන් පසු ලීන්, චාර්ල්ස් ශව්ගනසි ගේ චරිතයට ජෝර්ජ් සී ස්කොට්, ඇන්තනි හොප්කින්ග්ස්, පැට්‍රික් මැක්ගුහාන්, හා ග්‍රෙගරි පෙක් වැනි නළුවන්ව ආදේශ කරගන්නට බැලුවද, ඒ සියලු දෙනාවම අත් හැර දැමුවේ ලීන්ට රොබ⁣ට් මිචම් ව හමු වූවාට පසුවය.

රොබට් මිචම් ද මෙම චරිතය රඟපෑම හෝ මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට අදි මදි කළේය. ඔහු කීවේ ඔහුට බොහෝ පුද්ගලීක ප්‍රශ්න තිබෙන බවත්, ඒ හෙයින් ඔහු දිවි තොර කර ගැන්මට තීරණය කර ඇති බවක්ය. එවිට ලීන් රොබට් මිචම් ගෙන් ඉල්ලා සිටියේ මෙම චිත්‍රපටයට පමණක් රඟපාන ලෙසය. ඉන්පසු තමාගේ මුදලින් රොබට් මිචම්ගේ ගේ භූමිදානය කරවන බව ත් ඔහු පොරොන්දු විය.හුදෙක් එය රොබට් මිචම්ගේ සිතුවිලි වෙනස් කිරීමට කිව් කථාවක් විය හැකිය.

මේජර් රොඩ්ලොප් ඩෝර්යාන් ගේ චරිතය තිර රචක රොබට් බෝල්ට් ලියා තිබුණේ මාලන් බ්‍රැන්ඩෝ ව හිතේ තබා ගෙනය. එයට බ්‍රැන්ඩොගේ අකමැත්තක් තිබුණේ නැත.එහෙත් එම කාලයේදී, ඔහු ප්‍රධාන චරිතයට පණ දුන් 'බර්න්' චිත්‍රපටය වෙනුවෙන් ඔහු දැඩි ලෙස කාර්ය බහුලව සිටියේය. ඉන් පසු එම චරිතයට පීටර් ඕ ටූල්, හා රිචඩ් හැරිස් වද සලකා බැලීය. රිචඩ් බර්ටන් ගැනද ඩේවිඩ් ලීන් සිතේ තබා ගෙන සිටියද, අහම්බෙන් ඔහු⁣ට 'ද ලුකින් ග්ලාස් ඔෆ් වෝ' චිත්‍රපටය නැරඹීමට ලැබිණි.එහී ක්‍රිස්ටෝපර් ජෝන්ස් රඟපෑ ආකාරය දුටු ලීන්, ඔහුව මේජර් රොඩ්ලොප් ඩෝර්යාන් ගේ චරිතයට තෝරා ගත්තේ ඔහුව හමු නොවීය.

කොලින්ස් දේවගැතිවරයා ට ඇලෙක් ගිනස්ව තෝරා ගත්තේ ඇතැම් විට ඔහු ලීන් ගේ 'ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි' චිත්‍රපටයේ විශිෂ්ට චරිතයක් රඟපෑ නිසා විය හැක. එහෙත් ඇලෙක් හා ලීන් අත⁣රේ ලීන්ගේ 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටය රූ ගත කරන විට ඇතිවූ යම් යම් සිත් තැවුල් නිසාත්, කතෝලික පූජකවරයකුගේ චරිතයකට තමාගේ නොගැළපීම නිසාත් ඇලෙක් ගිනස්, ලීන් සමඟ නැවත එකට වැඩ කිරීමට තිබූ අකමැත්ත නිසාත් ඔහු එම චරිතය භාර ගත්තේ නැත. ට්‍රෙවෝ හොවාඩ් මෙම කොලින්ස් දේවගැතිවරයාගේ චරිතයට ආදේශ වූයේ ඉන් පසුවය.

