”‍සෙවන් සමුරායි”‍ රැල්ලෙන් ආ ”‍ද මැග්නිෆිසන්ට් සෙවන්”‍

ජූලි 14, 2022

ජෝන් එලියට් ස්ටර්ජර්ස් ඇමරිකානු සිනමාවට අවතීර්ණ වූයේ ‘ද මෑන් හූ ඩෙයාර්ඞ්’ නම් චිත‍්‍රපටයෙනි. ඒ 1946 තරමේය. එතැන් සිට ඔහු චිත‍්‍රපට 45ක් පමණ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළද, මුලින්ම ලාංකික පේ‍්‍රක්ෂකයන් ඔහුගේ නිර්මාණයක් දුටුවේ කර්ක් ඩග්ලස් හා බර්ට් ලැන්කැස්ටර් නම් නළුවන් ප‍්‍රධාන චරිතය රඟපෑ‘ ගන් ෆයිට් ඇට් ද ඔ.කේ කොරල්’ යන පැරණි ඇමරිකානු බටහිර ගොපලූ‍ චිත‍්‍රපටයෙනි. ඒ 1957 වර්ෂයේදීය.‘ද මැග්නිෆිසන්ට් සෙවන්’ චිත‍්‍රපටය තිරගත වුණේ ඉන් පසුවය. ලංකාවේ ජෝන් ස්ටර්ජර්ස් ගේ අනෙක් ජනප‍්‍රිය වූ චිත‍්‍රපට නම් 1963 වසරේ තිරගත කළ,
 
 ‘ද ගේ‍්‍රට් එස්කේප්’, හා 1968 තිරගත කළ ‘‘අයිස් ස්ටේෂන් සීබ‍්‍රා’ චිත‍්‍රපටයි. ඉහත වර්ෂ සඳහන් කළේ ඇමරිකාවේ තිරගත කළ වසරයන්ය. ලංකාවේ නම් ඒවා තිරගත වූයේ ඊට වසර තුන හතරකට පසු විය හැකිය.
 
 ‘ද මැග්නිෆිසන්ට් සෙවන්’ ලෝක බටහිර ගොපලූ‍ සිනමාව තුළ විශාල පෙරළියක් කළ චිත‍්‍රපටයකි. ‘ගැන්ග්‘ හෙවත් කල්ලි සටන් ක‍්‍රමය ආරම්භ වන්නේද ‘ද මැග්නිෆිසන්ට් සෙවන් ‘චිත‍්‍රපටයෙන් පසුවය.


 
 එහෙත් ජේම්ස් ජෝන් ස්ටර්ජර්ස්ගේ චිත‍්‍රපටය අනුකරණයකි. ඒ 1954 වර්ෂයේදී ජපන් ජාතික විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙකු වූ අකිරා කුරසාවගේ ‘සෙවන් සමුරායි‘ චිත‍්‍රපටයෙනි. මේ ගැන්ග් හෙවත් කල්ලි, සටන් ක‍්‍රමය මුලින්ම ඇතුළත් කර ඇත්තේ කුරසාවාය.
 
 ‘ද මැග්නිෆිසන්ට් සෙවන් ‘ චිත‍්‍රපටය ආරම්භ වනුයේ කල්ලි මංකොල්ල අසරුවන් කණ්ඩායමක් මැක්සිකෝවේ දුප්පත් ගොවින් සිටින නගරයකට පැමිණ, ඔවුන් ගබඩා කර ඇති අස්වැන්න හා ඔවුන් තමන් හා තම පවුලේ දරුපැටවුන්ගේ පරිභෝජනයට රැස් කර තිබෙන අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් කොල්ල කන දර්ශනයකිනි.
 
 මෙහී නායකයා වූයේ කල්වේරා නම් කෙනෙකි. මොහු කෙතරම් දරුණු පුද්ගලයකුද කිවහොත්, ගම්මානයේ කිසියම් කෙනෙකු මේ මංකොල්ල කෑම්වලට විරුද්ධ වුවහොත් එකී තැනැත්තාව එතනම වෙඩි තබා මරා දැමීමට ඔහු පසුබට නොවේ.
 
