ලේඩි තෙන්ඩුල්කාර්ගේ චරිතය සිනමාවට

Shabaash Mithu
ජූලි 7, 2022

 ක‍්‍රිකට් ක‍්‍රීඩාව 17 වැනි සියවසේදී අග්නිදිග එංගලන්තයේ වෙල්ඞ් ප‍්‍රදේශයේ ජීවත් වූ දරුවන් විසින් සැක්සන් හෝ නෝමන් යුගයේ සොයා ගන්නට ඇති බවට සැලකේ. එලෙස ආරම්භ වූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව 17 වැනි සියවසේ මැද භාගය වන විට වර්ධනය වී ඉංග‍්‍රීසි යටත් විජිත හරහා උතුරු ඇමරිකාවට හඳුන්වා දුන් අතර 18 වැනි සියවසේදී ලෝකයේ අනෙකුත් ප‍්‍රදේශවලට පැමිණියේය. ලෝක ඉතිහාසයේ කාන්තා ක‍්‍රිකට් තරගයක් වාර්තා වන්නේ 1745 වසරේදීය. ද රීඩින්ග් මර්කරි පුවත්පතට අනුව එංගලත්යේ සරේ ප‍්‍රාන්තයේ ගොස්ඬේන් හීදී බ‍්‍රාම්ලි සහ හැම්බල්ඩන් නම් කාන්තා කණ්ඩායම් දෙක අතර ක‍්‍රිකට් තරගයක් පවත්වා ඇත.

වර්තමානය වන විට ක‍්‍රිකට් යනු ලොව උන්මාදයක් බවට පත් වී ඇති ක‍්‍රිඩාවකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත අන් සියලූ‍ රටවලට වඩා මෙම තත්ත්වය කැපී පෙනෙන්නේ ඉන්දියාවෙහිය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දස්කම් පෑ රවී ශාස්ත‍්‍රි, සුනිල් ගවස්කාර්, කපිල් දේව්, සචින් තෙන්ඩුල්කාර් වැනි ක‍්‍රීඩකයන් හට ඉන්දියානුවෝ දැඩි ගෞරවාදරයෙන් සලකති. පසුගිය වසරේ තිරගත වූ කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘83‘ චිත‍්‍රපටය කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම 1983 ක‍්‍රිකට් ලෝක කුසලානය දිනූ ආකාරය රිදි තිරයට ගෙන ආවේය. එහිදී කපිල් දේව්ගේ චරිතයට පණ පොවන ලද්දේ රන්වීර් සිං විසිනි. ඉන්දියාවේ කාන්තා ක‍්‍රිකට් ආරම්භය 1960 - 70 දශකයේදී සිදු වුවත් එය අතිශය ජනප‍්‍රියත්වයට පත්වුයේ 2017 වසරේදී ය. එම වසරේ පැවති කාන්තා ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් තරගයට ඉන්දියාව තේරී පත්වීම එයට හේතු විය.

 

බොලිවුඩයෙන් තවත් ක‍්‍රිකට් චිත‍්‍රපටයක් ඔබ වෙත ගෙන ඒමට සූදානම් කර ඇත. Shabaash Mithu ලෙසින් නම් වූ එය හින්දි භාෂා අපදාන ක‍්‍රීඩා චිත‍්‍රපටයකි. ශ‍්‍රිජිත් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඉන්දීය කාන්තා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් සහ එක්දින නායිකා මිතාලි රාජ්ගේ ජීවිතය හා කාන්තා ක‍්‍රිකට් ලෝකයේ ඇයගේ ජීවන ගමනේ සිදුවීම් විස්තර කරයි. එහිදී මිතාලි රාජ්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඞ් නිළි තාප්සි පන්නුය. තාප්සි මෙම චිත‍්‍රපටය වෙනුවෙන් වසර දෙකක් ක‍්‍රිකට් පුහුණුවීම්වල යෙදුණාය. ඇය හට එම පුහුණුම ලබා දුන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක මෙන්ම මිතාලිගේ මිතුරියක වන නෝෂින් අල් ඛාදීර්ය.

 

Shabaash Mithu චිත‍්‍රපටයේ විජේ රාස් මිතාලිගේ පුහුණුකරු ලෙසත් දකුණු ඉන්දීය නිළි දේවදර්ශිනී මිතාලිගේ මව ලෙසත් චරිත නිරූපණය කරති. ලබන 15 වැනිදා Shabaash Mithu තිරගත කිරීමට නියමිතව ඇත.

 

මිතාලි රාජ් 1982 දෙසැම්බර් 3 වැනිදා රාජස්තානයේ ජෝද්පූර් හි දෙමළ පවුලක උපත ලැබුවාය. ඇගේ පියා ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් භට දොරෙයි රාජ් වන අතර මව ලීලා රාජ් ය. වයස අවුරුදු 10 දී ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට පටන් ගත් මිතාලි වැඩිමහල් සොහොයුරා සමඟ ක‍්‍රිකට් පුහුණුවීම් ආරම්භ කළේ පාසල් සමයේදීය. දකුණත් ආරම්භක පිතිකාරිනියක ඇය කාන්තා ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභිනියද වන්නීය. මිතාලි ඉන්දීය කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ලේඩි තෙන්ඩුල්කාර් ලෙසද හැඳින්වේ. 2017 වසරේ කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය කරා ඉන්දිය කණ්ඩායම රැගෙන යාමට නායකත්වය ලබා දුන්නේද ඇයයි. පසුගිය ජුනි 8 වැනිදා මිතාලි අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළාය. ඇය මේ වන විට ඉන්දීය කාන්තා අන්තර්ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරිය ලෙස පත් කර ඇත.