රාජ්-නාගීස් අමරණීය පෙම් පුරාවත

රාජ් කපූර් යනු බොලිවුඞ් නම් අධිරාජ්‍යයේ එක් යුගයක් වර්ණවත් කළ අධිරාජයෙකි
ජූලි 7, 2022

 

ගින්දරත් පුළුනුත් එක ළඟ ඇතිවිට ඇවිළීම විමතියට කරුණක් නො වෙයි. තිරයේ පෙම්වතාත් පෙම්වතියත් සැබෑ ජීවිතයේ ද ආදරවන්තයා, ආදරවන්තිය වූ වාර ගණන ට නිදසුන් අනන්ත ය. එනිසාම ගිනිකන වැටුණු පලඟැටියන් මෙන් ජීවිතය විනාශ කරගන්නන් ද අපමණ ය. රාජ් කපූර් යනු බොලිවුඞ් නම් අධිරාජ්‍යයේ එක් යුගයක් වර්ණවත් කළ අධිරාජයෙකි. ජේත්තුකාරයකු වූ ඔහු මධුවිතත් දුම්වැටියත් කාන්තාවත් ප‍්‍රියතම විෂයයන් කරගත් රංගවේදියකි. අදියුරුවරයකි. ඔහු කෙතරම් ස්ත‍්‍රී ලෝලියකු වුව ද ඔහු ගේ හද ගත් හා හදවත රිදවූ කාන්තාවන් දෙදෙනකු පිළිබඳ අද ද කතා බහට ලක්වෙයි. ඒ රාජ් කපූර් කුටුම්බය සියලූ‍ ජීවනකුනාටු, නියඟ, මුරුගන් වැසි හමුවේ රැකගත් බිරිය ක‍්‍රිෂ්ණා කපූර් ය. රාජ් ගේ වචනයෙන් ම පැවසුවොත් ”‍ මගේ දරුවන් ගේ අම්මා”‍ ය. අනෙක් තැනැත්තිය දස වසරකට ආසන්න කාලයක් ඔහු ගේ තිරයේ පෙම්වතිය වූ නාගීස් ය. නාගීස්ව ඔහු හැඳින්වූයේ ඔහු ගේ සිනමා පටවල මෑණීයන් ලෙස ය. රාජ් ගේ ඍණ නිෂ්පාදන සමාගම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අවස්ථාවල නාගීස් දෙවරක් නො සිතා පැලඳ සිටි මුදු, මාල, වළලූ‍ පවා ගලවා දුන් අවස්ථා තිබෙන නිසා රාජ් ‍ගේ ඒ හැඳින්වීම යුක්ති සහගතය. රාජ් ගේ සිනමා පටවලට මුදල් සොයා දීමට නාගීස් වෙනත් අධ්‍යක්ෂවරුන් ගේ අදාලත්, ඝර් සන්සාර්, ලජ්වන්ති වැනි සිනමා පටවල රඟපා මුදල් උපයා දී තිබෙයි.

 

මහා සිනමාවේදියකු වීමට වෙර දරමින් සිටි තරුණ විවාහක රාජ් කපූර් නළුවාට නාගීස් මුණ ගැසෙන්නේ අහඹු සිදුවීමකිනි.

 

1945 වසරේ එක් දිනක රාජ් ගායිකාවක, ගීත රචිකාවක, නර්තනශිල්පිනියක වූ නාගීස් ගේ මව ජෙදාන් බායි හමු වීමට යන්නේය. ඒ වේලාවේ මව නිවෙසේ නො සිටි අතර නිවෙසේ දොර විවෘත කරන්නේ නාගීස් ය. දුටුවන ම නාගීස් ගේ සුන්දරත්වයට මේ විවාහකයා වශීවන්නේය. කෙමෙන් කෙමෙන් දෙදෙ‍නා අතර සෙනෙහසක් ඇතිවිය. නාගීස්ට රාජ්ව මුලින් ම මුණ ගැසෙන විට ඇය විසි හැවිරිදි වියේ පසු වූවාය. ඒ වන විටත් ඇය සිනමා පට අටක රඟපා තිබුණු ප‍්‍රසිද්ධ නිළියක වූවාය. රාජ් විසිපස් දෙහැවිරිදි වියේ පසුවූ අතර සිනමාවට නවකයකු විය. ආදරයෙන් මුසපත්වූ රාජ් තමන් නාගීස්ව විවාහකර ගන්නා බවට පොරොන්දු වූ වාර අනන්ත ය. නාගීස් විවාහක රාජ් සමඟ විවාහ විය හැකි මඟක් තිබේදැයි කියා නීති උපදෙස් පැතූ අවස්ථාවන් තිබිණි. වරක් ඇය එවකට ස්වදේශ කටයුතු භාර ඇමති වූ මොරාජි දේසායි ගෙන් ද රාජ් සමඟ විවාහ වීමට මඟක් තිබේදැයි කියා විමසා ඇත. නාගීස් එපමණට ම ඔහු සමඟ හදවතින් බැඳී සිටියාය.

