වාසනාව හෝ ආදරය සොයා නොගත් තුන්කොන් ප්‍රේමකතාව

Kaathuvaakula Rendu Kaadhal
මැයි 19, 2022

 

ප්‍රභූ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන 'රියල් ඕ රීල්' නම් රූපවාහිනී වැඩසටහනට කන්මනි ගංගුලි සහ ඛතිජා බෙගම් නම් කාන්තාවෝ දෙදෙනෙක් සහභාගී වී සිටිති. ඔවුන් දෙදෙනාගේම ආදරය දිනා සිටින්නේ එක් පිරිමියෙකි. ඔහු රන්ජන්කුඩි අන්බරාසු මුරුගේසා භූපති ඔහොන්ධිරන් හෙවත් රම්බෝ නම් වේ.

රම්බෝගේ පවුලට සාපයකට ලක් වී ඇති බව ගම්මුන්ගේ පිළිගැනීමයි. ඒ අනුව ඔහුගේ පවුලේ විවාහක ඕනෑම අයකු හට හිමි වන්නේ මරණයයි. රම්බෝගේ පියා එම මිථ්‍යාව බිඳ දමා මිනා කයිෆ් නම් ගුරුවරියක සමඟ විවාහ වීමට තීරණය කරයි. එහෙත් ඔහුගේ සහෝදරයන් සහ සහෝදරියගේ තීරණය වන්නේ අවිවාහකව සිටීමයි. රම්බෝගේ උපතෙන් පසු අතිශයින් සතුටට පත්ව සිටින පියා කුලුනකින් ලිස්සා මරණයට පත් වේ. රම්බෝගේ මව මීනා ද කෙටි කලකට පසු අංශභාග තත්ත්වයට පත් වේ. රම්බෝගේ ඥාතීන් ඇතුළු ගම්වාසීන් විශ්වාස කරන්නේ රම්බෝගේ උපත ද පවුලට අවාසනාව ගෙන ආ බවයි. මේ හේතුවෙන් රම්බෝ හැදී වැඩෙන්නේ කොහේ ගිය ද අවාසනාව තමා පසුපස පැමිණෙන බව විශ්වාස කරමිනි.

ගමෙන් දුරස්ව නගරයට පැමිණෙන ඔහු දිවා කාලයේ රියදුරු රැකියාවක නිරත වන අතර රාත්‍රියේදී සමාජ ශාලාවක සේවය කරන්නේය. කන්මනීගේ රියදුරු වන රම්බෝ හට ඛතීජා හමුවන්නේ සමාජ ශාලාවේදීය. කාන්තාවන් දෙදෙනෙකුගේ ආදරය හිමි වන ඔහු

තම ද්විත්ව ප්‍රේම ජීවිතය ඉදිරියට ගෙන යන්නේ කෙසේ දැයි කියා උපකාර පතන්නේ රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ප්‍රභූගෙනි.

මෙම තුන්කොන් ප්‍රේමකතාවේ දිග හැරුම ගෙන එන්නේ අප්‍රේල් 28 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ Kaathuvaakula Rendu Kaadhal නම් ප්‍රේමණීය, හාස්‍යමය දෙමළ චිත්‍රපටයයි. වාසනාව හෝ ආදරය සොයා නොගත් මිනිසෙකුගේ කතාව ගෙන එන එහිදී දෛවයට අනුව ඔහු ඔහුට ආදරය කරන කාන්තාව සහ ඔහු ආදරය කරන කාන්තාව තෝරා ගත යුතුව ඇත. මෙහි රම්බෝගේ චරිතයට පණ පොවනු ලබන්නේ විජේ සේතුපති විසිනි. ඔහු සමඟ කන්මනී සහ ඛතීජා ලෙස චරිත නිරූපණය කරන්නේ නයන්තාරා සහ සමන්තාය. සේතුපති සහ සමන්තා එක්වන පළමු චිත්‍රපටය මෙය වේ. මීට පෙර ඔවුන් දෙදෙනාම විචාරක පැසසුමට ලක් වූ දමිළ චිත්‍රපටයක් වන Super Deluxe  හි රංගනයෙන් දායක වුවද ඔවුන් දෙදෙනා එක්ව සිටින දර්ශන එහි ඇතුළත් වූයේ නැත. නයන්තාරා සහ සමන්තා එකම චිත්‍රපටයක දැක ගැනීමට ලැබීම චිත්‍රපටය පිළිබඳ බලාපොරොත්තු වැඩි කරන්නක් වී ඇත. තවද බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් ද මෙහි ආරාධිත රංගනයකට එක් වී සිටින්නීය.