 මාසයකට සැරයක් හෝ දෙකක් මෙම කල්ලි කණ්ඩායම් මෙකී ගම්මානයට කඩා පැන මෙලෙස ඔවුනට අවශ්‍ය දෑ කොල්ල කෑම මේ දුප්පත් ගොවීන්ට හා ඔවුනගේ පවුලේ අයට විශාල කරදරයක් වූ අතර, මේ හෙයින් ඔවුන් හැම විටම ජීවත් වූයේ මරණ බයකිනි.
 
 අවසානයේදී ඔවුහු මේ පිළිබඳ උපදෙසක් ගැන්මට ඔවුනගේ ගමේ නායකයා ලෙස සලකන වැඩිහිටියෙකු ළඟට ගියහ. ඔහු කීවේ, කළ යුතු එකම දෙය, මෙම කල්ලි කණ්ඩායම පැමිණි පසු ඔවුන් සමඟ සටන්කරන ලෙසටය. මේ දුප්පත් ගොවින් තම අස්වනු වගාව ගැන පමණක් පූර්ණ අවධානය යොමු කර සිටින හෙයින් තවත් අයෙක් සමඟ සටන් කිරීමේ කලාව නම් දැනගෙන සිටියේ නැත. එහෙයින් ඔවුන් මෙම අදහසට එකඟ නොවූයේ, එවැනි අභියෝගයක් ගැන්ම ලේසි, පහසු කටයුත්තක් නොවන නිසාය. එහෙත් වැඩිහිටියා කීවේ, නගරයට ගොස්, දක්ෂ සටන්කරුවන් මුණ ගැසී, ඔවුන් සමඟ ගනු දෙනුවකට කථා කර ගන්නා ලෙසය. ගොවියන් කීවේ එකී සටන්කරුවන්ට ගෙවන්නට ඔවුන් අත මුදල් නැති බවය. වැඩිහිටියා කීවේ, තමාගේ අස්වැන්නෙන් කොටසක් හුවමාරු කර ගැන්මට කථා කර ගන්නා ලෙසටය. දීර්ඝ තර්ක විතර්කයකින් පසු ඔවුන්ට වැඩිහිටියා කිව් දෙය පිළිගැන්මට සිදුවූයේ, වෙන විකල්පයක් නොතිබූ නිසාය.
 
 මේ හෙයින් ගොවින් තිදෙනෙක් මෙලෙස සටන්කරුවෙකු සොයා ගැනීමට නගරයට ගියහ. ක‍්‍රිස් ඇඩම්ස් ඔවුනට හමුවුණේ එසේ නගරයට ගිය විටදීය. ක‍්‍රිස් ඇඩම්ස් යනු නගරයේ දක්ෂතම වෙඩික්කාර ගොපලූ‍ සටන්කරුවෙකි. ගොවින්, ක‍්‍රිස්ව මුණ ගැසෙන විටත් ඔහු සිටියේ තම රයිෆලයෙන් වීර වික‍්‍රම පෙන්වමිනි.
 
 ගොවියන්ගේ දුක්බර කථාව ඇසූ ක‍්‍රිස් කීවේ මෙම කාර්යට හොඳම වෙඩික්කාරයන් සොයා ගත යුතු අතර අවම වශයෙන් 6 දෙනෙකුවත් එතැන සිටිය යුතු කියාය. කෙසේ හෝ ඔවුන් ක‍්‍රිස් ඇඩම්ස්ගෙ ආධාරයෙන් කුලියට වෙඩික්කාරයන් 6 දෙනෙකු සොයා ගත් අතර, මුලින් ක‍්‍රිස් විසින් මෙම 6 දෙනාට පමණක් කාර්ය කර ගැන්මට ඉඩ හරිණ ලදී. පසුව ඔහු ද එම කල්ලියට එකතු වූයේ කල්ලියේ නායකයා ලෙසටය. වින් ටර්නර්, චිකෝ, බර්නාඩෝ, හැරි ලී හා බි‍්‍රට්, ක‍්‍රිස් ඇඩම්ට එකතු වූ අයය. ඔවුන් 7දෙනා විවිධ වූ දක්ෂකම්වලින් සපිරූ කණ්ඩායමකි. වේගයෙන් වෙඩි තැබීම, පිහිය විසි කර මිනිසුන් මැරීම, විවිධ සටන් ක‍්‍රම වලින් සතුරාව මෙල්ල කිරීම, ආදි හැම සටන් ක‍්‍රමවලින් මොවුන් සපිරුණිි.
 