1948 දී රාජ් ඍණ බැනරය යටතේ සිනමා පට නිෂ්පාදනය කිරීම ඇරැඹූ පසු නාගීස් සමඟ ආග් සිනමා පටයේ ප‍්‍රධාන චරිත රඟපෑහ. එහෙත් දෙදෙ‍නා තිරයේ හද බැඳගත් පෙම් යුවළ බවට පත් වූයේ බර්සාත් සිනමා රංගනය සමඟ ය. ඒ සිනමා පටයේ නාගීස්, රාජ් වයලීනයත් සමඟ සිටින දර්ශනය ඍණ සිනමා පටවල ලාංඡුනය බවට පත්විය. දෙදෙනො සිනමා පට සොළසක දස වසරක් පුරා පෙම්වතුන් බවට පත් වූහ. ආවාරා, ශ‍්‍රී 420, අන්දාස්, ආහ් ඒ අතර සුවිශේෂී ය. මේ පෙම්වතුන් අවසන් වරට රසිකයන්ට තිරයෙන් නැරඹීමට ලැබෙන්නේ අති සාර්ථකත්වයට පත් චෝරි‍ චෝරි සිනමා පටයෙනි. එහෙත් නාගීස් රඟන රාජ් ගේ අවසන් සිනමා පටය වන්නේ ජග්තෙ රාහෝ ය. එහි ඇය පෙනී සිටින්නේ කෙටි චරිතයක ට වුව ද එය ඉතා ප‍්‍රබල වූවකි.

 

මෙතරම් දිගු සිනමා පේ‍්‍රමයකට කණ කොකා හැඬීමට හේතු ගණනාවක් ම තිබෙයි. ප‍්‍රධාන ම හේතුව වන්නේ එය තහනම් පෙමක් වීමය. රාජ් නාගීස්ට සමීප වනවාට රාජ් ගේ පියා ප‍්‍රීති විරාජ් කපූර් මුල සිට ම එරෙහි විය. රාජ් ගේ බිරිය ක‍්‍රිෂ්ණා මහ පොළොව මෙන් සියල්ල ඉවසා සිටිය ද හදවතේ වංචාකාරී බවට රාජ් රාජ්ට ම දොස් නඟන්නට ඇත. මේ තහනම් පෙම නතර කිරීමට මුල පිරුවේ නාගීස් ය. නාගීස් හා රාජ් නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් නියම කරගත් දිනයේ ඇය කැඳවාගෙන යාමට රාජ් පැමිණියේ නැත. රිදුණු සිතින් නාගීස් කෙළින් ම රාජ් ගේ නිවෙසට ගියාය. සුපිරි සාදයක් රාජ්ගේ නිවෙසේ පැවති අතර ඔහු සාදයට සහභාගී වී සිටියේ නැත. නාගීස් ඊළඟට රාජ්ව සොයා නිදන කාමරයට ගියාය. ඔහු බිරිය කි‍්‍රෂ්ණා ගේ මාලය තම ගෙල දවටා ගෙන ඇයත් සමඟ සතුටින් සිටින අන්දම නාගීස් දුටුවාය. වචනයක්වත් නො පවසා ඇය රාජ් ගේ නිවෙසින් පැමිණියේ ජීවිතය පිළිබඳ වැදගත් තීරණයක් රැගෙන ය.

 

තම සිනමා මිතුරිය මීනා කුමාරි මෙන් ආදරය නිසා ජීවිතය මධු විතෙන් දියකර හැරීමට ඇය පෙලඹුණේ නැත. වැදගත් පවුලක උගත් තරුණියක වූ නාගීස් රාජ් සමඟ තිබූ සියලූ‍ ආදරයේ රැහැන් පට වේදනාවෙන් වුව ද යථාර්ථයට මුහුණදි කපා දැමුවාය. ඒ වන විට නාගීස් ගේ හදවත රිදවූ තවත් කරුණක් තිබිණි. ඒ ශ‍්‍රී 420 න් පසු රාජ් ගේ සිනමා පටවල තමන් කැමැති ආකාරයේ ප‍්‍රබල චරිතයක් රඟන්නට නො ලැබීමය. රාජ්ට හොර රහසේ නාගීස් 1957 දී මෙහ්බුබ් ඛාන් අධ්‍යක්ෂවරයා ගේ විශිෂ්ට නිර්මාණයක්වූ මදර් ඉන්ඩියා සිනමා පටයේ ප‍්‍රධාන කාන්තාවගේ චරිතය රඟපෑමට ගිවිසුම් අත්සන් කළාය. එය තම සිනමා දිවියේ සේම සැබෑ දිවියේත් හැරැවුම් ලක්ෂ්‍යයක් බව ඇය දැන සිටියේ නැත. මදර් ඉන්ඩියා සිනමා පටයේ ඇයත් සමඟ සුනිල් දත් නම් කඩවසම් ජනප‍්‍රිය නළුවා ද රඟපෑවේය. සුනිල් දත් කෙදිනත් නාගීස් නිළියට ඇළු‍ම් කළාය. සුනිල් නාගීස් මෙන් ධනවත් පවුලක උපන් අයකු නො වෙයි. පියා ගේ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට ඔහු ලක්නව් සිට බොම්බායට පැමිණියේය. පනහ දශකයේ මැදදී ඔහුත් නාගීසුත් දෝ බිගා සමීන් සිනමා දර්ශන තලයේදී හමුවී තිබිණි. ඒ වන විට සුනිල් නැඟී එන නළුවකු විය.

