වික්‍රම්ට එරෙහිව සමාජක්‍රියාකාරීකයෙක් නඩු දමයි

VIKRAM
ජුනි 9, 2022

 

විශිෂ්ට සිනමාකරුවකුගේ

නවතම සිනමා අත්දැකීම

 

දිවි පිදූ පොලිස් නිලධාරියෙකු වන ප්‍රපන්ජන්ගේ පියා, කර්නන් නොහොත් අරුන් කුමාර් වික්‍රම් යම් කිසි පිරිසක් විසින් ඝාතනය කෙරේ. වෙස්මුහුණු පැලඳ සිටි පිරිසක් එහි වගකීම භාර ගන්නා අතර මෙම ඝාතනය යුද්ධයක ආරම්භය බවත් තවත් ඝාතන පෙළක තොරතුරුත් හෙළි කර සිටී. ඒ සමඟ පොලිස් ප්‍රධානී ජෝස්, අමර් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් කර්නන්ගේ ජීවිතය හාරා බැලීමට පටන් ගනී. ප්‍රධාන සැකකරු වන්නේ සන්තානම්ය. ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. කර්නන් පිළිබඳ කතා අමර් හට ප්‍රහේලිකාවකි. කර්නන් තම පුත්‍රයාගේ වියෝව නිසා ශෝකයට පත්ව මත්පැන් පානයට ඇබ්බැහි වූ පියෙක්ද? ස්ත්‍රී ලෝලියෙක්ද? නොඑසේ නම් කවරෙක්ද? වැදගත්ම දෙය නම් ඔහු මිය ගොස් හෝ ජීවතුන් අතර සිටීද? යන්නයි.

මෙය දැන ගත හැකි වන්නේ කර්ණන් ලෙස කමල් හසන්, අමර් ලෙස ෆහාද් ෆාසිල් සහ සන්තානම් ලෙස විජේ සේතුපති එක් කරන ලෝකේෂ් කනගරාජ්ගේ වික්‍රම් චිත්‍රපටය නැරඹීමෙනි. පසුගිය 03 වැනිදා සිට තිරගත වන වික්‍රම් ත්‍රාසජනක ක්‍රියාදාම දෙමළ චිත්‍රපටයකි. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වූයේ 2022 වික්‍රම් චිත්‍රපටය 1986 වසරේ තිරගත වූ කමල් හසන් පණ පෙවූ වික්‍රම් චිත්‍රපටයේ ඉදිරි කොටසක් බවයි. එය 1986 චිත්‍රපටය හා සම්බන්ධ නොවූවද ලෝකේෂ් අධ්‍යක්ෂණය කර 2019 වසරේදී තිරගත වූ කයිති චිත්‍රපටයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධ වූවකි. වික්‍රම් චිත්‍රපටයේ කමල් හසන්, විජේ සේතුපති සහ ෆහාද් ෆාසිල් සමඟ කාලිදාස් ජයරාම්, නරේන්, ඇන්ටනි වර්ගීස්, ගයත්‍රි ශංකර්, ශාන්වි ශ්‍රීවාස්තවා, ශිවානි නාරායනන්, මහේෂ්වරී සහ අර්ජුන් දාස් ද රංගනයෙන් එක් වී සිටිති. රොලෙක්ස් ලෙස සූරියා ආරාධිත රංගනයකට එක් වී ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය යොවුන් සංගීතඥ අනිරුද් රවිචන්ද්‍රර් ගෙනි. විචාරක අදහස නම් වික්‍රම් චිත්‍රපටයේ ක්‍රියාදාම සහ විනෝදාස්වාදය සමඟ ඉවසීම පරීක්‍ෂා කරන කතාව මිහිරි කාලයක් ගත කිරීමට ඉඩ ලබා දී ඇති බවයි. එමෙන්ම විනාඩි පහකට සීමා වූ රොලෙක්ස් ලෙස සූරියාගේ ආරාධිත රංගනය චිත්‍රපටය සොරකම් කර ඇති බවයි.