Kaathuvaakula Rendu Kaadhal  චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේදී ගැටලුවකට මුහුණ දුන් බව වාර්තා වේ. එනම් චිත්‍රපටය ප්‍රදර්ශනය ප්‍රමාද වී කාලසටහන් වෙනස් වීම හේතුවෙන් කලින් ප්‍රවේශපත් වෙන් කරවා ගත් ප්‍රේක්ෂකයන් අසීරුතාවයට ලක් වී තිබේ. ජනප්‍රියත්වය හේතුවෙන් ඉන්දියාවේ සිනමාහල්වල මෙම චිත්‍රපටය වෙනුවෙන් අලුයම 4.00 දර්ශන පවා ආරම්භ කිරීමට සිදු වී තිබේ. එය තමිල්නාඩුවේ ප්‍රදර්ශනයෙන් දින හතරක් තුළ රුපියල් කෝටි 22.3ක් උපයා ගැනීමට සමත් වී ඇත.

විග්නේෂ් ශිවන්ගේ අධ්‍යක්ෂණයක් වන Kaathuvaakula Rendu Kaadhal  මිශ්‍ර විචාර ලද චිත්‍රපටයක් බවට පත් වී ඇත. සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ ඉහළ විචාරක පැසසුම් හිමි වී තිබේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් ගෙනි. මෙය තිස් එක් හැවිරිදි අනිරුද්ගේ 25 වැනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වේ. මෙම චිත්‍රපටයේදී කාන්තාවන් කාන්තාවන්ට එරෙහිව නැගී සිටීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. එක් අයෙකු වෙනුවෙන් කැපවිය නොහැකි චපල මිනිසෙකුගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා රූමත්, ශක්තිමත්, ස්වාධීන කාන්තාවන් දෙදෙනෙකු අතර ඇති වන ගැටුම බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කර සිටී. නයන්තාරා සහ සමන්තා දකුණු ඉන්දීය සිනමාවේ කාන්තා නියෝජනයේ ප්‍රබල සංකේත ලෙසින් මෙවැනි චරිත නිරූපණය කිරීම කෙරෙහි ඇතැම් ප්‍රේක්ෂකයන් පවා අකමැත්ත ප්‍රකාශ කර ඇති අයුරු සමාජ වෙබ් අඩවි ඔස්සේ දැක ගත හැකිය.

"මම චිත්‍රපට කරන්නේ විනෝදාස්වාදය සඳහා පමණයි. අපි සින්දුවක් ලියනකොට වුණත් මුල්ම තැන දෙන්නේ එය ජනප්‍රිය කරන්නයි. මෙතැනදීත් අපි බලාපොරොත්තු වුණේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයයි. ඒ වගේම විනෝදාස්වාදය සහ සමාජ ගැටලු සමතුලිත කරන්න මා තව පරිණත විය යුතුයි" විවේචනවලට පිළිතුරු දෙමින් තිස්හය හැවිරිදි අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් පැවසීය. චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් සමන්තා ද පවසා තිබුණේ තමාට අවශ්‍ය වූයේ චිත්‍රපටය සමඟින් ප්‍රේක්ෂකයන්ට හොඳ කාලයක් ලබා දීම මිස එය විවේචනය කිරීම නොවන බවයි. "මට වුවමනා වුණේ මිනිසුන් වෙත සිනහව ගෙන එන්නයි. එදිනෙදා ප්‍රශ්නවලින් විරාමයක් අරගෙන ටිකක් හිනාවෙන්න" ඇය පැවසුවාය.