කාන් සිනමා උලෙළේදී ප්‍රංශ ගුවන් හමුදා උපහාර ලද අමෙරිකාවේ Top Gun

මැයි 26, 2022

 

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා නියමුවන්ගේ හොඳම කණ්ඩායම හට තවත් විශේෂ පුහුණුවක් ලබා දෙන අංශයක් වේ. 'ටොප් ගන්' කණ්ඩායම ලෙස හැඳීන්වෙන මෙම කණ්ඩායමේ දක්ෂතම නිලධාරියා පුදනු ලබන්නේ 'ටොප් ගන්' නම් සම්මානයෙනි. ඒ වෙනුවෙන් ටොප් ගන් කණ්ඩායමට තෝරා ගන්න සියලුම නිලධාරින් අති දුෂ්කර මෙහෙයුම් සාර්ථකව නිම කළ යුතු වේ.

ගුවන් නියමු මවරික් සහ ඔහුගේ මිතුරු ගූස් සමඟින් මෙම විශේෂ කණ්ඩායමට තොරා ගැනේ. මෙම කණ්ඩායමට ඇතුළත් අයිස්මෑන් නොහොත් ටොම් නිරන්තරයෙන් මැවරික් සහ ගූස් සමඟින් එදිරිව සිටින්නෙකි. එක් විශේෂිත ගුවන් මෙහෙයුමක් අතර මැවරික් සහ ගූස් ගමන් ගත් යානය පාලනය කර ගත නොහැකි වීමෙන් නියමුවන් දෙදෙනා හට යානය අතහැර දැමීමට සිදු වේ. පැරෂුට් සමඟින් බිමට පැනීමේදී සිදුවන අනතුරකින් ගූස් මරණයට පත් වේ. අනතුරුව පැවැත්වෙන විමර්ශණයේදී ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා වූ මැවරික් අත කිසිදු වරදක් නොමැති බව ඔප්පු වුවද තම මිතුරාගේ ජීවිතය අහිමි වීමේ වරදෙන් මිදීමට ඔහු හට නොහැකි වේ. මෙම ඛේදජනක සිදුවීම සමඟ ටොප් ගන් සම්මානය ද ඔහුගෙන් ගිලිහී යන්නේ එය එය අයිස්මෑන් වෙත හිමි කර දෙමිනි. මේ අතර මැවරික් වෙත අයිස්මෑන් සමඟ සත්‍ය ගුවන් මෙහෙයුමක් පැවරේ. මැවරික් විසින් එම මෙහෙයුම අති දක්ෂ ලෙස අවසන් කරනු ලබන්නේ අනතුරට පත් අයිස්මෑන් ද බේරා ගනිමිනි. මේ සමඟ අහිමි වී ගිය කීර්තිය යළි ලබන මැවරික් ටොප් ගන් පුහුණු අංශයේ උපදේශකවරයෙකු ලෙස සේවයේ යෙදේ. ඒ කෙසේ වුවද ඔහුට දැනෙනුයේ තම මිතුරාගේ වියෝව සම්බන්ධව සිතෙහි වූ පසුතැවීම කිසි දිනෙක තුරන් වී නොයන බවයි.

1986 වසරේදී එක්සත් ජනපද නාවික හමුදාවේ තිර රචන අනුමැතිය ඇතිව ටෝනි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරන ලද Top Gun  (ටොප් ගන්) චිත්‍රපටය දිග හැරුණේ මෙලෙසනි. එයට හේතු පාදක වූයේ එවකට ලුතිනන් කමාන්ඩර් චාල්ස් හීට්ලි නොහොත් 'හීටර්'ගේ ගුවන් ඡායාරූපකරණය ඇතුළත් කැලිෆෝනියා සඟරාවේ 1983 මැයි කලාපය වෙනුවෙන් එහුඩ් යොනේ විසින් ලියන ලද 'ටොප් ගන්' නම් වූ ලිපියයි. එහි 'ෆයිටර්ටවුන් යූඑස්ඒ' නම් වූ අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැන් ඩියාගෝ හි මිරමාර් නාවික ගුවන් තොටුපොළේ ප්‍රහාරක ගුවන් නියමුවන්ගේ ජීවිතය විස්තර කර ඇත. ටොප් ගන් චිත්‍රපටයේ ලුතිනන් පීට් මිචෙල් නොහොත් මැවරික් චරිතයට පණ පෙවූයේ හොලිවුඩ් නළු ටොම් කෲස් ය. කෲස්ට පෙර මැතිව් මොඩින්, පීට් මිචෙල්ගේ චරිතය ප්‍රතික්ෂේප කර තිබුණි.

තවද 1986 වසරේ ටොප් ගන් චිත්‍රපටය සමඟ අමිහිරි සිදුවීමක් ද ඉතිහාස ගත විය. එනම් රූගත කිරීම් අතරතුර 1985 දී ලෝක ප්‍රකට ගුවන් නියමුවෙකු වූ ආර්ට් ෂෝල් චිත්‍රපටයේ දර්ශන ග්‍රහණය කර ගැනීම සඳහා ගුවන් ප්‍රයෝගයක් කරමින් සිටියදී අනතුරකින් මරණයට පත් වීමය. රූපගත කිරීම පිණිස යානයට සවි කළ කැමරාව ඇතුළුව උපකරණවල බර නිසා ගුවන් යානය සාර්ථකව පාලනය කිරීමට නොහැකි වීම අනතුරට හේතු වූ බව පසුව කළ පරීක්ෂණවලින් ඔප්පු විය. ආර්ට් ෂෝල් යනු ගුවන් නියමුවෙකි. ඔහුට ඔහුගේම ව්‍යාපාරයක් වන ආර්ට් ෂෝල් ඒවියේෂන් නමින් පාසලක් සහ ගුවන් යානා කුලියට දීමේ ව්‍යාපාරයක් ද විය. ෂෝල් කැලිෆෝනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් ගුවන්යානා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර අවසානයේ සැන් බර්නාඩිනෝ හි ගුවන් යානා ශිල්ප ක්‍රම ඉගැන්වීය. ෂෝල්ගේ ගුවන් කැමරා දර්ශන බොහෝ වෙළඳ දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට රැසක දැකගත හැකි විය.