රයන්ස් ඩෝටර් කථාවෙ මුලිකත්වය හිමි වෙන්නේ ටොම් රයන්ටය. ඔහු ගේ බිරිඳ මිය ගොස් සිටි අතර ඔහු තම දියණිය සමඟ අයර්ලන්තයේ කිරේරි නම් මුහුදු අද්දර දූපත් ගම්මානයක මත් පැන් අවන්හලක් පවත්වා ගෙන ගියේය .කිරේරි වැසියෝ අයිරිශ් ජාතිකයන් විය. මෙම ගම්මානයේ කෙළවර බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් තිබූ අතර, හමුදා භටයන් නිතරම පාහේ මත් පැන් තොල ගාන්නට මෙම අවන් හලට පැමිණෙන්නට විය. මෙහි කැරැලි සංවිධානයක් විය. ඒ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව රහසේ සංවිධානය වන අයර්ලන්ත කණ්ඩායමකි. බ්‍රිතාන්‍ය යුද කඳවුර මෙම ගම්මානයේ කෙළවර ස්ථාපිත කළේද මේ හේතුව නිසාය. කැරැලි කණ්ඩායමට අවශ්‍ය වී තිබුණේ බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් අයර්ලන්තය ⁣නිදහස් කර ගැන්මටය. ඔවුන් කැරලි ගසන්නේ ඒ නිසාය. එයට ගම්මානයේ සියලු වැසියන් සහයෝගය දෙන්නට විය. ටොම් රයන් ප්‍රසිද්ධව අයිරිස් කණ්ඩායමට සහයෝගය දෙන බවක් පෙන්වූයේ ගම්වැසියන්ගේ සිත් දිනාගැන්මටය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු කළේ බ්‍රිතාන්‍ය යුද හමුදාවට ඔත්තු සැපයීමය. එය ඔහු හා බ්‍රිතාන්‍ය හමුදාව හැරෙන්නට වෙන කිසිවෙක් දැන සිටියේ නැත.අවම වශයෙන් ඔහුගේ දියණිය රෝසි පවා තම පියාගේ දෙබිඩි පිළිවෙත දැන සිටියේ නැත.

රෝසිට ආදරය කිරීමට වඩා විවාහ වීමට උවමනා විය. ඇය බිරිඳ මිය ගිය තමාට වඩා අවුරුදු 10ක් 15ක් වැඩිමහල් ගුරුවරයෙකු වූ චාර්ලස් ශව්ගනසි ට කැමති විය. ඒ ඔහුගේ නිවුණු වැදගත් පෙනුමටය. තමාගේ කැමැත්ත මුලින්ම කීවේ ඇය ය. එහෙත් චාර්ල්ස් එයට කැමති වූයේ නැත. ඔහු කීවේ තමා ඇයට වඩා වැඩිමහල් බවත්,තම බිරිඳ මිය ගියාට පසු ඔහුට තවත් විවාහයක් ගැන නොසිතෙන බවකි. නමුත් රෝසි ඔහුට පෙරැත්ත කළ හෙයින්, පසුව ඔහු ඇය හා විවාහ විය. විවාහ වූ රාත්‍රියේම, ඔහු ඇය හා ශාරිරීකව එක්වීමට ඇති අකමැත්ත පිළිඹිබු විය. පළමු රැයේම රෝසිගේ බලාපොරොත්තු සියල්ලම බිඳී සුණු විසුණු විය. නමුත් මේ විවාහය කෙසේ හෝ දිගටම ,ශක්තිමත්ව ගෙන යා යුතු යැයි ඇය අදිටන් කර ගති.

ඔවුන් දෙදෙනා උගන්වන කාමරයට යාබද වූ නිවසේ පදිංචි විය. ශාරිරීකව ඔවුන් එක්නොවූවද, ඔවුන් දෙදෙනා ආද⁣රයෙන් තම පවුල් ජීවිතය ගෙන යන්නට විය.

