සැඟවුණු දුෂ්ට ආත්මයක සත්‍ය කතාව

ජුනි 2, 2022

බද්‍රි නාරායන් චතුර්වේදී නොහොත් බද්‍රි රාජස්ථානයේ වෙසෙන බ්‍රාහ්මණ වංශිකයෙකි. ඔහුගේ වැඩිමහල් සොයුරාගේ පුතු සිද්ධාර්ත් සහ ලේලිය අව්නි ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණේ. චතුර්වේදි පරම්පරාව සතු පැරණි මන්දිරයක් වේ. සිද්ධාර්ත් සහ අව්නි මේ වන විට චතුර්වේදී පවුලේ කිසිවෙකුත් භාවිත නොකරන එම මන්දිරයේ නවාතැන් ගැනීමට තීරණය කරති. පරම්පරාගතව සිද්ධාර්ත් මෙම මන්දිරයේ මීළඟ උරුමක්කාරයා ද වන්නේය.

මෙම මන්දිරය සිද්ධාර්ත්ගේ මුතුන් මිත්තකු වූ රාජා විභූති නාරායන් විසින් අවසන් වරට භාවිතයට ගන්නා ලද්දකි. ඔහු බෙංගාලයේ සිට පැමිණි මංජුලිකා නම් නළඟනට පෙම් කළේ ය. නමුත් මංජුලිකාගේ ප්‍රේමය හිමි වූයේ මන්දිරයට පසුපසින් වූ නිවසෙහි විසූ නර්තන ශිල්පියකු වූ ශෂිධර්ය. ප්‍රේමයෙන් බැඳුණු ඔවුහු රහසේ මුණගැසුණහ. ඔවුන් හොර රහසේ පැන යාමට සැරසෙන බව දැන ගත් රාජා විභූති ශෂිධර්ගේ හිස ගසා දමා මංජුලිකා කුටියක සිර කරයි. රාජා විභූතිගේ විවාහ මංගල්‍ය පැවැති දිනයේදී මංජුලිකා ගෙල වැළලාගෙන මිය යන්නේ මෙම මන්දිරයේ දිවි ගෙවන කිවෙකුට නිදහසක් නොදෙන බවට සාප කරමිනි. ආකාලයේ සිදුවන රාජා විභූතිගේ මරණයෙන් අනතුරුව චතුර්වේදී පවුලේ සාමාජිකයන් බලවත් මන්ත්‍රකරුවන්ගේ සහායෙන් මන්දිරයේ තෙවන මහලේ පූජනීය කවචයක් තනා විභූති සහ මංජුලිකා‍ගේ ආත්ම ඒ තුළ සිර කර දමයි. ඒ කෙසේ නමුත් එයින් අනතුරුව මෙම මන්දිරයට කිසිවෙකුත් පැමිණියේ නැත. වසර ගණනාවකට පසු සිදුවීම් අවුල් සහගත තත්ත්වයට පත්වන්නේ අව්නි තෙවන මහලේ කුටිය විවෘත කිරීම සමඟිනි. මන්දිරය තුළ අස්වාභාවික සිදුවීම් සිදුවන්නට පටන් ගන්නේ එතැන් සිටය.

තවමත් බොලිවුඩයේ ඉහල ආකර්ෂණයක් හිමි ආක්ෂේ කුමාර් සහ විද්‍යා බාලන් රංගනයෙන් දායක වූ ටී සීරිස් ආයතනය ඉදිරිපත් කළ භූල් භුලයියා (2007) චිත්‍රපටය දිග හැරුණේ මෙලෙසිනි. එය මෝහන් ලාල් සහ ශෝභනා රංගනයෙක් එක් වූ අතිශය ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන මනිචිත්‍රතාසු හි ප්‍රතිනිර්මාණයකි. රජිනිකාන්ත්, ප්‍රභූ සහ ජෝතිකා චරිත මැවූ චන්ද්‍රමුඛි දෙමළ චිත්‍රපටයද එහි ප්‍රතිනිර්මාණයකි. බොහෝ විචාරකයන් පෙන්වා දුන්නේ මෙම චිත්‍රපටය මානසික රෝග පිළිබඳ වැදගත් කතාවක් පැවසීමට නිර්මාණය කළ හාස්‍ය රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසිනි.

