බොරු කිව්වොත් Pinocchio වෙයි

සැප්තැම්බර් 1, 2022

පිනෝකියෝ යනු කුඩා වියේ අපේ හද දිනූ ජනප්‍රිය චරිත අතරින් එකකි. පිනෝකියෝ ඉතාලි ප්‍රබන්ධ චරිතයකි. ඔහු ලී රූකඩයක් ලෙස නිර්මාණය කර ඇති නමුත් සැබෑ පිරිමි ළමයකු වීමට සිහින දකියි. ඔහු දිගු නාසය සඳහා ප්‍රසිද්ධය. පිනෝකියෝ බොරුවක් කියූ සැණින් ඔහුගේ නාසය දිගු වේ. දරුවන් බොරු කීමෙන් වළක්වා ගැනීමේ උපායක් ලෙස වසර සිය ගණනකටත් වැඩි කාලයක් තිස්සේ ලොව පුරා දෙමාපියන් උදාහරණ කර ගත්තේ මේ පිනෝකියෝගේ නාසයේ වෙනස් වීමයි.

පිනෝකියෝ චරිතය නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ ඉතාලි ලේඛක කාලෝ කොලෝඩි විසිනි. මෙම චරිතය සහිත පුවත්පතකට ලියූ පිනෝකියෝ කතාව 1883 දී The Adventures of Pinocchio නමින් ඔහු ග්‍රන්ථයක් ලෙස පළ කළේය. එය ලොව පුරා වැඩියෙන්ම ජනප්‍රිය වූ ළමා කෘති අතර විශේෂ වේ. ගෙප්පේටෝ නම් ලී කැටයම්කරුවකු ලී රූකඩයක් ලෙස නිර්මාණය කළ පිනෝකියෝ සැබෑ පිරිමි ළමයකු වීමට සිහින දකින අයුරු ඒ ඔස්සේ දිග හැරේ.

සියවස් ගණනක් පුරා ලොව පුරා දරුවන් හට බොරු කීමේ ආදිනව කියා දුන් පිනෝකියෝ මුල්වරට රිදී තිරයට නැඟුණේ 1911 වසරේදීය. ඒ ඉතාලි නිහඬ චිත්‍රපටයක් ලෙසිනි. එදා පටන් මේ දක්වා චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ ලොවපුරා දරුවන් හමුවට පැමණි පිනෝකියෝ යළිත් වරක් සිනමාවට පැමිණ සිටී. ඒ ලබන 8 වැනිදා (සැප්තැම්බර් 08) සිට තිරගත කිරීමට නියමිත Pinocchio සජීවකරණ චිත්‍රපටය සමඟිනි.

Pinocchio යනු රොබට් සෙමෙකිස් සහ ක්‍රිස් වෙයිට්ස්ගේ තිර රචනයකින් රොබට් සෙමෙකිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු සංගීතමය සජීවකරණ චිත්‍රපටයකි. වෝල්ට් ඩිස්නි පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය වෝල්ට් ඩිස්නි 1940 වසරේදි ඉදිරිපත් කළ Pinocchio සජීවිකරණ චිත්‍රපටයේ අනුවර්තනයකි. එය 1883 වසරේදී කාලෝ කොලෝඩි රචිත The Adventures of  Pinocchio මත පදනම් වී ඇත. මෙම චිත්‍රපටයේ ටොම් හෑන්ක්ස්, සින්තියා අර්වියෝ, ගියාසෙප් බැටිස්ටන් සහ ලූක් එවන්ස් රංගනයෙන් දායක වී සිටිති. ජෝසප් ගෝර්ඩන් - ලෙවිට් සහ කීගන්-මයිකල් කී හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි කතාව අනුව ගෙප්පේටෝ දරුවන් නොමැති ලී කැටයම් ශිල්පියෙකි. පිනෝකියෝ ඔහුගේ ලී කැටයම් නිර්මාණයකි. ඔහු පිනොකියෝ සැබෑ පිරිමි ළමයකු වීමට ප්‍රාර්ථනා කරයි. ඔහුගේ ප්‍රාර්ථනාව නිල් සුරංගනාවියකට ඇසෙයි. ඇය ගෙප්පේටෝගේ සාප්පුවට ගොස් රූකඩයට පණ දෙයි. දැඩි ප්‍රීතියෙන් සිටින ගෙප්පෙටෝ, පිනෝකියෝ තමාගේ පුත්‍රයකු මෙන් ඇති දැඩි කරයි. නමුත් පිනොකියෝ හට සැබෑ පිරිමි ළමයකු වීමට නම් පරාර්ථකාමී, නිර්භීත මෙන්ම සත්‍යවාදි වන්නේ කෙසේ දැයි ඉගෙන ගත යුතුව ඇත.