බ්‍රහ්මගේ ආයුධය

Brahmastra PART ONE - SHIVA
සැප්තැම්බර් 1, 2022

 

බ්‍රහ්මස්ත්‍රා (Brahmastra) ) යනු මේ වසරේ බොලිවුඩයේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට අතුරින් එකකි. අයාන් මුඛර්ජිගේ අධ්‍යක්ෂණයක් වන එය නිෂ්පාදනය කරනු ලබන්නේ කරන් ජොහාර්, 

අපූර්වා මෙහ්තා, නමිත් මල්හෝත්‍රා සහ අයාන් මුකර්ජි විසිනි. මෙම චිත්‍රපටය ඇස්ට්‍රාවර්ස් නම් වූ සිනමා විශ්වයේ චිත්‍රපට ත්‍රිත්වයක පළමු චිත්‍රපටයයි.

මේ අනුව ඩීජේ ශිල්පියෙකු වන ශිවා, ගින්දර සමඟ ඔහුගේ අමුතු සම්බන්ධය පිළිබඳ ඉගෙන ගනි. විශ්වය විනාශ කිරීමට හැකි යැයි කියනු ලබන මෙන්ම මැවීම විනාශ කිරීමට සහ සියලු ජීවීන් පරාජය කිරීමට සමත් යැයි කියනු ලබන අද්භූත ආයුධයක් වන බ්‍රහ්මස්ත්‍රය අවදි කිරීමේ බලය ද ඔහු සතුව ඇත. මේ අතර අඳුරු බලවේගයන්ගේ රැජන වන ජූනූන් ද බ්‍රහ්මස්ත්‍රය තමා සතු කර ගැනීමේ ගවේෂණයක යෙදී සිටී. ජූනූන්ගේ අභිප්‍රාය ශිවා ව්‍යර්ථ කරන්නේ කෙසේද යන්න (Brahmastra)  ඔස්සේ දැකගත හැකි වනු ඇත.

බ්‍රහ්මාංශයේ නායකයා ගුරු ලෙස අමිතාබ් බච්චන් ද ශිවා ලෙස රන්බීර් කපූර් ද ශිවාගේ ආදරවන්තිය ඊෂා ලෙස ආලියා භාත් ද අන්ධකාරයේ රැජන ජුනූන් ලෙස මෞනි රෝයි ද නාගර්ජුන අක්කිනේනි, අනීෂ් නම් කලාකරුවා මෙන්ම සහ නන්දි අස්ත්‍රය භාවිතා කරන බ්‍රහ්මාංශයේ සාමාජිකයකු ලෙසද මෙහි චරිත මවති.

ආරාධිත රංගනයකින් එක් වන ශාරුක් ඛාන් විද්‍යාඥයකුගේ චරිතයකට පණ පොවයි.

ඉහළම පිරිවැයකින් නිම කළ චිත්‍රපට අතරට ගැනෙන බ්‍රහ්මස්ත්‍රා, වේක් අප් සිද් සහ යේ ජවානි හේ දීවානිට පසුව අයාන් මුකර්ජිගේ තෙවැනි චිත්‍රපටයයි. යේ ජවානි හේ දීවානි චිත්‍රපටය නිකුත් වී වසරකට පසුව 2014 දී බ්‍රහ්මස්ත්‍රා පූර්ව නිෂ්පාදන ආරම්භ කළ නමුත් රන්බීර් 2018 නිකුත් වූ සංජු චිත්‍රපටය වෙත අවධානය යොමු කිරීම වසර නවයකට ආසන්න කාලයක් පුරා මෙම ප්‍රමාදයට දැඩි හේතුවක් විය. බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ සුවිශේෂ සිදුවීම නම් රන්බීර් - ආලියා ප්‍රේම කතාවයි. 2017 වසරේදී රන්බීර් කපූර් සහ ආලියා භාත් ආදරයෙන් බැඳුණේ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුවයි. පස් වසරක ආදර කතාවකින් පසු ඔවුහු පසුගිය අප්‍රේල් මස විවාහ දිවියට පිවිසි අතර මේ වන විට සිය කුලුඳුල් දරුවා අපේක්ෂාවෙන් පසු වෙති.