ලේ පිපාසිත සිංහයකු ලූහුබැඳ

I D R I S E L B A BEAST
අගෝස්තු 18, 2022


 
 වෛද්‍ය නේට් සැමුවෙල්ස් විවාහයෙන් වෙන් වූ දෙදරු පියෙකි. ඔහු සිය නව යොවුන් වියේ පසුවන දියණියන් දෙදෙනා සමඟ දකුණු අප‍්‍රිකාවට පැමිණෙන්නේ අතීතයේ පැරණි සුන්දර මතකයන් සමඟිනි. ඔහුට තම බිරිඳ මුණගැසුණේ දකුණු අප‍්‍රිකාවේදී වීම මෙම ගමනට මුල් වූ විශේෂතම හේතුවයි. එහිදී නේට්, පවුලේ පැරණි මිතුරකු වන වනජීවී විද්‍යාඥයකු විසින් සංවිධානය කරන ලද විනෝද ගමනකට සූදානම් වේ. රක්ෂිතයක් වෙත යන මේ ගමන අතිශය භයානක සටනක් බවට පත් වන්නේ දඩයම්කරුවන්ගෙන් දිවි ගලවා ගත් ලේ පිපාසිත සිංහයෙකු ඔවුන් පසුපස හඹා යාමට පටන් ගත් විටදීය.
 
 නේට් ඇතුළු‍ පිරිස මෙම භයානක විලෝපිකයා හට මුහුණ දෙන අතිශය බිහිසුණු සිදුවීම දැකගත හැකි වන්නේ ජේම් ප‍්‍රීමක් සුලිවන්ගේ කතාවක් පාදක කොටගනිමින් රයන් එන්ගල්ගේ තිර රචනයකින් බල්තසාර් කොර්මාකුර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ත‍්‍රාසජනක චිත‍්‍රපටයෙනි. එහි ඉඩ‍්‍රිස් ඇල්බා, ෂාර්ල්ටෝ කොප්ලේ, ඉයෙනා හැලී සහ ලියා සාවා රංගනයෙන් දායක වී සිටිති. බීස්ට් චිත‍්‍රපටයේ රූගත කිරීම් 2021 ජුනි මාසයේදී දකුණු අප‍්‍රිකාවේදී ආරම්භ වූ අතර ලිම්පෝපෝ සහ උතුරු කේප් ග‍්‍රාමීය පළාත්වල මෙන්ම කේප් ටවුන් හි ද රූගත කිරීම් සිදු විය.