 නගරයට ගිය ගොවින් තිදෙනා නැවත ගමට ආවේ මෙම 7 දෙනාවත් කැටුවය. ගම්මුන් එක්වරම ඔවුන්ව පිළිගැන්මට මැළිිකමක් දැක්වූවද, ටිකෙන් ටික ඔවුන් හා එක්වූයේ වෙන කිසිදු විකල්පයක් නොවූ නිසාය.
 
 කුරසාවාගේ ‘සෙවන් සමුරායි‘ තුළින් සටන්කාමිත්වයට වඩා මානුෂික බවක් ඉස්මතු විය. එහී ගොවියන් අත්විඳින ගැහැට පේ‍්‍රක්ෂකයන්ටත් හැෙඟන, දැනෙන අයුරින් ඉදිරිපත් කර තිබූ අතර, සමුරායිවරුන් හා ගොවින් අතර සබඳකම වැඩි දියුණු වූයේ ඉතාමත් සෙමිනි. නමුත් ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ හී එම සිදුවීම් මාලාව සිදුවූයේ වේගවත්වය. කලබලකාරිවය. එහෙයින් සිනමාත්මකව මෙන්ම, යථාර්ථවාදී ව, කුරසාව ගේ ‘සෙවන් සමුරායි‘ ඉදිරියෙන් සිටියේය. එලෙසම එය ක‍්‍රියාදාම චිත‍්‍රපටයක ස්වරූපයකට වඩා මානුෂිය මෙහෙයුමක් ලෙස ඉදිරිපත් කිරීමට අකිරා කුරසාව වගබලා ගත් අතර, ජෝන් ස්ටර්ජස් තම ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ චිත‍්‍රපටයේ සම්පූර්ණ තැන දුන්නේ ක‍්‍රියාදාමයටය. විශේෂයෙන් ‘සෙවන් සමුරායි‘ හී කුරසාව වඩාත් මතුකර පෙන්වූයේ දුප්පත් ගොවියන්ගේ අසරණ වූ ජීවන රටාව හා ඔවුන් ගේ දුක්බරවූ මානසිකත්වය යි. කුරසාවා තම චිත‍්‍රපටය ඉදිරිපත් කළේ ඔවුනගේ එකී අසරණභාවය තුළිනි. නමුත් ජෝන් ස්ටර්ජර්ස් තම වැඩි බර දුන්නේ සටන්කාමි හත් දෙනාටය. ඔහුට අවශ්‍ය වී තිබුණේ එකී හත් දෙනාගේ වීර වික‍්‍රමයන් මතු කර චිත‍්‍රපටය තනිකරම ක‍්‍රියාදාමයක් බවට පත් කිරීමය. කුරසාවා තම ‘සෙවන් සමුරායි‘ චිත‍්‍රපටයට ජනප‍්‍රිය නළු නිළියන් එකතු නොකොට, චරිත තුළින් තමන්ගේ තේමාව ඉදිරිපත් කළේය. ඔහු ‘සෙවන් සමුරායි‘ තුළට ජනප‍්‍රිය නළුවන් එකතු කර ගත්තා නම් ,එලෙස එකතු කර ගත්තේ, තොෂිරෝ මිෆුනේ හා තකාෂි ෂිමුරා පමණි. නමුත් ජෝන් ස්ටර්ජර්ස් තම ‘ද මැග්නිෆිෂන්ට් සෙවන්‘ චිත‍්‍රපටයට යූල් බ‍්‍රයිනර්, ස්ටීව් මැක්වීන්, චාර්ල්ස් බ්‍රොන්සන්, ජේම්ස් කබෝන්, එලී වොලච්, රොබට් රයන් වැනි ජනප‍්‍රිය, එමෙන්ම අද්විතීය නළුවන් යොදවා ගත්තේ චිත‍්‍රපටයට ‘තරු‘ ගුණය එකතු කිරීමට විය හැකිය. කොහොමත් ජෝන් ස්ටර්ජර්ස් තම චිත‍්‍රපට ඉස්මතු කරනුයේ ජනප‍්‍රිය තරු හරහාය. ‘ගන්ෆයිට් ඔෆ් ඕ.කේ. කොරාල්‘ චිත‍්‍රපටයට කර්ක් ඩග්ලස්, හා බර්ට් ලැන්කැස්ටර්ව ගැනීමත්, ‘ද ගේ‍්‍රට් එස්කේප්‘ චිත‍්‍රපටයට ස්ටීව් මැක්වීන්, චාර්ල්ස් බ්‍රොන්සන් වැන්නන් එකතු කර ගැන්මත්, ‘අයිස් ස්ටේෂන් සීබ‍්‍රා‘ චිත‍්‍රපටයට රොක් හඞ්සන් , අර්නස්ට් බොගිනි වැනි නළුවන්ව තෝරා ගැනීමෙනුත් එය මනාව පිළිබිඹු විය.
 