එහෙත් එය ඉරිතැළී යාම ආරම්භ වූයේ එක් අහඹු සිදුවීමක් නිසාය. එදින ටොම් රයන් කිසියම් කටයුත්තකට නගරයට යෑමට උවමනා වූ නිසා තම බීම අවන් හලේ සේවය තම දියණිය රෝසිට භාර දුනි.ඇය එහී තනිව සිටි අවස්ථාවේ අවන් හලට බීමට හා කෑමට එහී ඇතුල් වූයේ මේජර් රොඩ්ලොප් ඩෝර්යාන් ය. ඒ මොහොතේ නම් ඇයට ඔහු පාරිභෝගිකයෙක් පමණක් විය. මේජර් ඩෝර්යාන් ගේ එක් කකුලක් අබ්බගාත වී තිබුණි. ඒ යුද්ධයකට ගොස් ලැබුණු අතුරු ඵලයකි. එලෙසම ඔහුට නොසිතන වේලාවක දරුණු තිගැස්මක් ඇතිවී වෙව්ලන්නට පටන් ගනී. එය හරියට මී මැස්මොර රෝගය හැදුනාක් මෙනි. එසේ ⁣තදින්ම වෙව්ලමින් සිටින ඔහු එක වරම බිම ඇදගෙන වැටේ. එවිට කිසිවෙක් ඔහුට උපකාර කළ යුතුය. මෙය යුද්ධයක කන ළඟින්ම බෝම්බ පිපිරීමේදි ඇති වන දැඩි ව්‍යාකූලවූ තත්වයකි. එයට ඉංග්‍රිසි බසින් 'ෂෙල් ශොක්' කියා හඳුන්වයි.

මේජර් ඩෝර්යාන් ට මෙම අවස්ථාවේදීද, එම ව්‍යාකූල තත්වය ඇතිවිය. එවිට මුළු අවන් හලේ සිටියේ ඩෝර්යාන් හා රෝසි පමණි. ඩෝර්යාන් වෙව්ල වෙව්ලා බිම ඇදගෙන වැටෙන විටම, ඔහුට උපකාර කිරීමට පැමිණියේ රෝසිය. එම උපකාරය කොතෙක් දුරට ගියාද කිවහොත් එය අවසන් වූයේ දෙදෙනාගේ දැඩි දෙතොල් සිප ගැනීමකිනි. එයද අවසන් කරන්නට සිදුවූයේ නගරයට ගිය රෝසිගෙ පියා ටොම් රයන් නැවත පැමිණෙන හඬ ඇසුණු නිසාය.

⁣මෙම අහඹු සිදුවීම ප්‍රශ්න ගණනාවක ඇරඹුමක් විය. රෝසි මෙතෙක් කල් හිර කරගෙන සිටි ශාරිරීක හැඟීම් සියල්ල, මේජර් ඩෝර්යාන් ගේ දැඩි ස්පර්ශයෙන් හා දිගු හාදුවෙන් එළියට පනින්නට විය. ශාරිරීකව එකතු නොවන තම මැදිවියේ සැමියාට, උයා පිහා රෙදි සෝදා සම්ප්‍රදායික අයිරිෂ් ගැමි ගැහැනියකගේ භූමිකාව කර ගෙන ගිය මේ තරුණ රූමත් ගැහැනියගේ සිරුර අවුස්සා දමා මේජර් ඩෝරයන් අවන් හලෙන් පිටවී ගියේ ඇගේ ශරීරය පමණක් නොව, ආත්මයද රැගෙනය.

එතැන් පටන් රෝසි ගේ හැසිරීම නිතරම කලබලකාරි විය. ඇයගේ මුළු ගත සිතම අරක්ගෙන තිබුණේ මේජර් ඩෝර්යාන් වය. ඇය චාර්ල්ස්ට බොරු කියමින් තම අශ්වයා රැගෙන කඳු, හෙල්, තැනිතලා, තුරු වදුලු තිබෙන තැන්වලට ගියේ, ඒ ඒ හැම තැනකම මේජර් ඩෝරියන් ඇය එන තෙක් බලා සිටින නිසාය. ඔවුන් දෙදෙනා අතර ආදරයක් තිබෙනවාදැයි ඔවුන් දෙදෙනාම දැන ⁣නොසිටියද, එකිනෙකාගේ සිරුරු සන්තර්පණය කර ගැන්මේ ආශාව නම් දැඩි විය.

