මාවල් විශ්වයේ මායාකාර වීරයා

මැයි 12, 2022

 

ලොවටම බලපෑම් කළ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පසුගිය දෙවසර සිනමා ක්ෂේත්‍රයටද අසීරු කාලයක් විය. පසුගිය වසරේ අවසානයේදී Spider-Man: No Way Home චිත්‍රපටය අතිසාර්ථක අයුරින් තිරගත වීමෙන් අනතුරුව උදා වූ 2022 වසර මාවල් සිනමා රසික රසිකාවන් හට බලාපොරොත්තු සහගත වසරක් බවට පත් වූයේ මාවල් සිනමැටික් යුනිවර්ස් ගෙන එන තවත් චිත්‍රපට ත්‍රිත්වයක් සමඟිනි. එහි පළමු වැන්න Doctor Strange in the Multiverse of Madness පසුගිය මැයි 06 වැනිදා සිට තිරගත වීම ආරම්භ වීමත් සමඟිනි. Thor: Love and Thunder  ජූලි මාසයේදීත් ඕතචජඬ Black Panther: Wakanda Forever නොවැම්බර් මාසයේදීත් තිරගත වීමට නියමිතව ඇත. මාවල් විශ්වයේ මායාකාර වීරයෙකු වන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වටා ගෙතුණු කතා පුවතකින් යුතු Doctor Strange in the Multiverse of Madness චිත්‍රපටය 2016 වසරේ තිරගත වූ Doctor Strange චිත්‍රපටයේ දෙවැන්න වන අතර මාවල් සිනමැටික් යුනිවර්ස් හි 28 වැනි චිත්‍රපටය වේ.

මාවල් විශ්වයේ ලොව ආරක්ෂා කරන වීරයන් රැසකි. ඔවුන්ගේ වගකීම විවිධ තර්ජනවලින් පෘථිවිය සහ විශ්වය ආරක්ෂා කර ගැනීමයි. එම තර්ජන අතර විවිධාකාර වූ මායාකාර බලවේගයන්ද ක්‍රියාත්මක වේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යනු එවැනි මායාකාර බලවේගයන්ගෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට බැඳී සිටින මාවල් වීරයෙකි. ස්ටෑන් ලී සමඟ ස්ටීව් ඩිට්කෝ නිර්මාණය කළ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හෙවත් ස්ටෙෆන් වින්සන්ට් ස්ට්‍රේන්ජ් පළමුවරට දැකගත හැකි වූයේ 1963 වසරේදී නිකුත් වූ Strange Tales  චිත්‍රකතා මාලාවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි උපත ලද ස්ටෙෆන් වින්සන්ට් ස්ට්‍රේන්ජ් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකි. මෝටර් රථ අනතුරකින් පසු නේපාලයේ කමර්-ටාජ් නම් නගරයට පැමිණෙන්නේ තම දෑස්වලට ඇති වූ බරපතල තුවාල වෙනුවෙන් ප්‍රථිකාර ගැනීම වෙනුවෙනි. ඔහුට මායාකාර කලාවන් ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ මෙහිදීයි.

අති දක්ෂ මායාකරුවෙකු වන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සටන් කලා විෂයයන් කිහිපයකම ප්‍රගුණ කර ඇති අයෙකු වේ. ඔහු කඩු සටනේ දක්ෂයෙකි. සුළඟ පාලනය කිරීමේ හැකියාව ඇත. පියාසර කිරීමේ හැකියාවද සතු ඔහු හට යම් වස්තුවක් වෙනත් වස්තුවක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතී. තවද කාලය වෙනස් කිරීමට මෙන්ම සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවද පවතී. පෘථිවියට තර්ජනයක් වන අත්භූත සිදුවීම් හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතී. ඒ අනුව මායා බලයෙන් පෘථිවිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සෝසරර් සුප්‍රීම් නම් තනතුර හිමිවේ. ඇවෙන්ජර්ස් සමඟ එක්වන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1970දී හල්ක්, නේමර් සහ සිල්වර් සර්ෆර් සමඟ එක්ව ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම නිර්මාණය කළේය. නික් ෆියුරි, වුල්වරින් සහ ස්පයිඩර් මෑන් වැනි සුපිරි වීරයන් හට ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ උපකාරය නිරන්තරයෙන් හිමිවේ.

සෑම් රයිමි අධ්‍යක්ෂණය කළ Doctor Strange: In the Multiverse Madness  චිත්‍රපටයේ බෙනඩික්ට් කම්බර්බැච්, රචෙල් මැක්ඇඩම්ස්, එලිසබෙත් ඔල්සෙන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මෙහිදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඔහු සතුව ඇති කාල ගලෙහි රහස් හෙළි කිරීමට වෙහෙසෙන්නේය. ගෙවී යන සෑම දිනකම, ඔහු ගලෙහි බලය පිළිබඳ තොරතුරු සොයා ගනී. මේ අතර පෘථිවියට එල්ල වන තවත් නපුරු බලවේගයකට ද ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මුහුණ දිය යුතු වේ.

Doctor Strange: In the Multiverse Madness  චිත්‍රපටයට IMDb  දර්ශකයේ හිමි වී ඇති ලකුණු ප්‍රමාණය 7.6/10කි. රොට්න් ටොමැටෝස් හි විචාරක මනාපය 75%ක් එය සතු වේ.

ඇමරිකානු ඩෙලර් මිලියන 200ක වියදමෙන් නිර්මාණය කළ මෙම චිත්‍රපටය ආරම්භක දිනයේදී ඇමරිකානු ඩොලර් මිලියන 27.2ක් වාර්තා කිරීමට සමත්විය. කෙසේ නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබුණද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැර සෙසු අරාබි රටවල් Doctor Strange: In the Multiverse Madness  චිත්‍රපටය තිරගත කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. එයට හේතුව මෙම චිත්‍රපටයේ සමරිසි චරිතයක් ඇතුළත් වීමයි. ඇමරිකා චාවේස් නම් එම චරිතයට පණ පොවනු ලබන්නේ සොචිට්ල් ගෝමෙස් විසිනි. ජෝ කැසී සහ නික් ඩ්‍රැගොටා විසින් නිර්මාණය කළ ඇමරිකා චාවේස් චරිතය මාවල් චිත්‍රපටයකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.