මේ වසරේ වඩාත්ම අපේක්ෂිත චිත්‍රපටවලින් එකක් ලෙස භූල් භුලයියා චිත්‍රපටයේ තවත් කතාවක් පහළොස් වසරකට පසු භූල් භුලයියා 2 ලෙස පසුගිය මැයි 22 වැනිදා සිනමාහල් වෙත පැමිණියේය. එයද හාස්‍යජනක ත්‍රාසජනක හින්දි චිත්‍රපටයකි. ටී සීරිස් ෆිල්ම්ස් ඉදිරිපත් කරන එය අනීස් බස්මිගේ අධ්‍යක්ෂණයකි. ආකාශ් කෞෂික් සහ ෆර්හාද් සම්ජි විසින් තිරරචනය කරන ලද එය තාකූර් පවුලට එරෙහිව පළිගැනීමට සැරසෙන නපුරු ආත්මයක් වන මංජුලිකාගේ නැවත පැමිණීම සමඟ දිග හැරේ. තාබූ මෙහි අංජුලිකා සහ මංජුලිකා චැටර්ජි ලෙස ද්විත්ව චරිත නිරූපණය කරන අතර කාර්තික් ආර්යන් සහ කියාරා අද්වානි ද රංගනයෙන් එක් වී සිටිති. පළමු චිත්‍රපටයේ චෝටා පණ්ඩිත් වූ රාජ්පාල් යාදව් එම චරිතයෙන්ම මෙහිදී නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණේ. භූල් භුලයියා 2 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූයේ 2019 ඔක්තෝම්බර් මාසයේදීය. 2022 පෙබරවාරි මාසයේදී අවසන් වූ එම රූගත කිරීම් රැසක් සිදු වූයේ ලක්නව් හි පිහිටි සැබෑ පැරණි මන්දිරයකදීය. රූගත කිරීම් අතරතුර කාර්තික්ගේ කටහඬ අහිමි වීම භූල් භුලයියා 2 චිත්‍රපට කණ්ඩායම තැති ගැන්වීමට සමත් විය. චිත්‍රපටයේ දර්ශන කිහිපයකදීම ඔහු හට උච්ච ස්වරයෙන් කෑගැසීම් යෙදී තිබුණි. එය අවසානයේ සිදු වූයේ කාර්තික්ට ඔහුගේ කටහඬ අහිමි වීමයි. වෛද්‍ය උපදෙස් වූයේ විවේක ගැනීමෙන් ස්වර තන්ත්‍ර යථා තත්ත්වයට පත් වී නැවත කඩහඬ ලැබෙනු ඇති බවයි. භූල් භලයියා චිත්‍රපට කණ්ඩායමේ නළු නිළියන් තම රංගනය වෙනුවෙන් කෙතරම් උනන්දු දැයි කිව හොත් 2007 වසරේ චිත්‍රපටයේදීද විද්‍යා බාලන් හට නිරූපණය කිරීමට යෙදී තිබු නර්තන සහ ගැටුම් දර්ශන හේතුවෙන් රූගත කිරීම් අතරතුර ඇය සිහිසුන් වූවාය.

භූල් භුලයියා චිත්‍රපටයේ හා භූල් භුලයියා 2 චිත්‍රපටය වෙනුවෙන් මංජුලිකාගේ චරිතයට සහ අව්නිගේ චරිත වෙනුවෙන් මුලින්ම තෝරා ගත්තේ විද්‍යා සහ කියාරා නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අතීත වාර්තා අනුව 'භූල් භුලයියා' හි අව්නිගේ චරිතය මුලින්ම ඉදිරිපත් කර තිබෙන්නේ ඓශ්වර්යා රායි වෙතය. නමුත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හොල්මන් චරිත නිරූපණයට තමා අකැමති බව පවසමිනි. අනතුරුව ඒ වෙනුවෙන් රාණි මුඛර්ජි තෝරා ගත්තද ඇයද එම චරිතය ප්‍රතික්ෂේප කළ පසු යෝජනා වී තිබෙන්නේ විද්‍යා බාලන්ගේ නමය. එසේම භූල් භුලයියා 2 චිත්‍රපටයේ පළමු තේරීම වූයේ සාරා අලි ඛාන්ය. තවත් චිත්‍රපට කිහිපයකම වැඩ කටයුතු යෙදීම හේතුවෙන් ඇයට එය භාර ගැනීමට නොහැකි වී ඇත. කියාරා අද්වානි පැමිණියේ අනතුරුවය.

බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන භූල් භුලයියා 2 චිත්‍රපටයට විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර හිමි වී තිබේ. එය ත්‍රාසයේ හා හාස්‍යයේ විශිෂ්ට සංයෝජනයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. එහි තාබුගේ රංගනයට ද විචාරකයන් ගෙන් විශේෂ ප්‍රශංසා හිමි වී ඇත. චිත්‍රපටය තිරගත කර සතියක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 132.84ක් උපයා ගනිමින් 2022 වසරේ වැඩිම ආදායම් ලද සිව්වැනි හින්දි චිත්‍රපටය බවට පත් විය.