මෙම දේවල් ඔවුන් හොර රහසේ කරනවා යැයි සිතුවද, මේවා දකින කෙනෙක් සිටින බවක් ඔවුන් මුලින් දැන සිටියේ නැත. ඔවුන් යන, කඳු,හෙල්, තැනි තලා, තුරු වදුලු අතරේ නිතරම ගැවසෙන මන්ද මානසීක අබ්බගාත මයිකල් ට මොවුන් දෙදෙනා කරන දේවල් රහසක් නොවීය. ඒ ඔහු තුරු වදුලු අත⁣රේ සැඟවී සිට මොවුනගේ ක්‍රියාවන් බලා සිටින නිසාය.

රෝසිටත් ,ඩෝර්යාන් ටත් ඔවුන්ගෙ රහස් හමුවීම් රහසක් ලෙසම තබා ගැන්මට නොහැකි විය. එය ටිකෙන් ටික එකිනෙකා අතර පැතිරෙන්නට විය. විශේෂයෙන් ගම්මානයේ සිටි අවිවාහක තරුණ බව ඉක්මවෙන ගැහැනුන්ට මෙය දරා ගැන්මට නොහැකි විය. ඔවුන් රෝසිට එළිපිටම අපහාස කරන්නට පටන් ගති. මෙය රෝසිගේ සැමියා වූ චාර්ලස්ට ද කනින් කොනින් ආරංචි වූවද, ඔහු ඒවා එක්වරම විශ්වාස ක⁣ළේ නැත. එහෙත් එක්වරම රෝසි තම අශ්වයා රැගෙන යන ගමන්, හා එසේ යන රෝසි නැවත නිවසට ඒමට බොහෝ වේලාවක් ගත වෙන බවත් ,ඒ ආ පසු ද චාර්ල්ස් යම් හෙයකින් ඒ පිළිබඳව විමසුවහොත් ඇය කුමක් හෝ විශාල බොරුවක් කියන බව චාර්ල්ස්ට තේරුණේ වරක් දෙවරක් නොව.එහෙත් ඔහු සැකය මත පදනම් වී

එන සිදුවීම් ගැන ඒ තරම් දුරට සිත යෙදෙව්වේ නැත.

නමුත් එක් දිනක් චාර්ල්ස් තම කුඩා සිසු සිසුවියන් සමඟ මුහුදු වෙරලේ සිටින විට, වැල්ලේ කෙළවර තිබූ අඩිපහරවල් කීපයක් නිරීක්ෂණය කළේය. ඒවාවල තරමක් විශාල අඩිපහරවල් හමුදා සපත්තුවල බවත් එය එකිනෙකට පරස්පර වූයේ එක් කකුලක කිසියම් ආබාධයක් නිසා බවත්, එලෙසම අනෙක් පා සටහන් තරමක් කුඩා ගැහැනු කෙනෙකුගේ බවත් චාර්ල්ස්ට හදුනා ගැන්මට හැකි විය. චාර්ල්ස් එම පාද සලකුණු දිගේ යන්නට විය. එම සලකුණු කෙළවර වී තිබුණේ

ගල් ගුහාවක් තුළටය.

අඳුරු වූ ගල් ගුහාවක් තුළ තරුණ රූමත් ගැහැනියෙකුත්, හමුදා මේජර් වරයෙකුත් කරන්නේ මොනවාදැයි චාර්ල්ස්ට අමුතුවෙන් සිතිය යුතු නොවේ.