 ගම්මානයට ගිය ක‍්‍රිස් ඇඩම්ස් ඇතුළු හත්දෙනාට, තේරුම් ගියේ මේ ගම්මුන් මොනතරම් අවිහිංසකද, එමෙන්ම අසරණද කියාය. එහෙයින් මොවුන් වෙනුවෙන් යමක් කළ යුුතුමයි යන අධිෂ්ඨානය ඔවුහු ඇති කර ගති. එසේ වූවද, මංකොල්ලකරුවන්ගේ බලය හරි හැටි තක්සේරු කිරීමට මොවුන්ට එකවරම නොහැකි වුයේ එකී මංකොල්ලකරුවන්ගේ පිරිස මොනතරම් බලවත්ද, කෙතරම් පිරිසක් ඔවුන් සමඟ එකතු වෙනවාද කියා නොදන්න නිසාය. ගම්මුන්ගෙන් අසා ගත් දෑ මතම ඔවුනට සැලසුම් කිරීමට නොහැකිය. එහෙයින් ඔවුහු නැවත මංකොල්ලකරුවන් ගම්මානයට කඩා වදින තෙක් බලා සිටියහ. එලෙසම කල්වේරා ගේ කණ්ඩායම දරුණු මංකොල්ලකරුවන් බව ඔවුන් දැන සිටියද, එය ප‍්‍රායෝගිකව බලා ගැන්මට ක‍්‍රිස් ඇඩම්ස් ට අවශ්‍ය විය.
 
 කෙසේවෙතත්, ගම්මුන් එක්වරම මෙම හත් දෙනාව විශ්වාස කළේ නැත. විශේෂයෙන් ගමේ ගැහැනුන්ට ඔවුන් අතින් අතවර සිදුවේවි යැයි ඔවුන් බියවිය. රූමත් දියණියන් සිටින පියවරුන් මෙම හත්දෙනා ගැන වඩාත් සැලකිලිමත් විය. එහෙයින් ක‍්‍රිස් ඇඩම්ස් ඇතුළු කණ්ඩායමට ගම්මුන්ගෙන් මුලදි, සහයෝගයක් ලැබුණේ නැත. මෙම හත්දෙනාගෙන් තාරුණ්‍යයේ සිටියේ චිකෝය. ඔහු කඩවසම්ය. ගමේ රූමත් තරුණියක් වූ පෙට්රෝ සමඟ ඔහු කිට්ටු සබඳකමක් පටන් ගත්තේ ඔය අතරේදීය. ⁣
 
 මංකොල්ලකරුවන් ගම්මානයට එන දිනය ඉක්මනින්ම උදාවිය. කල්වේරාගේ කණ්ඩායම සුපුරුදු ලෙස මංකොල්ල කෑමට ගම්මානයට පැමිණියහ. ඒ සියල්ල සිදුවන ආකාරය ගැන ක‍්‍රිස් ඇඩම්ස් ඇතුළු කණ්ඩායම සැඟවී සිට නිරික්ෂණය කළහ. කල්වේරා ගේ කණ්ඩායම, ගම්මුන්ගේ අස්වනු හා අනෙක් දෑ කොල්ල කෑවේ හරියට තමුන්ට අයිති දෙයක් රැගෙන යනවාක් මෙනි. ඔවුන් කලබලයකින් ⁣තොරව එකී දෑ රැගෙන ගියද, කිසිවෙක් හෝ කලබල කළහොත් ඔවුන් දරුණු වන බවත් ක‍්‍රිස් ඇඩම්ස් ගේ කණ්ඩායමට තේරුම් ගියහ.
 