 

මදර් ඉන්ඩියා සිනමා පටය රූ ගත කරද්දී දර්ශන තලයේ ඇතිවූ ගින්නකට නර්ගිස් හසුවූ අතර දිවි පරදුවට තබා ඇය බේරා ගන්නා ලද්දේ සුනිල් දත් විසිනි. ඇය බේරා ගැනීමට යාමේදී සුනිල් දත් රෝහල්ගත කිරීමට තරම් පිලිස්සුම් තුවාල ලබා තිබිණි. නාගීස් ගේ හදවතේ සුනිල් පිළිබඳ කෘතවේදී බවත් සමඟ සෙනෙහස ද මෝදු විය. මදර් ඉන්ඩියා අවසන් වන විට දෙදෙ‍නා පෙම්වතුන් බවට පත්වී අවසන් ය. නාගීස් 1958 මාර්තු 11 වැනිදා සුනිල් දත් නම් සරල සුන්දර පුද්ගලයා ගේ බිරිය බවට පත් විය. මේ ගැන ආරංචිවූ රාජ් කපූර් දිනපතා නිවෙසට පැමිණියේ බීමතිනි. නිදි යහනේදී ඔහු උස් හඬින් හැඬුවේය. රාජ් ගේ බිරිය සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තාය. ඔහු මිතුරන් හා සගයන් සමඟ නාගීස් තමන්ට අහිමි වීමේ දුක වේදනාව පවසමින් වැලපුණු වාර අනන්තය. නාගීස් හා සුනිල් ඉතා කෙටි කලකින් මිතුරුවී විවාහ වීමත් සුනිල් හින්දු ආගමිකයකු වීමත් ඔහුට තිබූ ලොකුම ගැටලූ‍ව විය. නාගීස් මුස්ලිම් ආගමික කාන්තාවකි. නාගීස් වෙනත් අයකු විවාහකර ගනීවියි කියා ඔහු කිසි දිනක සිතුවේ නැත. නාගීස් පිළිබඳ මතකයන් අවදිවන විට ඔහු කළේ සිගරැට්ටුවකින් දෑත පුලූ‍ස්සා ගැනීම ය.

 

නාගීස් පෙර සිටි පෙම්වතිය නො වන බව අත්දැකීම් තුනකින් රාජ්ට වටහා ගත හැකි විය. රාජ් බිරිය ගේ මාලය පැලඳ සිටින බව දුටුදා සිට ඇය ඔහුගෙන් දුරස් විය. ඔහුට නො දන්වා මදර් ඉන්ඩියා සිනමා පටයේ රඟපෑමත් අඩි උස පාවහන් පැලඳ ගෙන තමන් හමුවට පැමිණීමත් ඇය වෙනස් වී ඇති බවට රාජ් ට ලැබුණු ඉඟි ය.

 

නාගීස් කමන් ට ද්‍රෝහී වූ බව නිතර ම රාජ් පැවසුවේය. 1981 මැයි 3 වැනිදා නාගීස් අග්න්‍යාශ පිළිකාවෙන් මිය ගිය විට ඇයට අවසන් ගෞරව දැක්වීමට රාජ් කපූර් පැමිණියත් ඇය ගේ දේහය අසල නො සිට නිවෙසට පිටතින් රැඳී සිටියේ මිතුරන් ඇය අසල සිටින ලෙසට ඇවිටිලි කරද්දීය.

 

තිරයේදී එකම පෙමක් පතන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබන තාරකා ලෙසින් පෙනී සිට සැබෑ ජීවිතයේදී රාජ් හා නාගීස් මෙන් ආදරයෙන් මං මුළාවන්නන්ගෙන් බොලිවුඩයේ අඩුවක් නැත.

 

සේයාරූ අන්තර්ජාලයෙනි ඇසුරෙනි