රෝසි මෙම තත්වයට පත් වෙන්නේ තමාගේ වරදින් බව චාර්ල්ස්ට අවබෝධ වූවද, තමාගේ බිරිඳ වෙනත් මිනිසෙකු සමඟින් අඳුරු ගුහාවකට රිංගීම, කෙසේ දරා ගන්නේ දැයි යනු චාර්ල්ස්ට නිනව්වක් නැති විය.ඔහුට මේ බව කියන්නට සිටියේ කොලින්ස් දේව ගැතිවරයා පමණි.

⁣මේ අතර අයර්ලන්ත කැරැලිකරුවෝ මෙම ගමට පැමිණීය. ඔවුහු එන විට ජර්මන් යුද නැවකින් මුහුදට වැ⁣ටුණු තුවක්කු, බුලට්, අත් බෝම්බ වැනි යුධ ආයුධ රැගත් විශාල පෙට්ටි කීපයක් රැගෙන පැමිණියහ. එම ආයුධ පෙට්ටි තොගය, ගොඩට ගැනීමට මුළු ගම්මානයේම වැසියෝ ගැහැනු, පිරිමි, ළමුන් යැයි නොබෙදි මහ සුළං සහ වැස්සේ උපකාර කළහ. එයට හේතුව මේ රැඩිකල් කණ්ඩායම, මෙහි රැදී සිටින බ්‍රිතාන්‍ය හමුදාව පලවා හැර අයර්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා ගන්නට ගම් වැසියන් වශයෙන් උපකාර කිරීම ඔවුන්ගේ යුතුකම ලෙස සලකාය. කැරැලි කණ්ඩායම මෙම නීති විරෝධි යයි හඳුන්වන ආයුධ තොගය ටොම් රයන්ගේ අවන් හලේ ඇති ගොඩනැගිල්ලේ සඟවන්නටත් එදින රාත්‍රියේ කැරැලි කණ්ඩායම එම ගොඩනැගිල්ලේ රාත්‍රිය ගත කිරීමට , රයන්ගෙන් අවසර ඉල්ලීය. ගම්මුන් සියලු දෙනාම රයන්ට කීවේ එලෙස කිරීමට ඉඩ දිය යුතු බවය. ඔහු එයට එකඟ විය.

පසුදින ඔවුන් ගම්මුන්ගේ ආධාර ඇතිව, එම ආයුධ තොගය වාහනයක පටවා ගම්මානයෙන් හොර රහසේම පිටවෙන්නට වූයේ, ගම්මුන්ට නව බලාපොරොත්තු වක් ද ඇති කරමිනි. ඒ, හැකි ඉක්මනින් අයර්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් බේරා ගන්නා බවය. කෙසේ හෝ ඔවුන් හොර රහසේ පැන යන්නට සැරසුණද, මේජර් ඩෝර්යාන් හා හමුදා භටයන් ඔවුන්ගෙ මාර්ගය අවහිර කළේ, හරියට ඔවුන් මේ පාරෙන් එන බවක් ස්ථීරවම දැනගෙනය. ඩෝර්යාන් ඔවුන් සියල්ලෝම තම යටතට ගත් අතර කැරැලි කණ්ඩායමේ නායකයාවූ ටිම් ඕ ලියරිට වෙඩි තබන්නටද විය. එම වෙඩි ශබ්දයට මේජර් ඩෝර්යාන් ට අර 'ෂෙල් ශොක්' එක වැලඳුණු අතර, ඔහු වෙව්ලමින් බිම වැටුණේ මී මැස්මුරේ හැදුණු කෙනෙක් මෙනි. මෙලෙස එක් වරක් රෝසි ඉදිරිපිට සිදුවූ සිද්ධිය ඇයට සිහිවිය.ගම් වැසියන් සියලු දෙනාම පාහේ එතැන රැස්වී සිටියද, ඔවුන් කිසිවෙක් ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් නොවුණේ ඔවුනට කැරලි නායක ටිම්ව ඊට වඩා වටින නිසාත්, බ්‍රිතාන්‍ය පාලනය ගැන ඔවුන් තුල තිබූ වෛරයත් නිසාය. එහෙත් මේ කිසිවක් නොතකා රෝසි වහා මේජර් ඩෝර්යාන් ළඟට ගොස් ඇයට හුරු පුරුදු උවටැන කළාය. එය දුටු ගම්වැසියන්ගේ දැඩි උදහසට හා වෛරයට රෝසිව පත් විය.මෙය එතැන සිටි චාර්ල්ස්⁣ද දුටුවේය . මෙම සම්බන්ධතාවය බොහෝ දිග දුර ගොස් ඇති බව චාර්ල්ස්ට වැටහුණු හෙයින්, ඔහු රෝසිට කාරුණීකව තේරුම් කරදී, එම මේජර් ඩෝරයන් සමඟ ගෙනියන සම්බන්ධය දිගටම ගෙනියන ලෙස කියා, තමා ඇයගෙන් වෙන් වන බවද කීය. එහෙත් රෝසි කීවේ තමා එම සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නතර කර බවකි.