 ඔවුන් එතැනින් නික්ම ගිය පසු, ක‍්‍රිස් ඇඩම්ස් තම කණ්ඩායම සමඟ සාකච්ඡුා කළේ මොවුන්ව මැඩ පවත්වන ආකාරයයි. ඔවුහු එතැන් සිට සැලසුම් කළහ. මෙයට ගම්මානයේ සිටින පිරිමි හා ගැහැනු පමණක් නොව කුඩා ළමුන් වද පුහුණු කළ යුතු බව ඔවුහු අවධාරණය කළහ.
 
 කුරසාවා ගේ ‘සෙවන් සමුරායි‘ තුළ මෙම ‘අරමුණ‘ එක සහ ‘සටන‘ එක ගෙන ගියේ මානුෂික මෙහෙයක් ලෙසටය. නමුත් ජෝන් ස්ටර්ජර්ස් ගේ ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ නිර්මාණය කර තිබුණේ ‘ත‍්‍රාසජනක‘ ශානරය යටතේය. ඔහුට, යූල් බ‍්‍රයිනර්, ස්ටීව් මැක්වීන්, චාර්ල්ස් බ්‍රොන්සන්, ජේම්ස් කබෝන් සහ එලි වොලච් වැනි නළුවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගැන්මට වුවමනා කම තිබුණි. අන් අතට එවන් ක‍්‍රියාශීලි දැවැන්ත නළුවන් හරහා තිරය දෙදරවීම ට තම නිර්මාණය හසුරවීම අරුමයක්ම නොවේ.
 
 කතාව ඉන්පසු ගලා ගියේ අර ත‍්‍රාසජනක ශානරය යටතේමය. ක‍්‍රිස් ඇඩම්ස් ගේ කණ්ඩායම හරහා ගම්මුන්ට විවිධ සටන් ක‍්‍රම හා ආයුධ හැසුරවීම් පුහුණු කිරීම වැනි දේ වලින් චිත‍්‍රපටයේ රිද්මය ටිකෙන් ටික වේගවත් කළේය.
 
 විවිධ සිදුවීම් මාධ්‍යයේ ඔවුන් කල්වේරාගේ කණ්ඩායමට මුහුණ දීමට ලක ලෑස්ති විය.
 
 ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ හී කල්ලි දෙක අතර ඇතිවූ සටන, කුරසාවා ගේ ‘සෙවන් සමුරායි‘ චිත‍්‍රපටයට වඩා ත‍්‍රාසජනක විය. විශේෂයෙන් ටර්නර්, බර්නාඩෝ බි‍්‍රට්, හා ක‍්‍රිස්ගේ චරිත තුළින් ආ විවිධ වූ සටන් ක‍්‍රම පේ‍්‍රක්ෂකයන් ගේ දැඩි අවධානයට යොමු විය. එම චරිත වලට පණ දුන් ස්ටීව් මැක්වීන්, චාර්ල්ස් බ්‍රොන්සන්, ජේම්ස් කබෝන් හා යූල් බ‍්‍රයිනර්, සටන් කලාව තුළද ප‍්‍රගුණ වී සිටියහ. එලෙසම ප‍්‍රතිවාදි කණ්ඩායම මෙහෙයවූ කල්වේරා ගේ චරිතය ගොඩ නඟා තිබුණු ම්ලේච්ඡු හැඩ තල සඳහා ‘ද ගුඞ්, ද බෑඞ් ඇන්ඞ් ද අග්ලි‘ චිත‍්‍රපටයේ ‘ටුකෝ‘ හෙවත් ‘අග්ලි‘ ගේ චරිතයට පණ දුන් එලි වොලච්ව ⁣ගැනීම නිවැරදිම තේරිමක් විය.
 
 අවසාන සටනේදි, පුහුණුව ලැබූ ගම්මුන්ද ක‍්‍රිස් ඇඩම්ගේ 7 දෙනා හා එකතුව කල්වේරා ගේ කණ්ඩායම සමඟ කරට කර සටන් කළහ. මෙයින් ගම්මුද, ඔවුනගේ අරමුණ ජය ගන්නට හැකි විය. එහෙත් දක්ෂ සටන්කරුවන් 7 දෙනා අතරින් ඉතුරු වූයේ 3 ක් පමණි. ඒ ක‍්‍රිස් , වින් සහ චිකෝය. කල්වේරා මිය ගියේ ක‍්‍රිස් ඇඩම්ස් අතිනි.
 
