යුක්රේන-රුසියානු යුද ගැටුමේ උණුසුම ලද 75 වැනි කාන් සිනමා උලෙළ

ජුනි 2, 2022

ලෝකයේ ඉහළම සිනමා උලෙළක් ලෙස හැඳීන්වෙන ප්‍රංශ චිත්‍රපට උලෙළ මැයි 17 වැනිදා ප්‍රංශයේ කාන්හිදි ආරම්භ වූ අතර 28 වැනිදා අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය ස්වීඩන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ රූබන් ඕස්ට්ලන්ඩ් අධ්‍යක්ෂණය කළ Triangle of Sadness චිත්‍රපටයට හිමිකර දෙමිනි. 

මෙවර පැවැති 75 වැනි කාන් චිත්‍රපට උලෙළේ සභාපති ධුරය හොබවනු ලැබූයේ ප්‍රංශ ජාතික නළු වින්සන්ට් ලින්ඩන් විසිනි. එහිදී උත්කර්ෂභාවය සමඟ දේශපාලන මතභේදාත්මක සිදුවීම් කිහිපයක් ද වාර්තා විය. එයට හේතු වූයේ වර්තමානය වන විට යුක්‍රේනයේ පවතින යුද වාතාවරණයයි. සමාරම්භක උත්සවය අතරතුර යුක්‍රේන ජනපති වැලෙදිමීර් සෙලෙන්ස්කි සජීවී වීඩියෝ ඇමතුමක් ඔස්සේ පෙනී සිටි අතර චිත්‍රපට නිෂ්පාදකයන් සහ මාධ්‍යවේදීන් අමතා පවසා සිටියේ "සිනමාව වෙනුවෙන් නිශ්ශබ්ද වී නොසිටින්න. නිසැකවම යුක්‍රේනය මෙම යුද්ධය ජය ගන්නවා" යනුවෙනි. මෙවර චිත්‍රපට උලෙළේ ආරම්භය සනිටුහන් කළේ Final Cut  චිත්‍රපටයේ මංගල දර්ශනය සමඟිනි. යුක්‍රේනයේ පවතින යුද වාතාවරණය මධ්‍යයේ කාන් චිත්‍රපට උලෙළේ ආරම්භක චිත්‍රපටය ලෙස සොම්බි ප්‍රහසන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම බොහෝ දෙනාගේ මතභේදයට ලක් විය.

තවද යුක්රේනය සමඟ සහයෝගීතාවය සනිටුහන් කරමින් මෙවර කාන් සිනමා උලෙළට ඇතුළත් කරගෙන තිබූයේ එක් රුසියානු චිත්‍රපටයක් පමණි. එය සෙරෙබ්‍රෙනිකොව් අධ්‍යක්ෂණය කළ Tchaikovsky's Wife නම් චිත්‍රපටයයි. රතු පලස මත විරෝධතා දක්වමින් ජෝර්ජ් මිලර් අධ්‍යක්ෂණය කළ Three Thousand Years of Longing චිත්‍රපටයේ මංගල දර්ශනයේදී යුක්රේන ධජයේ වර්ණවලින් සිරුර පින්තාරු කළ යුවතියක් නිරුවතින් රතු පලස මතට පැමිණියේ "අප දූෂණය කිරීම නවත්වන්න" යනුවෙන් ඇගේ පපුව මත සටහන් කර ගනිමිනි. ඉරානයේ ගණිකාවක් ඝාතනය කරන අනුක්‍රමික ඝාතකයෙකුගේ කතාවක් ගෙන එන අලි අබ්බාසිගේ Holy Spider චිත්‍රපටයේ මංගල දර්ශනයේදී, කාන්තාවන් පිරිසක් රතු පලස පඩිපෙළ මත නතර වූයේ පසුගිය වසරේ කාන් චිත්‍රපට උලෙළ අවසන් වූ ජූලි මාසයේ දී සිට ප්‍රංශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවන් 129 දෙනෙකුගේ නම් ඇතුළත් දිගු බැනරයක් දිග හරිමිනි. Top Gun: Maverick මංගල දර්ශනයට පෙර ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා සමූහයක් රතු පලසට ඉහළ අහසේ පියාසර කිරීම ද බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතු විය.