නමුදු එදින රාත්‍රියේ රෝසි තම රෑ ඇඳුම පිටින්ම මේජර් ඩෝර්යාන් ව හමුවීමට යනවා චාර්ල්ස් සැඟවී බලා සිටියේය. එදින රාත්‍රියේ චාර්ල්ස් රෝසි නිවසට ඒමට ප්‍රථම, තම පිජාමා ඇඳුම පිටින්ම මුහුදු වැල්ලට ගියේය.

පසු දින උදය වරුවේ කොලින්ස් දේවගැතිවරයා ⁣චාර්ල්ස් සොයමින් යන විට ඔහු මුහුදු වැල්ලේ පිජාමා ඇඳුමත් සමඟ සිටිනු දැක, වහා ගොස් ඔහුට ඇඳීමට ඇඳුම් ගෙනත් දී ඔහුව නිවස දෙසට රැගෙන ගියේය.

ඒ වන විට ගම්මුන් සියල්ලම රෝසිගෙ නිවස වටලා ඇයව එළියට ඇද දැමුවේ, කැරලි කාරයන් හා ඔවුන් ගෙනා ආයුධ මේජර් ඩෝර්යාන් ට කීවේ ඇය යයි කියාය. එහෙයින් ඔවුන් ඇයව අල්ලගෙන ඇයට අඩම්තේට්ටම් කරමින් ඇයගේ දිගු කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දැමුවේ පරුෂ වචනයෙන් ඇයට බැණ වදිමිනි. ඇය මේජර් ඩෝර්යාන් සමඟ තිබූ අනියම් සම්බන්ධයත්, ඔහුව හමුවීමට රාත්‍රියේ යන හැටි කියමින් ඔවුන් ඇයට තව තවත් හිරිහැර කරන්නට විය. එතැනට චාර්ල්ස් සහ කොලින්ස් දේවගැතිවරයා පැමිණෙන විට විය යුතු දේ වී හමාරය. චාර්ල්ස් හා කොලින්ස් පියතුමා ඉමහත් පරිශ්‍රමයකින් , ගම්මුන්ගෙන් රෝසිව බේරා ගති.