 සියල්ල අවසානයේදි ක‍්‍රිස්, වින් හා චිකෝ ගම්මානයේ වැඩි හිටියාව මුණ ගැසෙති. ඔහු කීවේ ගම්මුන් පමණක් මෙම සටනින් ජයග‍්‍රහණය කළ බවකි. ක‍්‍රිස් ඇඩම්ස් කීවේද, වැඩිහිටියා කී කථාව නිවැරදි බවය. ඒ, සටනින් ගම්මුන් පමණක් ජයග‍්‍රහණය කළ බවත්, ඔවුන් පරාජය වූ බවත්ය. ගම්මුන්ට උපකාර කිරීමට ගොස්, ඔවුනට බර්නාඩෝ නැති විය, හැරි නැතිවිය. ලී නැති විය, බි‍්‍රට් නැති විය. මේ සියල්ලන්්ම පැමිණියේ ගම්මුන්ට උපකාර කිරීමටය. අවසානයේ ගම්මුන් ට ජය ලැබුණි. ක‍්‍රිස් ඇඩම්ස් ඇතුළු කණ්ඩායම පමණක් පරාජය විය.
 
 ක‍්‍රිස් හා වින් ටර්නර් නැවතත් නගරය බලා යන්නට වූ අතර, චිකෝ පෙට‍්‍රා ව විවාහ කරගෙන ගමේම පදිංචි වීමට තීරණය කළේය.
 
 1960 වසරේ තිරගත කළ ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ නැවත 2016 වසරේ එම නමින්ම ප‍්‍රතිනිර්මාණය කරන ලද්දේ ඇන්තනි ෆුකුවා විසිනි. ඩෙන්සිල් වොෂින්ටන්, එතන් හව්කි, ක‍්‍රිස් ප‍්‍රැට්, වින්සන් ඞී ඔන්ෆ‍්‍රියෝ, පීටර් සර්සගාඞ්, මාටින් සෙන්සමියර්, ලී බ්යුන්ග්හුන්, එම හත් දෙනාට රඟපෑ⁣හ. ඇ. ඩොලර් මිලියන 107 ක ආයෝජනය කළ මෙම චිත‍්‍රපටය ලොව පුරා ලද ආදායම වූයේ ඇ. ඩොලර් මිලියන 162 ක් පමණි. එය සාමාන්‍ය සාර්ථකත්වයත් ලැබූ බවකි සඳහන් වනුයේ. එහෙත් මුල් චිත‍්‍රපටයට අයෝජනය වූයේ ඇ.ඩොලර් මිලියන 2 කක් පමණ වූවද එහී බොක්ස් ඔෆිස් ආදයම ඇ. ඩොලර් 10 ක් පමණ විය. එය 1960 දශකය චිත‍්‍රපට හා සසඳන කල සාර්ථක ආදායමක් ඉපැයු චිත‍්‍රපටයක් ලෙස පිළිගැනේ.
 
 1966 වසරේ ලංකාවද මෙම කථාව අනුසාරයෙන් රෝලන්ඞ් අමරසිංහ නම් අධ්‍යක්ෂවරයා ‘ කොළඹ හාදයෝ‘ නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. රෝලන්ඞ් එය සෘජුවම ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ චිත‍්‍රපටයෙන් කථාව උපුටා ගත් බව සඳහන් කළේය. ලයනල් දැරණියගල, ශාන්ති අබේසේකර, සේනාධීර රූපසිංහ, දයානන්ද ජයවර්ධන, පියදාස ගුණසේකර, පියදාස විජේකෝන් හා ශිරාණි ගුණතිලක මෙහි ප‍්‍රධාන චරිතවලට පණ පෙවූ අතර, එහී කථාව ගොඩ නඟා තිබුණේ කොළඹින් පැමිණි තරුණයන් හත්දෙනෙකු ගමකට පැමිණ එහි තාවකාලිකව නවාතැන් ගෙන සිටිනා තුර, එම ගමට නිතර කඩා පැන ගම්මුන්ගේ දෑ මංකොල්ල කන මැර කල්ලියක්, මැඩ පැවත්වීම සඳහා ගම්මුන්වත් පුරුදු පුහුණු කර, ඔවුන් සමඟ එක්වී එකී මැර කල්ලිය පරාජය කරන ආකාරයෙනි. ‘කොළඹ හාදයෝ‘ වාණිිජ්‍යමය සාර්ථක වූ චිත‍්‍රපටයක් විය.
 
