අඳුරු රහසක අවසානය

GRAYMAN
ජූලි 14, 2022

 
 
 සියරා සික්ස් නමින් හඳුන්වනු ලැබූ සීඅයිඒ ආයතනයේ අති දක්ෂ රහස් මෙහෙයුම් නිලධාරියකු වූ කෝට් ජෙන්ට‍්‍රි පසු කලෙක සිරගත කෙරුණු අතර මේ වනවිට ඔහු නිදහස් වී ඇත. ඔහුගේ පැරණි උසස් නිලධාරියකු වූ ඩොනල්ඞ් ෆිට්ස්රොයි සිය මෙහෙයුම් කාර්යයක් ඩෙන්ට‍්‍රික් හට භාර දී ඇත. මේ අතර සීඅයිඒ ආයතනයේ වෙනත් නිලධාරියකු වූ ලොයිඞ් හැන්සන් තවත් දක්ෂ නිලධාරින් පිරිසක් සමඟ ජෙන්ට‍්‍රි පසුපස හඹා යන්නේ ඔහු ඝාතනය කිරීම වෙනුවෙනි. මෙම ඝාතන උත්සාහය පිටුපස අඳුරු රහසක් ඇති බව දන්නා ජෙන්ට‍්‍රි කෙසේ නම් මෙම දක්ෂ ඝාතකයන් ගෙන් බේරි සිටිනු ඇතිද?
 
 ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ හෙට (ජුලි 15) සිට තිරගත වීම ඇරැඹෙන ‘ද ගේ‍්‍ර මෑන්‘ අමෙරිකානු ක‍්‍රියාදාම ත‍්‍රාසජනක චිත‍්‍රපටය මෙලෙස දිග හැරේ. එය මාර්ක් ග‍්‍රීනේ විසින් 2009 වසරේදී රචනා කරන ලද එනමින් යුතු නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පිරිවැයක් දරා නිර්මාණය කරන ලද ‘ද ගේ‍්‍ර මෑන්‘ නෙට්ෆ්ලික්ස් විසින් එදා මෙදා තුර නිපද වූ වියදම් අධිකම චිත‍්‍රපටයද වේ. දක්ෂ ජනප‍්‍රිය නළු නිළියන් රැසක් පණ පොවන මෙම චිත‍්‍රපටයේ රයන් ගොස්ලින් විසින් කෝට් ජෙන්ට‍්‍රි හෙවත් සයිරා සික්ස් ගේ චරිතයත් ක‍්‍රිස් එවන්ස් විසින් ලොයිඞ් හන්සෙන්ගේ චරිතයත් නිරූපණය කරති. සෙසු නළු නිළියන් අතර අනා ඬේ අර්මාස්, රෙජී-ජීන් පේජ්, වැග්නර් මෝරා, ජුලියා බටර්ස්, ඇල්ෆ‍්‍රි වුඩාඞ්, සහ දකුණු ඉන්දීය නළු ධනුෂ් ද චරිත නිරුපණය කරති.
 
 මාවල් සිනමැටික් යුනිවර්ස්හි (එම්සීයූ) අතිසාර්ථක චිත‍්‍රපට හතරක් වන ‘කැප්ටන් ඇමරිකා : ද වින්ටර් සෝල්ජර්‘ (2014), ‘කැප්ටන් ඇමරිකා : සිවිල් වෝ‘ (2016), ‘ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිට් වෝ‘ (2018), ‘ඇවෙන්ජර්ස් එන්ඞ් ගේම්‘ (2019) නිර්මාණය කළ ඇන්තනි රූසෝ සහ ජෝසප් රූසෝ හෙවත් රූසෝ සහෝදරයන් ගේ දස වැනි චිත‍්‍රපට අධ්‍යක්ෂණය ද මෙය වේ. රූසෝ සහෝදරයන් මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට තීරණය කර තිබෙන්නේ මීට දස වසරකට පෙරදීය. නමුත් එම්සීයූ චිත‍්‍රපට හතර හේතුවෙන් ඔවුන් හට ‘ද ගේ‍්‍ර මෑන්‘ කල් දැමීමට සිදු වී ඇත.
 
 2019 වසරේ තිරගත කෙරුණු ‘ඇවෙන්ජර්ස් එන්ඞ් ගේම්‘ සමඟ ඇමරිකානු සුපිරි වීර චරිත ඉතිහාසයේ (ආදර්ශවත්ම) චරිතයක් වන කැප්ටන් ඇමරිකා හට පණ පෙවූ ජනප‍්‍රිය නළු ක‍්‍රිස් එවන්ස් එම චරිතයෙන් සමුගත්තේය. කෙසේ නමුත් රූසෝ සහෝදරයන් ඔහුගෙන් සමුගත්තේ නැත. ඔවුහු යළි ‘ද ගේ‍්‍ර මෑන්‘ සමඟ හමු වුහ. වෙනසක් වන්නේ ‘ද ගේ‍්‍ර මෑන්‘ චිත‍්‍රපටයේ ක‍්‍රිස් එවන්ස් පණ පොවන්නේ අතිශය භයානක දුෂ්ටයාගේ චරිතය වීමයි. එසේම මෙය ධනුෂ්ගේ පළමු හොලිවුඞ් චිත‍්‍රපටයද වීම විශේෂත්වයකි. ඔහු රූසෝ සහෝදරයන්ගේ විශේෂ ඇගයීමට ලක් වී සිටී. ඔවුන් පවසන්නේ ධනුෂ් අපුරු නළුවකු බවයි. ”‍ඉන්දියාව සතුව ඔවුන්ගේම අයිතියක් ඇති දිගු කීර්තිමත් සිනමා සම්ප‍්‍රදායක් සහිත අපූරු වෙළෙඳපොළක් සහ ජනප‍්‍රිය සිනමා තරු රැසක් දැකිය හැකියි. ඒ අතරින් අපේ තෝරා ගැනීම වුණේ ධනුෂ්. ඔහුගේ දායකත්වය ඉතා විශිෂ්ටයි”‍. රූසෝ සහෝදරයෝ මාධ්‍ය හමුවකදී පැවසූහ.