වසර 25කට පෙර මිය ගිය ළමයකුගේ දිවි බේරා ගැනීම

Dobaaraa
අගෝස්තු 18, 2022


 
 ඔබට අතීතයට ගොස් එම සිදුවීම් නැවත බලා සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා නම් කැමති ද? නොඑසේ නම් අනාගතයට ගොස් ඉදිරියේදී සිදු වීමට ඇති දේ කලින් දැකගන්නට ඔබේ සිතේ ආශාවක් තිබෙනවාද? මෙම ප‍්‍රශ්න දෙකටම පිළිතුර ඔව් නම් ඒ වෙනුවෙන් ඔබ කාල තරණය කළ යුතු වේ. එනම් කාලය හරහා ඉදිරියට හෝ පසුපසට ගමන් කිරීමයි. ඇත්තටම අපිට කාලය හරහා ගමන් කළ හැකිද? ප‍්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැතත් තහවුරු නොකළ එවැනි සිදුවීම් ලොව පුරා විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබී ඇත.
 
 1989 නොවැම්බර් 09 වැනිදා විශේෂ දිනයකි. බර්ලින් තාප්පය කඩා වැටීම මෙන්ම පැය 72 ක දරුණු කුණාටුවකි. මේ අතරතුර, නිකෝ නම් පිරිමි ළමයකු තම නිවසේ වීඩියෝවක් පටිගත කරමින් සිටී. එම අවස්ථාවේදී ඔහුට යම් ශබ්දයක් ඇසෙන අතර ඔහුගේ අසල්වැසියන්ගේ නිවසේ ජනේලයකින් දරුණු ගැටුමක දර්ශනයක් දකී. ඔහු එම නිවසට යන්නේ අසල්වැසි ඒන්ජල් ප‍්‍රීටෝගේ බිරිඳ වන වයිස් මහත්මිය සොයා ගැනීමටය. ප‍්‍රීටෝ මහතා පිහියක් අතැතිව සිටිනු දුටු නිකෝ පැන යාමට තැත් කරන විටදී අවාසනාවන්ත ලෙස පාරේ ගමන් ගත් මෝටර් රථයක ගැටෙයි. රිය අනතුරකින් නිකෝ මිය යන විට මිනීමැරුම් ආයුධය අතැතිව ප‍්‍රීටෝ අත්අඩංගුවට ගනු ලැබේ.
 
 එම සිදුවීමෙන් වසර විසිපහකට පසුව වේරා රෝයි සහ ඬේවිඞ් ඔර්ටිස් ඔවුන්ගේ දියණිය ග්ලෝරියා සමඟ නිකෝ පදිංචි වී සිටි නිවසේ පදිංචියට පැමිණේ. ඔවුන්ට ගබඩා කාමරයක තිබී පැරණි රූපවාහිනී යන්ත‍්‍රයක්, වීඩියෝ රෙකෝඩරයක් සහ කැසට් පටයක් හමු වේ. ඒ සමඟ එදා 1989 දී ඇති වූ කුණාටුවට සමාන විදුලි කුණාටුවක් ආරම්භ වේ. වේරා, ඬේවිඞ් සහ ග්ලෝරියා නිකෝගේ වීඩියෝව නැරඹීමෙන් පසු රූපවාහිනිය නිකෝ වීඩියෝ පටය කරන විටදි පැවති සජීවී ප‍්‍රවෘත්ති විකාශනය කිරීමට පටන් ගනී. රාත‍්‍රී ආහාරය අතරතුර වේරා සහ ඬේවිඞ් මෙම සිදුවීම ඔවුන්ගේ අසල්වැසි අයිටර් සහ ඔහුගේ මව ක්ලාරා සමඟ බෙදා ගන්නා අතර නිකෝ මරණයට පත් වූ අයුරු ද දැන ගනී. එදින රාත‍්‍රියේදී වේරා, නිකෝ
 
 රූපවාහිනියෙන් දකින අතර ඇයට ඔහු සමඟ සන්නිවේදනය කළ හැකි බව දැක කම්පනයට පත් වේ. ඇය බියට පත් වූ නමුත් නිකෝට පහර නොදෙන ලෙසත් පාරේ නොයන ලෙස අනතුරු ඇඟවීමට උත්සාහ කරයි.
 
 පසුදා උදෑසන වේරා අවදි වන්නේ ඇය හැර වෙනත් කිසිවකු ඉහත සිදුවීම් ගැන නොදන්නා අලූ‍ත් යථාර්ථයක් සමඟිනි. ඬේවිඞ් වෙනත් කෙනෙකු සමඟ විවාහ වී සිටී. ග්ලෝරියා ඉපදී නැත. ඇය කලබල වී සිතන්නට පටන් ගනී. ඇයට නැවත වරක් නිකෝ සමඟ සම්බන්ධ වීමට හැකි නම් ඇය කළ දේ නිවැරදි කිරීමට ඇයට හැකි වනු ඇත.
 
 Mirage නම් ස්පාඤ්ඤ චිත‍්‍රපටය 2018 වසරේදී දිග හැරුණේ මෙලෙසිනි. එය ඕරිඔල් පවුලෝ විසින් සම-රචනය කර අධ්‍යක්ෂණය කරන ලද්දකි.
 
 බොලිවුඩයෙන් දිග හැරෙන අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කරන ලද Dobaaraa (2.12) චිත‍්‍රපටය කියන්නේද එවැනිම කතාවකි. මෙම අභිරහස් හින්දි චිත‍්‍රපටය Mirag හි ප‍්‍රතිනිර්මාණයකි. එහිදී මීට වසර 25 කට පෙර ඇති වූ ගිගුරුම් සහිත වැස්සකදී මියගිය 12 හැවිරිදි පිරිමි ළමයකුගේ ජීවිතය බේරා ගැනීමට කාන්තාවක් වර්තමානයේ එවැනිම කුණාටුවකදී රූපවාහිනී යන්ත‍්‍රය හරහා සම්බන්ධ වී අවස්ථාවක් ලබා ගනී.
 
 Dobaaraa චිත‍්‍රපටයේ මංගල දැක්ම සිදු වූයේ පසුගිය ජුනි මස පැවති ලන්ඩන් ඉන්දියානු චිත‍්‍රපට උලෙළේදීය. එය හෙට (අගෝස්තු 19) සිට සිනමා ශාලා වෙත නිකුත් කිරීමට නියමිතව ඇත. තාප්සි පන්නු, පවායිල් ගුලාති, නසාර්, රාහුල් භාත්, හිනම්ෂි චෞද්‍රි, සස්වත චැටර්ජි, මධුරිමා රෝයි ඇතුළු‍ පිරිසක් මෙහි රංගනයෙන් එක් වී සිටිති.