ගෝත‍්‍රයේ නිදහස වෙනුවෙන් අභීතව සටන් කළ

SHAMSHERA
ජූලි 14, 2022


 
 
 ඩැකොයිට් ගෝත‍්‍රය අතීත ඉන්දියාවේ රණකාමී ගෝත‍්‍රයකි. කුරිරු අධිකාරීවරයකු වූ ජෙනරාල් ෂුද් සිං විසින් සිරගත කළ ඩැකොයිට් ගෝත‍්‍රය වහල්භාවයට පත් කර වධ හිංසාවට ලක් කරනු ලබන්නේ කල්පිත කාසා නගරයේ දීය. වහලකු බවට පත් වූ ඩැකොයිට් ගෝත‍්‍රිකයකු වන ශම්ෂේරා තම ගෝත‍්‍රයේ නිදහස සහ ගෞරවය වෙනුවෙන් අභීත ලෙස සටන් කරන්නේය. අනුකම්පා විරහිත බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව වෙහෙස නොබලා සටන් කරන ශම්ෂේරාගේ කතාව ගෙන එන ීය්පියැර් හින්දි චිත‍්‍රපටය ලබන 22 වැනිදා සිට ලොවපුරා තිරගත වීමට නියමිතව ඇත.
 
 ශම්ෂේරා චිත‍්‍රපටය ගොඩනැඟීමට සත්‍ය සිදුවීම් කිහිපයක් පදනම් වී ඇත. මෙහි කතා පුවත නිර්මාණය කර ඇත්තේ ඩැකොයිට් ගෝත‍්‍රිකයන් බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව කැරලි ගැසූ සිදුවීම් සහ එහිදී ඔවුන් මුහුණ දුන් සැබෑ ජීවිතයේ සිදුවීම්වලිනි. එම කතා එදා පටන් මේ දක්වා ඉන්දීය නිදහස් සටන සමඟ සබැඳි පරපුරෙන් පරපුරට පැවත එන වීර කතාපුවත් වේ. එම කතා වසර 1800 පමණ කාලය පසුබිම් කර ගෙන තිබේ.
 
 යාෂ් රාජ් ෆිල්ම්ස් ගෙන එන ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද සහ කරන් මල්හෝත‍්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද ීය්පියැර් චිත‍්‍රපටයේ ශම්ෂේරා සහ ඔහුගේ පුත් භාලි ලෙසින් ප‍්‍රධාන ද්විත්ව චරිත නිරූපණය කරන්නේ රන්බීර් කපූර්ය. මෙය වසර හතරකට පසු ඔහු රිදී තිරයට පැමිණීම සනිටුහන් කරයි. තවද මෙම චරිත සමඟ රන්බීර් ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු ද්විත්ව භූමිකා සනිටුහන් කරන්නේය. එසේම ශම්ෂේරා යනු රන්බීර් ක‍්‍රියාදාම වීරයකු ලෙස රඟන පළමු චිත‍්‍රපටයයි. ශම්ෂේරාගේ ප‍්‍රතිවාදියා පොලිස් නිලධාරි ශුද්ධ් සිංගේ චරිතයට පණ පොවනු ලබන්නේ සංජේ දත් විසිනි. ඔවුන් සමඟ වානි කපූර්, රෝනිත් රෝයි, සෞරබ් ශුක්ලා සහ අශුතෝෂ් රානා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. දෙමළ සහ තෙළිඟු‍ යන භාෂාවලින් ද නිකුත් කිරීමට නියමිත ශම්ෂේරා චිත‍්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 150 ක පිරිවැයකින් නිම වී ඇත. මිතුන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද මෙහි අර්ජිත් සිං, ශුක්වින්දර් සිං, නීති මෝහන් සමඟ උදිත් නාරායන්ගේ පුත් ආදිත්‍ය නාරායන්ද ගීත ගායනයෙන් එක් වී සිටිති.
 
 චිත‍්‍රපටයේ ප‍්‍රචාරකපටය එළිදැක්වීමේ උත්සවයේදී රන්බීර් කියා සිටියේ නිර්භීත රණශූරයකුගේ චරිතයට පණ පෙවීම තමාට අභියෝගයක් වූ බවයි. ”‍මේ දක්වා මම සිනමාවේ පෙම්වතෙක් වුණා. ශම්ෂේරා කියන්නේ මම අපේක්ෂා කළ චරිතයක්. ඇත්තටම නළුවෙක් විදිහට මට අඩුවකට තිබුණේ තරහක්. මම කේන්තියෙන් පසුවන පුද්ගලයෙක් නෙවෙයි. මම නිරන්තරයෙන් විනෝදයට කැමති, සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා මට මේ චිත‍්‍රපටය කරන්න ගොඩක් අමාරු වුණා. මට මේක කරන්න බෑ කියලා දැණුන දවස් ගොඩක් තිබුණා. කරන් (අධ්‍යක්ෂ) මා සමඟ සහයෝගයන් හිටියා. ඔහු මේ චරිතය වෙනුවෙන් මගෙන් කෝපයේ හැඟීම් උදුරා ගන්තා”‍ ඔහු පැවසීය. රන්බීර් රිදී තිරයේ අවසන් වරට දැක ගැනීමට ලැබුණේ
 
 2018 වසරේ සංජු චිත‍්‍රපටයෙනි. එය බොලිවුඞ් නළු සංජේ දත්ගේ ජීවිත කතාව ගෙන ආ චිත‍්‍රපටයකි. ශම්ෂේරා චිත‍්‍රපටයේ ඔහුගේ ප‍්‍රතිවාදියා වී සිටින්නේ ද සංජේ දත්ය. එයද රන්බීර් හට විශාල සතුටකි. ”‍කුඩා කාලයේ පටන්ම ඔහු මගේ පළමු වීරයා”‍ රන්බීර් පැවසීය.