Jurassic World Dominion ජුරාසික් යුගයක අවසානය

ජුනි 9, 2022

මිහිමතින් විඳවී ගිය සත්ත්ව කොට්ඨාසයක් ලෙසින් හැඳීන්වෙන ඩයිනොසරයන් යළිත් ප්‍රතිනිර්මාණය කළ ජුරාසික් පාර්ක් චිත්‍රපටය අනූව දශකය ආරම්භයේදී හොලිවුඩ් සිනමාවෙන් ඉදිරිපත් වූ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් බවට පත් විය. ලොවපුරා බොහොමයක් දෙනා සිනමා ශාලාවල පෝලිම් ගැසුණේ කිසි දිනෙක දැක නොමැති මෙම දැවැන්ත සතුන් දැක ගැනීමේ අදහසිනි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් නම් සුප්‍රකට සිනමාකරුවා විසිනි. එයට පාදක වූයේ මයිකල් ක්‍රිච්ටන් විසින් 1990 එනමින් රචනා කරන ලද විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි. 1993 වසරේදී Jurassic Park පළමු චිත්‍රපටය රිදී තිරයේ දිග හැරුණු අතර 1997 වසරේදී දෙවැන්නත් 2001 වසරේදී තෙවැන්නත් තිරගත කෙරුණි.

2015 වසරේදී මෙම චිත්‍රපට මාලාවේ සිව්වැන්න වූයේ urassic World චිත්‍රපටයයි. ජුරාසික් පාක් පළමු චිත්‍රපටයෙන් අවුරුදු 25කට පසු නිකුත් වූ චිත්‍රපටය Jurassic World: Fallen Kingdom..මෙය Jurassic World  චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැන්න ලෙස නම් විය. ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයට අනුව නවීන තාක්ෂණයද ඇතිව නවතම ඩයිනොසර් උද්‍යානයක් ඉදිකෙරුණේ මීට වසර 22කට ඉහත ජුරාසික් උද්‍යානය පවත්වා ගෙන ගිය අමෙරිකාව ආසන්නයේ පැසිෆික් සාගරයේ පිහිටි අයිලා නියුබ්ලා දූපතේදී යි. එහි සිටින අලුත්ම වර්ගයේ දෙමුහුන් ඉන්ඩොමිනස් රෙක්ස් නම් දැවැන්ත ඩයිනොසරයා කූඩුවෙන් පිටතට යාම සමඟින් අර්බුද රැසක් මතුවේ. Jurassic World  පළමු චිත්‍රපටය නිමාවට පත් වූයේ ජාන මිශ්‍ර කර බුද්ධියෙන් පවා ඉහළ වන පරිදි නිර්මාණය කළ මෙම දැවැන්තයා දූපතේ නිදැල්ලේ හැසිරෙමින් කළ විනාශයත් ඉන්ඩොමිනස් රෙක්ස් මෙල්ල කිරීමට ඩයිනොසෝර් පුහුණුකරුවකු වන ඕවන් ග්‍රේඩි, සැක් සහ ග්‍රේ සහෝදරයන් ද ඇතුළුව

ජුරාසික් උද්‍යානයේ පිරිස එක්ව කළ සටන සමඟිනි. මෙම සිදුවීමෙන් වසර කිහිපයක් ගත වන තෙක් ඩයිනොසර් උද්‍යානය තුළ එහි සිටි ඩයිනොසරයන් නිදැල්ලේ සිටින අතර එහි වූ ගිනි කන්දක් සක්‍රීය වීම සමඟින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වේ. ජුරාසික් වර්ල්ඩ්හි හිටපු කලමනාකාරිණි ක්ලෙයර් සහ එහි තවත් සාමාජිකයකු වූ ජෝන් හාමන්ඩ්ගේ හවුල්කරු බෙන්ජමින් ලොක්වුඩ් ඇතුළු පිරිසක් එක්ව ඩයිනොසෝරයන් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානයක් පිහිටුවා ගැනේ. අමෙරිකාවේ එක්තරා ප්‍රදේශයක් වෙත මෙම සතුන් රැගෙන ඒම ක්ලෙයර්ගේ අරමුණ වේ. ඇයගේ පෙම්වතා වන ඕවන් ග්‍රේඩිගේ සහයද මෙම කටයුත්තට ලැබෙන අතර මෙහිදී බෙන්ජමින් ලොක්වුඩ් තවත් යටි අරමුණක් ඇතිව ක්‍රියා කරන බව ක්ලෙයර්හට අවබෝධ වේ. ගිනි කන්ද පුපුරා මහා විනාශයක් සිදුවන විටදී අමෙරිකාව වෙත ගෙන ගිය අතිශය දරුණු එමෙන්ම බුද්ධිමත් දෙමුහුන් ඩයිනොසරයකු වන ඉන්ඩොරැප්ටර් අසල පිහිටි ප්‍රාන්තයකට කඩාවැදීම සමඟින් සිදුවීම් පෙළක් Jurassic World: Fallen Kingdom ඔස්සේ දැකගත හැකි විය.

Jurassic World Dominion යනු ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය මෙන්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට මාලාවේ තෙවැන්න හා අවසන් චිත්‍රපටයයි. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය කොලින් ට්‍රෙවොරෝගේ අධ්‍යක්ෂණයකි. ස්ටීවන් ස්පිල්බර්ග් විධායක නිෂ්පාදකවරයා වූයේය. චිත්‍රපටයේ ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් ඩලස් හොවාර්ඩ් , ලෝරා ඩර්න්, ජෙෆ් ගෝල්ඩ්බ්ලම්, සෑම් නීල්, බීඩී වොන්ග්, ඕමාර් සයි, ඉසබෙලා සර්මන්, ජස්ටිස් ස්මිත් සහ ඩැනියෙලා පිනෙඩා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මේ අතර චරිත කිහිපයක් 1993 චිත්‍රපටයෙන් පසු පළමු වරට පෙනී සිටී. Jurassic World Dominion  චිත්‍රපටය  Fallen Kingdom  චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර හතරකට පසුව කාලය ගෙන එන අතර මේ වන විට ඉතිහාසයේ බිහිසුණුම සත්ත්ව කොට්ඨාසයක් වූ ඩයිනෝසරයන් ලොව පුරා මිනිසුන් සමඟ ජීවත් වේ.

Jurassic World Dominion  චිත්‍රපටයට IMDb දර්ශකයේ හිමි වී ඇති ලකුණු ප්‍රමාණය 6.6/10කි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට 83%ක විචාරක මනාපයක් හිමි වී තිබේ. බොහෝ විචාරකයන් එය හඳුන්වා දෙන්නේ අතීතයේ ආදරණීය මතක සමඟ ජුරාසික් යුගයක අවසානයක් ලෙසිනි.