වසර 36ට පෙර ටොප් ගන් චිත්‍රපටය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තිරගත වූයේ ටොම් කෘස් හටද ඉහළ ප්‍රසිද්ධියක් ළඟා කරමිනි. ටොප් ගන් චිත්‍රපටය හොලිවුඩයේ වයස්ගත නොවන තරුණයා ලෙසින් අන්වර්ථ නම් ලද ටොම් කෲස්ගේ සිනමා දිවියේ සුවිශේෂ සිනමා නිර්මාණයක් ලෙස ද සටහන් විය. නාවික හමුදාවේ ඉහළ පෙළේ ගුවන් නියමුවෙකු ලෙස වසර 30කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු පීට් මිචෙල් (මැවරික්) හට විශේෂ පැවරුමක් සඳහා තවත් ගුවන් නියමු භට කණ්ඩායමක් පුහුණු කිරීම පැවරේ. නාවික ගුවන් ප්‍රහාරක ජෙට් යානා බළගණයක් වන මෙම කණ්ඩායම භාරව සිටින්නේ අයිස්මෑන් ලෙසින් නම් වූ අද්මිරාල් ටොම් කසන්ස්කිය. මැවරික් හට නව පුහුණු නියමු කණ්ඩායමේදී වියෝ වූ මිතුරාගේ පුතු බ්‍රැඩ්ලි බ්‍රැඩ්ෂෝ නොහොත් රූස්ටර් ද මුණ ගැසේ. වසර 36ට පෙර මිතුරාගේ වියෝවෙන් වූ අතීතයේ අඳුරු මතක තවමත් මනසේ හොල්මන් කරන විටදී පැරැණි පසමිතුරා සහ හොඳම මිතුරාගේ පුත්‍රයා ද සමඟ මැවරික් විශේෂ ගුවන් මෙහෙයුම් සමඟ තවත් ටොප් ගන් කණ්ඩායමක් පුහුණු කිරීමට සැරසේ. එය කෙසේ සිදුවන්නේ දැයි හෙට සිට තිරගත කෙරෙන Top Gun: Maverick  (ටොප් ගන් : මැවරික්) චිත්‍රපටයෙන් දැක ගත හැකි වේ.

ජෝෂප් කොසින්ස්කි විසින් අධ්‍යක්ෂණය කරන ලද ටොප් ගන් : මැවරික් ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයකි. 1986 වසරේ තිරගත වූ ටොප් ගන් චිත්‍රපටයේ දෙවැන්න ලෙස දිග හැරෙන මෙහි කපිතාන් පීට් මිචෙල් (මැවරික්) ලෙස ටොම් කෲස් පණ පොවන අතර මුල් චිත්‍රපටයේ අයිස් මෑන් ලෙස පණ පෙවූ වැල් කිල්මර් මෙහි ද අයිස්මෑන් චරිතයට පණ පොවන්නේය. ඒ සමඟ මයිල්ස් ටෙලර්, ජෙනිෆර් කොලනි, ජෝන් හැම්, ග්ලෙන් පොවෙල්, ලෙවිස් පුල්මන්, ඊඩ් හැරිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ටොප් ගන් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කර 2012 දී වියෝ වූ අධ්‍යක්ෂ ටෝනි ස්කොට් හට මෙහිදී විශේෂ ගෞරවයක් පුද කෙරේ. 2019 වසරේදී මෙය තිරගත කිරීමට නියමිත වූ නමුත් ලොව පුරා පැතිර ගිය කෙරෝනා වසංගතය හේතුවෙන් ප්‍රමාද විය.

ටොප් ගන් චිත්‍රපටය විචාරකයන්ගෙන් ඉහළ ප්‍රශංසා ලද චිත්‍රපටයක් බවට පත් වී තිබේ. පසුගියදා එහි විශේෂ රාජකීය දර්ශනයක් ලන්ඩනයේදී පැවැත්වුණි. ඒ වෙනුවෙන් විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඩ්ල්ටන් සහභාගි වූහ. ටොප් ගන් චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ විශේෂ අවධානයට ලක් වූ චිත්‍රපටයක් බවට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. එයට විශේෂ හේතුව නම් ඔහුද පුහුණු ගුවන් නියමුවෙකු වීමයි. විලියම් කුමරු ඇන්ග්ලේසි හි සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා වසර තුනක් පුරා ගුවන් නියමුවෙකු ලෙස සේවයේ යෙදී තිබේ. ටොප් ගන් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූයේ මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උලෙළේදීය. එහිදී ටොම් කෲස් ගෞරවනීය පැල්මා ඩී’ඕර් සම්මානයෙන් පිදුම් ලැබීය. ටොප් ගන් චිත්‍රපටය තිරගත කිරීමට පෙර ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා නිල්, සුදු සහ රතු පැහැයෙන් යුතු දුම් ධාරා නංවමින් ඉහළ අහසේ පියාසර කිරීමෙන් චිත්‍රපටයට උපහාර දැක්වීම ද විශේෂිත සිදුවීමකි.