 1970 දශකයේ මෙම තේමාවම රැගත් තවත් සිංහල චිත‍්‍රපටයක් බිහිවිය. ඒ ශාන්ති අබේසේකර නිර්මාණය කළ ‘සිදාදියෙන් හයක්‘ චිත‍්‍රපටයයි. ශාන්ති, ‘කොළඹ හාදයෝ‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑ නිසා, ඇතැම් විට ඔහුට මෙය යළිත් ප‍්‍රතිනිර්මාණය කිරීමට සිතෙන්නට ඇත. නමුත් ඔහු එය කේන්ද්‍ර කර ගත්තේ ප‍්‍රතිවිරුද්ධ එනම් මැර කල්ලියගේ කෝණයෙන් හා ඔවුනට ප‍්‍රමුඛත්වය දීමෙනි. නමුත් කථා තේමාව එයම විය. මෙහි අන්තර්ගත වූයේ මදාවි තරුණ 6 දෙනෙකුගේ කණ්ඩායමක් ගමකට ගොස්, ඔවුන්ව කොල්ල කමින්, අඩම්තේට්ටම් කරමින්, රූමත් කාන්තාවන්ව ¥ෂණය කරමින් ඒ ගමට පිළිලයක් වන සේ හැසිරීමය. ඉන්පසු ගමේ අය සංවිධානය වී ඔවුන් සමඟ මුහුණට මුහුණ සටන් කර ඔවුන්ව මෙල්ල කිරීම ‘සිදාදියෙන් හයක්‘ චිත‍්‍රපටයට ඇතුළත් වූ කථාවය. ශාන්ති අබේසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රැල්ෆ් විජේසේකර, කමල් දිසානායක, ජෝ මයිකල්, පද්මා සිරිවර්ධන, ජෝ ලිවේරා, ප‍්‍රියංකා පෙරේරා වැන්නෝ මෙහී ප‍්‍රධාන චරිත රඟපැහ. එයද වාණිිජ අතින් සාර්ථක වූ චිත‍්‍රපටයක් විය.
 
 ඉන්දියාවේ හින්දි සිනමාවේ විශාලම ආදායමක් ඉපෑයූ රමේශ් සිප්පිගේ ‘ෂෝලේ‘ චිත‍්‍රපටය තිරගත වූයේ 1975 වසරේය. ‘ෂෝලේ‘ චිත‍්‍රපටයද කථා සාරය උපුටා ගත්තේ ‘ ද මැග්නිෆිසන්ට් සෙවන්‘ චිත‍්‍රපටයෙනි. ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන්, සංජීව් කුමාර්, හේමා මාලනී, ජයා භාදුරි ප‍්‍රධාන චරිත රඟපෑ අතර, එහී ප‍්‍රධාන ප‍්‍රතිවිරුද්ධ චරිතය රඟපෑවේ අම්ජාඞ් ඛාන්ය. ‘ෂෝලේ‘ හී ඔහුගේ රඟපෑම ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ චිත‍්‍රපටයේ ප‍්‍රතිවිරුද්ධ චරිතය වූ කල්වේරා ගේ රඟපෑම ඉදිරිපත් කළ එලි වොලච්ව, අබිබවා කළ රඟපෑමක් ලෙස එකල ඉන්දීය විචාරකයන් සඳහන් කළ බවක් මතකය.
 
 කෙසේ වෙතත් ‘ද මැග්නිෆිසන්ට් සෙවන්‘ චිත‍්‍රපටය මුළු‍ ලොවම ආකර්ෂණයට පත් වු බවක් මේ සියලූ‍ තොරතුරු වලින් ප‍්‍රත්‍යක්ෂ වූවද , ඒ සියලූ‍ ප‍්‍රශංසා, අගය කිරීම් ලැබිය යුතු වන්නේ මෙම තේමාව ලොවට මුල් වරට හඳුන්වා දුන් ,‘සෙවන් සමුරායි‘ චිත‍්‍රපටය, කථාව, තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ අකිරා කුරසාව ටය.