වික්‍රම් චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ වූයේ 2021 තමිල්නාඩු මැතිවරණයේදී කමල් හසන්ගේ කැපවීමෙන් පසුවය. එයට හේතුව වූයේ මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව පමණක් චිත්‍රපටයේ රූගත කිරීම් කිරීමට කමල් හසන් තීරණය කළ බැවිනි. ඔහු කොයිම්බතූර් දකුණ මැතිවරණ කොට්ඨාසයට තරඟ කළ බැවින් ලෝකේෂ් හට පිටපතේ වෙනස්කම් කිරීමටද සිදු විය. කොරෝනා වසංගතයද චිත්‍රපටයට බාධා ගෙන ආවේය. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර කමල් කොවිඩ් රෝගයට ගොදුරු වී තිබුණේ ඔහුගේ ඇඳුම් ව්‍යාපාරයේ අලෙවිසලක් චිකාගෝ නුවර විවෘත කිරීම වෙනුවෙන් ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේදීය. කාදි නමැති රෙදි විශේෂය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරය නම් කර තිබෙන්නේ KH House of Khaddar යන නමිනි. කාදර් නම් රෙදි වර්ගය අත්යන්ත්‍ර භාවිතයෙන් කපු නූලෙන් වියනු ලබන රෙදි වර්ගයක් වන අතර එය මුලින්ම හඳුන්වා දෙනු ලැබ තිබුණේ මහත්මා ගාන්ධි විසිනි. කමල් හසන්ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දර්ශනතල පවා වෙනස් කිරීමට සිදු වී ඇත. මෙම චිත්‍රපටය වෙනුවෙන් 'පාතාල' පාතාල නමින් ගීතයක් කමල් හසන් රචනා කර ඇති අතර එහි ගීත කිහිපයක් ගායනයට ද දායක වී ඇත.

මෙම ගීතය YouTube  හි මිලියන 10 කට වඩා වැඩි පිරිසක් නැරඹු ගීතයක් බවට පත් වුවද මධ්‍යම රජය සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් මතභේදයකට ලක් විය. සෙල්වන් නම් සමාජ ක්‍රියාකාරිකයෙක් ගීතයට එරෙහිව නඩුවක් ගොනු කළේ රජයේ භාණ්ඩාගාරයට අදාළ ගීතයේ සඳහන් පද පේළියක් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

කමල් හසන් ඉන්දීය සිනමාවේ විශිෂ්ට ගණයේ නළුවෙකු, තිර රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, පසුබිම් ගායකයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙස අංශ ගණනක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කලාකරුවෙකි. දෙමළ සිනමාවේ සුවිශේෂ රංගන ශිල්පියෙකු ලෙසින් ජනප්‍රිය ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන දහ නවයකට හිමිකම් කියන්නේය. ජාතික සම්මාන රැසක් ද ඔහු සතුය. ඔහුගේ ප්‍රථම රංගනය වූයේ 1959 වසරේ තිරගත වූ Kalathur Kannamma  චිත්‍රපටයයි. එවිට ඔහු සිව් හැවිරිදි වියේ පසු විය. එම රංගනය වෙනුවෙන් ජනාධිපති රන් සම්මාන ලබා රංගනයට තැබූ පියවරෙහි සාර්ථකත්වය පෙන්නුම් කළේය. ළමා රංගන ශිල්පියෙකු ලෙසින් සිනමාවට දායක වූ ඔහු වැඩිහිටි චරිතවලට රංගන දායකත්වය ලබා දෙන්නේ හැත්තෑව දශකයේදීය. එදා මෙදාතුර ඔහු මලයාලම්, තෙළිඟු, හින්දි, බෙංගාලි සහ කණ්ණඩ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වි ඇත. 1975 වසරේ Apoorva Ragangal ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටයයි.

ඔහුගේ දායකත්වය දෙමළ සිනමාවට මෙන්ම හින්දි සිනමාවට ද හිමි විය. EK Duuje Keliye, Sadma, Saagar, Virasat, Chachi  420 වැනි හින්දි සිනමා නිර්මාණයන්හි රංගනයන් විශේෂ ඇගයීමට ද ලක් විය. කමල් ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායනයට ද දායක විය. Andharan gam,Maro Chartra, Savaal, Guna, Chachi 420, Hey Ram ඉන් කිහිපයකි. විචාරක අදහස නම් ක්‍රියාදාම චරිතවල සේම හාස්‍ය රංගනයේ ද කැපී පෙනෙන ඔහු හට පණ දිය නොහැකි වූ චරිතයක් නොමැති තරම් බවය.