යුතුකමේ හැඟීමට මැදි වූ ආදරය

Persuasion
ජූලි 21, 2022


 
 ජේන් ඔස්ටින් යනු ලෝ ප‍්‍රකට ඉංග‍්‍රීසි ලේඛිකාවකි. 1775 වසරේ දෙසැම්බර් මස දහසය වැනි දින උපත ලද ඇය ලේඛන කලාව ආරම්භ කළේ වයස අවුරුදු දාහතේදීය.Sense and Sensibility
 (1811) Pride and Prejudice (1813) Mansfield Park (1814) Emma(1816) ඇය විසින් රචනා කරන ලද ලෝ ප‍්‍රකට ග‍්‍රන්ථය වේ. Northanger Abbey iy Persuasion (1817) කෘති ඇය ගිලන්ව සිටි සමයේ ලියු නමුත් ඒවා ප‍්‍රකාශයට පත් වූයේ ඇගේ අභාවයෙන් පසුවය. වරින් වර අසනීපවලට ගොදුරු වී 1817 වසරේදී වයස අවුරුදු 41 වන විටදී ඇය මිය ගියද වර්තමානයේදී ද ඇයගේ ජනප‍්‍රියත්වයේ කිසිදු අඩුවක් නොවේ.
 
 ඇයගේ නවකතා ඇය ජීවත් වූ 18 වන සියවසේ එංගන්තයේ මධ්‍යම පාන්තික ජනතාවගේ එදිනෙදා ජීවිත ඇසුරෙන් නිර්මාණ වූ ඒවා විය. එම කතාපුවත්වල සිටින තරුණියන් කැපී පෙනෙන අතර විවාහය, ආදරය මෙන්ම ඔවුන් සමාජය සමඟ ගනුදෙනු කරන්නා වූ ආකාරය ඇය විස්තර කරන්නීය.Pride and Prejudice හි එලිසබෙත් බෙනට්,Mansfield Park හි ෆැනී,Sense and Sensibility  හි එලිනෝර්, Emma හි එමා, Persuasion හි ඈන් එලියට් ලෝ ප‍්‍රකටය. Persuasion යනු ජේන් ඔස්ටින් විසින් සම්පූර්ණ කරන ලද අවසාන නවකතාවයි. එය ප‍්‍රකාශයට පත් කෙරුණේ ඇගේ මරණයෙන් මාස හයකට පසු 1817 දෙසැම්බර් 20 වැනිදාය. Persuasion නවකතාව රූපවාහිනි නිර්මාණ හයක් ඇතුළුව නාට්‍ය නිෂ්පාදන, ගුවන් විදුලි විකාශන සහ වේදිකා නාට්‍ය නිර්මාණ රැසකට පදනම් වී ඇත. Persuasion නවකතාව ඇසුරෙන් කළ නවතම නිර්මාණය චිත‍්‍රපටයකි. එය බි‍්‍රතාන්‍ය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක වන කේරි ක‍්‍රැක්නෙල්ගේ කුලූඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස පසුගිය ජූලි 15 වැනිදා රිදී තිරයේ දිග හැරුණි.


 
 Persuasion කෘතිය අවුරුදු විසි හතක බි‍්‍රතාන්‍ය තරුණියක වන ඈන් එලියට්ගේ ජීවිතය පිළිබඳ රචනා වූවකි. ඈන් එලියට් යනු ශ‍්‍රීමත් වෝල්ටර්ගේ දෙවැනි දියණියයි. ඇය බුද්ධිමත්ය. දක්ෂ මෙන්ම ආකර්ෂණීය තරුණියකි. 1806 දී ඈන් විවාහ ගිවිසගෙන සිටියේ නාවික හමුදා කපිතාන් ෆෙඞ්රික් වෙන්ට්වර්ත් සමඟිනි. ඒ වන විට ඈන් දහනව වැනි වියේ පසු වූවාය. නමුත් ඈන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීම මත විවාහ ගිවිස ගැනීම කැඞී ගියේය. එයට හේතු වූ කාරණා කිහිපයක් විය. ඈන්, වෙන්ට්වර්ත් සමඟ ආදරයෙන් බැඳුණු නමුත් ඔහු ධනවතකු නොවුයේය. හමුදා නිලධාරියකු වූ හෙයින් අනාගතය ද අවිනිශ්චිත විය. ඈන්ගේ තරුණ විය ද ඒ අතර ප‍්‍රධාන විය. යුතුකමේ හැඟීමෙන් තම පවුලේ අයගේ උපදෙස්වලට ඇහුම්කන් දීම නිවැරදි බව ඈන් සිතුවාය. වසර හතක් ගත වූ තැන ඈන් සහ ෆෙඞ්රික් නැවත හමු වූහ. කාලය ගත වුවද දෙදෙනාම තවමත් අවිවාහකය. වසර හතක වෙන්වීමකින් පසු නැවත මුණගැසෙන මෙම පෙම්වතුන්ගේ අනාගතය විසඳෙන්නේ කෙසේ දැයි Persuasion කියනු ඇත.
 
 Persuasion චිත‍්‍රපටයේ ඈන් එලියට්ගේ චරිතයට පණ පොවන්නේ ඇමරිකානු නිළි ඩෙකෝටා ජොන්සන්ය. ෆෙඞ්රික් වෙන්ට්වර්ත්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිත ඇමරිකානු නළුවකු, සංගීතඥයකු වන කොස්මෝ ජාර්විස් විසිනි. විචාරකයන් මෙම චිත‍්‍රපටය හඳුන්වා දෙන්නේ ජේන් ඔස්ටින්ගේ නවකතාව පිළිබඳ විචිත‍්‍රවත්, බුද්ධිමත් හා ප‍්‍රබෝධවත් යාවත්කාලීන කිරීමක් ලෙසිනි.