මේ සියලු සිදුවීම් තම එකම දියණිය වූ රෝසි රයන්ට සිදුවන අයුරු තරමක් දුර සිට කිසිවක් කළ නොහැකිව බලා සිටියේ රෝසිගේ පියා වූ ටොම් රයන්ය. කැරැලිකරුවන්ට නවාතැන් දී ඔවුන් ගෙනා ආයුධ තොගය සඟවා තැබීමට ඉඩක් සලසා දුන්නේ ටොම් රයන්ය. එලෙසම හොර රහසේම මේ පිළිබඳ ව මේජර් ඩෝරයන්ට පණිවිඩ යැව්වේද ටොම් රයන්ය. එය ටොම් රයන් හා මේජර් ඩෝර්යාන් හැරෙන්නට වෙන කිසිවෙක් දැන සිටියේ නැත. එහෙත් ගම්මුන් සිතුවෙ මෙය රෝසි විසින් කියන්නට ඇති බවක්ය. ඔවුන් එසේ සිතන්නට පෙලඹුනේ, රෝසි, මේජර් සමඟ තිබෙන සම්බන්ධය ගැන ඔවුන් දැනගෙන සිටි නිසාය. රෝසි අඩම්තේට්ටම් ලැබුවේ, නොකළ වරදකටය. නමුත් විනය ගරුක, සැමියෙක් සිටින රෝසි අනාචාරයේ හැසිරීම සම්බන්ධව ද ගම්මුන්ට ⁣රෝසි සමඟ ⁣වෛරයක් තිබුණි. ගම්මුන් මෙහිදී 'කවර්' කර ගත්තේ ඒ 'ඇරියස්' එකය. තමා කළ වරදට තම දියණිය දැඩි ලෙස පීඩාවට පත් වන බව දැක දැකත් පියා ටොම් රයන් නිශ්ශබ්දව සිටීම පුදුම සහගතය. එලෙසම තම දියණිය, ගුණවත් සැමියෙකුට පි⁣ටු පා හොර රහසේ මේජර් ඩෝර්යාන් සමඟ අනාචාරයේ හැසිරෙනවා දැන දැනත් පියෙකු ලෙස ඇස් කන් නෑසුණාක් මෙන් සිටීමද එක් අතකට පුදුම සහගතය. තම දියණිය තමාගේ වරදින් හිරිහැර විඳීම තම දෑස් දෙකෙන් තව දුරටත් බලා සිටීමට නොහැකි වු ටොම් රයන් පිස්සුවෙන් මෙන් ගම හැරදා දිව්වේ ඒ නිසා වන්නට ඇත.

මෙම චිත්‍රපටයේ සුවිශේෂිත ඉඩක් වෙන් කර තිබුණේ මයිකල් නම් මන්ද මානසීක අබ්බගාතයාටය. එක පැත්තකින් ඔහු රෝසිට ආදරය කරයි. එලෙසම රෝසි හා ඩෝර්යාන් ගේ රහස් හමුවීම් තුළින් කරන දේවල්, දකින්නේද ඔහුය. ඒ හෙයින් ඇතැම් වේලාවන් හී ඔහු ඩෝර්යාන් ට වෛර කරන බවකුත් පෙන්වයි. එහෙත් අවසානයේදී ඩෝර්යාන් සිය දිවි හානි කරගන්නට පෙර ඔහු සමඟ සිටින්නේද මයිකල්ය.

⁣මේජර් ඩෝර්යාන් සිය දිවි හානි කර ගැන්මට හේතු පැහැදිලිව නොපෙනුණත්, එයට ආසන්නම පිළිතුර වූයේ, ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් පැවරූ වගකීම නිසි ලෙස ඉෂ්ට කර ගැන්මට නොහැකි වීම වනු ඇත. රෝසි ඔහුව හමුවීමට ආ පෙර දින රාත්‍රියෙදී කීවේ මෙම සම්බන්ධය නතර කිරීමට ඇය තීරණය කළ බවකි. රළු ගති ඇති හමුදා උසස් නිලධාරියකු, ගැහැණියකගේ කම් සැපත නතර වීම නිසා තම දිවි තොර කර ගත්තා යැයි කිසිවිටකත් සිතිය නොහේ.

නමුත් මේ හැම සිදුවීමකට මුල් වී තිබුණේ නම් රෝසිගේ හා ඩෝර්යාන්ගේ අනියම් සම්බන්ධ යයි. අවසානයේ සියල්ල ⁣ඛේදවාචකයක් විය. ටෝම් රයන් උමතු වී ගමෙන් පිටවිය. මේජර් ඩෝරයන් සිය දිවි හානිකරගති. රෝසි තම සැමියා චාර්ල්ස් සමඟ ගම හැර දමා අයර්ලන්තයේම දකුණු දිශාවේ විශාල නගරයක් වූ 'ඩබ්ලින්' බලා පිටත් විය.

