ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ වීරා රාඝවන්ගේ මෙහෙයුම

බීස්ට් කෝටි 100 ඉක්මවූ දෙවැනි වේගවත්ම දෙමළ චිත්‍රපටය බවට පත් වීමට සමත් විය
අප්‍රේල් 21, 2022

විජේ හෙවත් ජෝසප් විජේ චන්ද්‍රසේකර් මේ වන විට දකුණු ඉන්දීය සිනමාවේ ඉහළම මිලක් අය කරන ජනප්‍රිය නළුවකු බවට පත්වී සිටී. මෑත කාලීනව විජේ රඟපෑ මර්සල්, සර්කාර්, බිගිල් වැනි චිත්‍රපට ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බවට පත් වුයේ ඔහු ලද ජනප්‍රියත්වය සමඟිනි. බිගිල් චිත්‍රපටය තිරගත කිරීම ආරඹා දින තුනක් ඇතුලත ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්විය. තවද මෙම චිත්‍රපට සමාජ ගැටලු, දේශපාලනය වැනි මාතෘකා තේමා කරගත් චිත්‍රපට වීමද විශේෂත්වයකි. දේශපාලන කතා තේමාවක් ගෙන එන සර්කාර් චිත්‍රපටයට පාදක වූයේ තමිල්නාඩු මහ ඇමැති පුටුව වෙනුවෙන් වූ දේශපාලන බල අරගලයයි. මාස්ටර් චිත්‍රපටය ළමා පුනරුත්තාපනයේ අක්‍රමිකතා පෙන් වූ නිර්මාණයකි. විජේගේ නවතම සිනමා නිර්මාණය බීස්ට්, විදේශ ඔත්තු සේවා නියෝජිතයෙකු වටා ගෙතුණු චිත්‍රපටයකි.

බිස්ට් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම එළිදැක්වූයේ පසුගිය වසරේ ජූනි 22 වැනිදාට යෙදී තිබූ විජේගේ 47 වැනි උපන් දිනයේදීය. එය පසුගිය වසරේ තිරගත වූ මාස්ටර් චිත්‍රපටයෙන් පසවු විජේ ප්‍රේක්ෂයන් හමුවන පළමු චිත්‍රපටයයි. එය ඔහුගේ සිනමා දිවියේ 65 වැනි චිත්‍රපටය වේ. බීස්ට් යනු දෙමළ භාෂා, ක්‍රියාදාම, හාස්‍ය චිත්‍රපටයකි. පසුගිය අප්‍රේල් 13 වැනිදා සිට තිරගත කෙරෙන එය රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නෙල්සන් විසිනි. බීස්ට් චිත්‍රපටය නිවේදනය කරන විට විශේෂ සාධකය වූයේ චිත්‍රපට නිෂ්පාදක නෙල්සන් සහ විජය පළමු වරට එකම නිර්මාණයක් සමඟ පැමිණීමයි. කොලමාවු කෝකිලා සහ ඩොක්ටර් වැනි චිත්‍රපට සමඟ ප්‍රබල සලකුණක් තැබූ නෙල්සන්, දකුණේ ජනප්‍රියතම තරුවක වන විජේ සමඟ සුවිශේෂ නිර්මාණයක් කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස විය.

බීස්ට් කතාව ආරම්භ වන්නේ කාශ්මීරයට ආසන්න ස්ථානයකදීය. එහිදී විදේශ ඔත්තු සේවා නිලධාරියෙකු වන වීරා රාඝවන් මාස තුනක් තිස්සේ මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටී. රජය අවසන් මොහොතේ, මෙහෙයුම නතර කිරීමේ තීරණය ගනී. නමුත් එම තීරණයට විරුද්ධත්වය පළ කළ වීරා රාඝවන් සිය ප්‍රධානීන්ගේ අණට එරෙහිව යමින් මුල් සැලැස්මට අනුව කටයුතු කරයි. මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු නමුත් ප්‍රතිඵලය වන්නේ ඔහු මානසික ව්‍යාකූලත්වයට පත්වීමයි. තම ප්‍රධානියා නිදහස් කරන ලෙස ඉල්ලා චෙන්නායි නගරයේ ජනාකීර්ණ වෙළෙඳ සංකීර්ණයක් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් විසින් ප්‍රාණ ඇපයට ගනු ලබන්නේ මේ අතරතුරදීය. වීරා රාඝවන් ද එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණයේ සිටිනා බව දැන ගන්නා රජය ජනතාව මුදා ගැනීම වෙනුවෙන් ඔහුගේ සහය ඉල්ලා සිටී. බීස්ට් චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ වීරා රාඝවන් ත්‍රස්තයන්ට එරෙහිව සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන ආකාරයයි.

බීස්ට් චිත්‍රපටයේ විජේ සමඟින් සහ පූජා හෙජ් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ෂයින් ටොම් චාකෝ, සෙල්වරාඝවන්, යෝගි බාබු, පෘථිවි රාජ් සහ රෙඩින් කිංස්ලි සහාය චරිත නිරූපණය කරති. විජේගේ මෙම චිත්‍රපටය විචාරකයන් ගෙන් ලැබූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ බීස්ට් යනු නෙල්සන්ගේ චිත්‍රපටයක් හෝ විජේගේ චිත්‍රපටයක් නොවන බවයි. නමුත් එහි අනිරුද් රවිචන්දර්ගේ සංගීත අධ්‍යක්ෂණය විචාරක පැසසුමට ලක් වී තිබේ.

ප්‍රේක්ෂකයන් විජේගේ චිත්‍රපටයක් පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් මඟ බලා සිටියද මෙවර එය තහනම් කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. චිත්‍රපටයේ ඉස්ලාම්වාදීන් අන්තවාදීන් ලෙස දැක්වෙන දර්ශන ඇතුළත් බව සඳහන් කරමින් කුවේට් රාජ්‍යයේ බීස්ට් චිත්‍රපටයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. විදෙස් රටවල පමණක් නොව තිරගත වීමට පෙර බීස්ට් චිත්‍රපටයට තමිල්නාඩුවෙන් ද එවැනිම තහනම් පනවන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් විය. වාර්තාවන්ට අනුව මනිතන්‍යා මක්කල් කච්චි සභාපති එම්.එච්. ජවාහිරුල්ලා චිත්‍රපටය තහනම් කරන ලෙස තමිල්නාඩු මහ ඇමති ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ කෙසේ නමුත් බීස්ට් චිත්‍රපටය කෝටි 100 ඉක්මවූ දෙවැනි වේගවත්ම දෙමළ චිත්‍රපටය බවට පත් වීමට සමත් විය.

බීස්ට් චිත්‍රපටය නිකුත් කිරීමට පෙර මාධ්‍ය හමුවකදී විජේ ඔහුගේ ජීවිතය සහ චිත්‍රපට ගැන කතා කරමින් සිටියදී සිය දේශපාලන මතය පිළිබඳව ද අදහස් දැක්වූයේය. "හැමදේටම හැමදාම වෙලාවක් තියෙනවා. මිනිස්සුන්ට, මගේ රසිකයන්ට මාව නායකයෙක් විදියට පරිවර්තනය කරන්න ඕනෑ නම් මට ඒ වෙනස නවත්වන්න බෑ. ඒ වගේම ඔවුන් අකමැති නම් එය කවදාවත් සිදු වෙන්නේත් නැහැ " විජේ පැවසීය.