මැජික් බලයෙන් පවුල බේරගත් මිරබල්ගේ කතාව

Encanto
දෙසැම්බර් 9, 2021

ආක්‍රමණිකයන්ගෙන් බේරීමට සිය ගම්බිම් අතහැර පලායන අල්මා මැඩ්‍රිගල් නම් තරුණියට ඇගේ සැමියාද අහිමි වේ. කෙසේ හෝ සිය දරු තිදෙනා වූ ජූලිටා, පෙපා සහ බෲනෝ බේරා ගන්නා අල්මා මැජික් බල සහිත 'එන්කන්ටෝ' නම් ඉටිපන්දම යොදා ගෙන මැඩ්‍රිගල් පවුලට සුවසේ ජීවත් වීමට 'කැසිටා' නම් කුඩා නමුත් සාමකාමී නිවෙස නිර්මාණය කරයි.

කාලයක් ගත වේ. අල්මා දැන් මිත්තණියකි. සිය පවුලේ නිර්මාතෘවරිය වූ මැජික් බල ඇති අල්මාට පවුලේ සියල්ලෝම තදින් ආදරය කරති. ගරු කරති. මැඩ්‍රිගල් පවුලේ සියල්ලන්ටම සිය පරම්පරාවෙන් උරුම වූ නේක විධ මැජික් බල ඇත. බෲනෝ මැඩ්‍රිගල් හට අනාගතය දැකීමේ හැකියාව ඇත. පෙපා මැඩ්‍රිගල්හට කාලගුණය පාලනය කළ හැකිය. ජුලීටා හට ආහාර පිසීමෙන් අන් අය සුවපත් කළ හැකිය. ජුලීටාගේ වැඩිමහල් දියණිය ඉසබෙලා හට හැමතැනම මලින් සැරසීමට හැකියාව ඇත. ජුලීටාගේ දෙවැනි දියණිය ලුයිසාහට සුපිරි ශක්තියක් ඇත. පෙපාගේ වැඩිමහල් දියණිය, ඩොලෝරස්ගේ වැඩි දියුණු කළ ශ්‍රවණය හරහා සියලු දෙනා පිළිබඳ දැනගත හැකිය. පෙපාගේ පුතු වන ඇන්ටෝනියෝ හට සතුන් සමඟ කතා කිරීමේ හැකියාව ඇත.

මැජික් බලයක් නොමැත්තේ පවුලේ එක් තරුණියකට පමණි. ඒ ජුලීටාගේ බාල දියණිය වන මිරබෙල්ට ය. පවුලේ සෙසු සාමාජිකයන්ට හිමි මැජික් බලය තමාහට නොමැතිකමින් මිරබෙල් දුකින් පසුවේ. කෙසේ වෙනත් අන් අයගේ බලයන්ට ඊර්ෂ්‍යා නොකරන ඇය සියල්ලන් සමඟින් සතුටින් ජීවත් වේ. දිනක් රාත්‍රියේ නින්දෙන් අවදිවන මිරබෙල් දකින්නේ සිය පරම්පරාව මෙතෙක් කලක් සතුටින් ජීවත් වූ 'කසීටා' නම් නිවෙසේ බිත්ති සියල්ලම පුපුරා ගොස් ඇති බවයි. මෙතෙක් කලක් තම පවුල ආරක්ෂා කළ මැජික් බලය කෙමෙන් කෙමෙන් වියැකී යන බව මිරබෙල් අවබෝධ කර ගන්නා අතර මැජික් බලය යළි පණ ගන්වා සිය පවුල බේරාගැනීමට හැක්කේ තමාට පමණක් බව ඇය වටහා ගනී.

වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් ස්ටූඩියෝ විසින් නිෂ්පාදනය කළ පවුල් බැඳීම් පිළිබඳ වූ මෙම සිත් ඇදගන්නා චිත්‍රපටය බෙදා හරිනු ලබන්නේ වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ මෝෂන් පික්චර්ස් විසිනි. අමෙරිකානු - පරිගණක සජීවකරණ - සංගීතමය - සුරංගනා - හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන 'එන්කන්ටෝ' මෙලෙස දිගහැරෙන්නේ ඩිස්නි චිත්‍රාගාරය විසින් නිෂ්පාදනය කරන ලද 60 වැනි චිත්‍රපටය ලෙසිනි. එය නොවැම්බර් 24 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹිණි. ජෙරාඩ් බුෂ් සහ බයිරන් හොවර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'එන්කන්ටෝ', ජෙරාඩ් බුෂ් සහ චෙරිස් කැස්ත්‍රෝ ස්මිත් විසින් තිර රචනය කර ඇත. යෙවෙට් මරිනෝ සහ ක්ලාර්ක් ස්පෙන්සර් විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටයට ස්ටෙෆ්නි බියට්‍රිස්, මරියා සෙසිලියා බෝටෙරෝ, ජෝන් ලිගියුසමෝ, ජෙසිකා ඩරෝ, ඇන්ජි සිපෙදා, කැරොලිනා ගයිටන් ඩයනා ගුරෙරෝ සහ විල්මර් වැන්ඩරාමා විසින් හඬ දායකත්වය සැපයෙනු ලැබෙයි.

'එන්කන්ටෝ' විචාරකයන්ගේ නොමඳ පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටයකි. රොට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් 117 දෙනෙකුගෙන් සියයට 92 ක් මෙය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.7/10 කි. එම අඩවියේ පොදු විචාරයේ චිත්‍රපටය ගැන මෙලෙස සටහන් වේ. "එන්කන්ටෝ ඩිස්නි චිත්‍රපට ගොන්නට නවමු සංස්කෘතියක් එක කරන චිත්‍රපටයක් වන නමුත් අවසන් ප්‍රතිඵලයේ නම් වෙනසක් නැත. ප්‍රේක්ෂකයන්හට ලැබෙනුයේ දක්ෂ ලෙස සජීවකරණය කළ සුන්දර වූ පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයකි". එමෙන්ම 'එන්කන්ටෝ' ගැන කිව යුතු නරකම දෙය නම්, එය ඩිස්නි චිත්‍රපටයක් ලෙස හැඟෙන බවයි.