චිත්‍රපටය අවසානයේදී ⁣ රෝසිට අත්වන ඉරණම කුමක්දැයි, ඩේවිඩ් ලීන් භාර කළේ අපටය. බස් නැවතුම දක්වා ඔවුන් දෙදෙනාව හැරලන්නට ආ කොලින්ස් දේවගැතිවරයා ට පමණක් නොව, නරඹන අපටද ගැටලුව වී අත්තේ 'ඩබ්ලින්' නගරයට ගිය පසු චාර්ල්ස් රෝසිගෙන් වෙන්වේවිද කියාය. එහී සත්‍යම පිළිතුර නම් දැන සිටියේ රෝසිගේ සැමියා වූ චාර්ල්ස් ශව්ගනසි පමණි.

'රයන්ස් ඩෝටර්' විශිෂ්ට චිත්‍රපටයකි. එහී තිබූ විශිෂ්ටතම අංග වූයේ ෆ්‍රෙඩි යංග් ගේ කැමරාකරණය හා මොරිස් ජාරේගේ සංගීතයයි.

'රයන්ස් ඩෝටර්' 1970 වසරේ 'ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළෙ සම්මාන 4 කට නිර්දේශ විය. ඒ හොඳම නිළිය ලෙස රෝසි රයන්ගේ චරිතය රඟපෑ සාරා මිල්ස්, මෙන්ම සහය චරිතය වූ මයිකල් ගේ චරිතය රඟපෑ ජෝන් මිල්ස් ටය. ඊට අමතරව ෆ්‍රෙඩ් යංග්, කැමරාකරණය ට හා ගෝඩන් මැක්ලම්, හා ජෝන් බ්‍රමාල් ශබ්ද පරිපාලනයටද නිර්දේශ විය. මෙයින් හොඳම සහය නළුවා ලෙස ජෝන් මිල්ස් හා හොඳම කැමරාකරණය ලෙස ෆ්‍රෙඩි යංග් ට ඇකඩමි සම්මාන හිමි විය.

'රයන්ස් ඩෝටර්' විශිෂ්ට චිත්‍රපටයක් වූවද, එය ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රදර්ශනයේදී එතරම් සාර්ථක නොවීය. ඩේවිඩ් ලීන්ගෙ 'ලෝරන්ස් ඔෆ් ඇරැබියා' 'ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි', හා 'ඩොක්ටර් ශිවාගෝ' ලද සාර්ථකත්වයට කිට්ටු වෙන්නටවත් 'රයන්ස් ඩෝටර්' චිත්‍රපටයට නොහැකි විය. බොහෝ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සිනමා විචාරකයන් කීවේ ලීන්ගේ අනෙක් චිත්‍රපට හා සසඳන කල මෙය අසාර්ථක චිත්‍රපටයක් බවය. නමුත්, යුරෝපය හා ආසියානු රටවල් 'රයන්ස් ඩොටර්' විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සැලකූ අතර, එකී රටවල්වල වාණිජ්‍ය මය ලෙස මෙය සාර්ථක විය.

ලංකාවේ, ⁣මෙය තිරගත ක⁣ළේ එකල බම්බලපිටියේ තිබූ මැජෙස්ටික් සිනමා හලේය. උසස් චිත්‍රපට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් අතර මෙය ජනප්‍රිය වූ අතර, සාමාන්‍ය රසිකයෝද, එහී තිබූ ශෘංගාරාත්මක දර්ශන නිසා නරඹන්නට පැමිණියහ. අද 'රයන්ස් ඩෝටර්' ඩීවීඩී තාක්ෂණයෙන් නැරඹිය හැකි අතර, 'නෙට් ෆ්ලික්ස්' චැනලය මඟින්ද නැරඹිය හැකිය.

'රයන්ස් ඩෝටර්' යනු ලොව හැම සිනමා ප්‍රේක්ෂකයෙකුම නැරඹිය යුතුම චිත්‍රපටයකි.