නියමුවන්ගේ විරෝධය මැද අජේට ප්‍රතිචාර

මැයි 12, 2022

 

ලොව ප්‍රවාහන පහසුකම් අතරේ ගුවන් යානාවකට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. නවින ලෝකයේ රටවල් අතර ගමනා ගමනය පිණිස විවිධාකාර වූ ගුවන් යානා රැසක් යොදවා තිබේ. මෙහිදී ඉහළ අහසේ පියවි ඇසට නොපෙනෙන ගුවන් මාර්ග පද්ධතියක් ඔස්සේ ගමන් ගනිමින් ගුවන් නියමුවන් විසින් ඉටු කරනු ලබන්නේ අභියෝගාත්මක රාජකාරියකි. සිනමා ක්ෂේත්‍රය ගත හොත් ගුවන් යානා අනතුරු පාදක කොට ගත් චිත්‍රපට බොහොමයක් නිර්මාණය වී තිබේ. මේ අතරට බොලිවුඩයෙන් එක් වන නවතම සිනමා නිර්මාණය වන්නේ Runway 34  ත්‍රාසජනක හින්දි චිත්‍රපටයයි.

එයට පාදක වී තිබෙන්නේ ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගමෙන් දෝහා සිට කොචි දක්වා පියාසර කළ බෝයිං 737- 800 ගුවන් යානයක් වන 9 ඩබ්ලිව් 555 ගුවන් යානය පිටුපස ඇති සත්‍ය කතාවකි. බෝයිං 737-800 යනු 1990 අග භාගයේ සිට බෝයිං කෝපරේෂන් විසින් නිෂ්පාදනය කරන ලද ඇමරිකානු ගුවන් යානාවකි. එය මගී ගුවන් යානා කර්මාන්තයේ මහා පරිමාණයෙන් නිපදවන ලද ආරක්ෂිත බවින් ඉහළ ජෙට් මගී ගුවන් යානවකි. කෙටි හා මධ්‍ය දුර ගුවන් සේවා සඳහා යොදා ගන්නා මගී ගුවන් යානයක් වන එය වැඩි සුවපහසුව වෙනුවෙන් ගුවන් සමාගම් සහ මගීන් අතර වඩාත් ජනප්‍රිය ගුවන් යානාවකි.

2015 අගෝස්තු 18 වැනිදා දෝහා සිට පැමිණි 9 ඩබ්ලිව් 555 ගුවන් යානයට කේරළයේ කොචි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට බාධා එල්ල වන්නේ අයහපත් කාලගුණය සහ අපැහැදිලි දෘශ්‍යතාව හේතුවෙනි. අධික වර්ෂාපතනයෙන් කොචින් නගරය වැසී යද්දී ප්‍රධාන ගුවන් නියමු වික්‍රාන්ත් ඛන්නා සහ සහය නියමුවරිය ටාන්යා වෙත ගුවන් ගමනා ගමන පාලක මැදිරියෙන් උපදෙස් ලැබෙන්නේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්ගොටුපොළ වෙත ගුවන් යානය ගොඩ බැස්සවීමටයි. නමුත් ඒ වන විට ත්‍රිවේන්ද්‍රම්හි කාලගුණය ද නරක අතට හැරීමත් සමඟ වික්‍රාන්ත් සහ ටාන්‍යා හට දුෂ්කර අභියෝගයකට මුහුණ දීමට සිදු වන්නේ අඩු ඉන්ධන ප්‍රමාණය සමඟ වෙනත් ගුවන්තොටුපොළකට යාමේ අවස්ථාවද අහිමිවීමෙනි.

විකල්පයක් නොමැති තැන අසීරුතා මධ්‍යයේ ඔවුහු ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළට ගොඩබෑමට තීරණය කරති. ගුවන් ගමනා ගමන පාලක මණ්ඩලයේ උපදෙස වන්නේ ගුවන්යානය 16 වැනි ගුවන් ධාවන පථය වෙත ගොඩබස්වන ලෙසයි. එම උපදෙස් නොතකා අවදානම් පියවරක් වන 34 වැනි ධාවන පථයට ගොඩබෑමට වික්‍රාන්ත් තීරණය කරයි. බාධක මධ්‍යයේ වුවද යානය සාර්ථව ගොඩබැස්ස වීමට ගුවන් නියමු වික්‍රාන්ත් ඛන්නාට හැකි වුවද අනතුරුව ඔහු හට තවත් අභියෝග රැසකට මුහුණදීමට සිදු වේ. කතාවේ ඉතිරි කොටස දිග හැරෙන්නේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ගුවන් යානය ගොඩබෑමේ දී නීති කඩ කර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සමඟිනි.

එය දැකගත හැකි වන්නේ Runway 34  චිත්‍රපටයෙනි. Runway 34  ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දේව්ගන්ගේ තෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. ඔහු එහි අජේ වික්‍රාන්ත් ඛන්නා ලෙසින් පණ පොවන අතර සහය නියමුවරිය ටාන්යාගේ චරිතයට පණ පොවනු ලබන්නේ රකුල් ප්‍රීත් සිං විසිනි. අමිතාබ් බච්චන් ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ නිළධාරි නාරායන් වේදන්ත් චරිතයට පණ පොවයි. Runway 34  පසුගිය අප්‍රේල් 29 වැනිදා සිට තිරගත කිරිම ආරම්භ විය.

Runway 34  චිත්‍රපටය අජේ දේව්ගන් මෙතෙක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් හොඳම අධ්‍යක්ෂණය බවට පැසසුම් ලැබුවද ගුවන් නියමුවන් ගෙන් ලැබී ඇත්තේ අයහපත් ප්‍රතිචාරයන්ය. ඉන්දීය ගුවන් නියමු සම්මේලනය චෝදනා කර සිටින්නේ ලොව පුරා මිලියන ගණනක මගීන්ගේ ජීවිතවල වගකීම ගෙන උඩු ගුවනට යන ගුවන් නියමුවන්ගේ සැබෑ වෘත්තීය කැපවීම මේ ඔස්සේ නිරූපණය නොවන බවයි. චිත්‍රපටයේ ගුවන් නියමුවෙකුගේ චරිතය යතාර්ථවාදී නොවන ලෙස නිරූපණය කර ඇති අතර එමඟින් ගුවන් මගීන්ගේ සිත් තුළ භීතියක් ඇති කළ හැකි බවද ඔවුහු පෙන්වා දී තිබේ. මෙම චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම වික්‍රාන්ත් ඛන්නා ලෙස අජේ දේව්ගන් දුම් පානය කිමේ දර්ශන වෙනුවෙන් ද ඔවුන්ගේ විරුද්ධත්වය එල්ල වී ඇත. එහි එන ව්‍යාකූල හැසිරීම් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් විරෝධය පළ කළ ගුවන් නියමුවන් පවසන්නේ වෘත්තීයභාවයේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවයි.