පෙම්වතියත් ආදරයත් එපා කී සල්මන්ගේ සත්‍යය

සල්මන් ට අදෘශ්‍යමාන පෙම්වතියක්
දෙසැම්බර් 2, 2021

 

මෑතකදී සම්මත වූ ගොවි පනත් කෙටුම්පතට එරෙහිව ඉන්දීය ගොවියන් පාර්ලිමේන්තුවට විරෝධය පළ කරමින් විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය වසර අගභාගයේදීයි. එරට වාර්තා ගෙන එන්නේ, මේ වන විට වසරකුත් මාස තුනක් සහ සති දෙකක් ගත වී ඇතත් ගැටලුවට විසඳුම් ලැබී නොමැති බවයි. ගොවීන් නවදිල්ලියේ වීදිවල කඳවුරු බැඳගත්තේ දැවෙන ගිම්හානය, කටුක සීත කාලය, පොලිස් බාධක සේම මාරාන්තික කොරෝනා වසංගතයද විඳ දරා ගනිමිනි. නොවැම්බර් 26 වැනි දින සිට ලොව පුරා තිරගත වීම ඇරැඹි 'අන්තිම් : ද ෆයිනල් ට්‍රෘත්' ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටය දිගහැරෙන්නේ ද ගොවීන්ගේ ගැටලු ගැන අවධානය යොමු කරමිනි. 'අන්තිම් : ද ෆයිනල් ට්‍රෘත්' චිත්‍රපටය 2018 වසරේදී තිරගත කෙරුණු 'මුල්ෂි පැටර්න්' නම් මරාති චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

'මුල්ෂි පැටර්න්' චිත්‍රපටයට පදනම් වී ඇත්තේ පූනේ හි සිදුවීම් මාලාවකි. එහිදී ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා සමඟ ඔවුන්ගෙන් ඇතැමෙකු අපරාධ කරා තල්ලු කරන අසීරු තත්ත්වයන් ගවේෂණය කරයි. ගොවියෙකු වන රාහුල්ගේ පියා හෙවත් සකාරම් පටිල් තම ඉඩම විකිණීමෙන් ජීවිකාව ගෙන යන අතර එම මුදල නොබෝ දිනකින් වියදම් වී අවසන් වේ. පසුව ඔහු තම අවශ්‍යතා සපුරාලීම සඳහා මුරකරුවෙකු ලෙස රැකියාවක් කරන නමුත් මූල්‍ය ගැටලු හේතුවෙන් පූනේ වෙත මාරු වීමට සිදුවන අතර එහිදී භාණ්ඩ පැටවුම්කරුවෙකු ලෙස රැකියාවක නිරත වේ.

නූතන පරම්පරාව නියෝජනය කරන සකාරම්ගේ පුත් රාහුල් ඔහුට සියල්ල නැතිවීම ගැන දොස් පවරමින් ඔහු ගැන කලකිරී සිටී. තම පවුලේ ගෞරවය නැති වූ බව රාහුල්ට හැඟේ. යොවුන් රාහුල් ප්‍රාදේශීය මැර කල්ලිය

ක් සමඟ සම්බන්ධ වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේදීය. මුල්ෂි චිත්‍රපටය ආරම්භ වන්නේ රාහුල් පටිල් හෙවත් රාහුල්‍ය නමැති මැර කල්ලි නායකයා සහ ඔහුගේ ළමා කාලයේ මිතුරා මෙන්ම හවුල්කරු වන ගනේෂ් හෙවත් ගන්යා ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය අතින් ඝාතනය කිරීම සමඟිනි. තත්ත්වය මෙසේ පවතින විටදී රාහුල්ගේ දෙමාපියන් තම ප්‍රචණ්ඩකාරී පුත්‍රයා මගහැරීම සමඟ ඔහුගේ අනාගතය කෙබඳු වේවිද? යන්න 'මුල්ෂි පැටර්න්' චිත්‍රපටයේදී දැකගත හැකි විය. 'අන්තිම් : ද ෆයිනල් ට්‍රෘත්' චිත්‍රපටයේදී රාහුල්‍ය නැඟී සිටිනු බලා සිටින්නේ පොලිස් නිලධාරි රාජ්වීර් සිං ය. සික් ජාතික රාජ්වීර් සිංගේ තියුණු දෙනෙතට හසු වූ රාහුල් පටිල් හෙවත් රාහුල්‍යගේ අනාගතය කෙසේ විසඳෙනු ඇති ද? යන්න 'අන්තිම්' හිදි දැකගත හැකිවනු ඇත.

'අන්තිම් : ද ෆයිනල් ට්‍රෘත්' චිත්‍රපටයේ පොලිස් පරීක්ෂක රාජ්වීර් සිංගේ චරිතයට පණ පොවන්නේ සල්මන් ඛාන් විසිනි. එහි සල්මන්ගේ චරිතයේ කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ ඔහු සමඟ ප්‍රේමණීය කාන්තා චරිතයක් නොමැති වීමයි. කෙසේ වෙතත්, සල්මන්ගේ චරිතයට ආදර කතාවක් තිබිය යුතු බවට නිෂ්පාදකයන් මුලින් තීරණය කර තිබුණත් අවසානයේ ප්‍රේක්ෂකයන්හට එවැන්නක් දැක ගැනීමට නොලැබෙන බවට තීරණය විය. රාජ්වීර් සිං වෙනුවෙන් පෙම්වතියකගේ චරිතයක් සහ ප්‍රේමණීය ගීත දෙකක් ඇතුළත් කර ඒ වෙනුවෙන් රුගත කිරීම් පවා සිදු කෙරුණි. චිත්‍රපටයේ එම ජවනිකා වෙනුවෙන් සල්මන්හට පෙම් කිරීමට අවස්ථාව ලැබුණේ තිස් හැවිරිදි බොලිවුඩ් නිළි ප්‍රාග්යා ජයිස්වාල්හටයි. කෙසේ නමුත් පසුව සල්මන් තීරණය කර තිබුණේ මෙම චිත්‍රපටයේදී ඔහුට පෙම්වතියක හෝ ප්‍රේමණීය ගීතයක් අවශ්‍ය නොවන බවයි.

මහේෂ් මන්ජේකර් අධ්‍යක්ෂණය කළ 'අන්තිම් : ද ෆයිනල් ට්‍රෘත්' චිත්‍රපටය සල්මන් ඛාන් ෆිල්ම්ස් නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටයේ සල්මන් ඛාන් සමඟ මහිමා මක්වානා සහ රාහුල් ලෙසින් ආයුෂ් ශර්මා ප්‍රධාන චරිත නිරූපණය කරයි. දිල්ලි ව්‍යාපාරිකයෙකු වන ආයුෂ් ශර්මා සල්මන් ඛාන්ගේ සොහොයුරිය වන අර්පිතා ඛාන්ගේ සැමියාය. 'අන්තිම්' චිත්‍රපටය මහේෂ් මන්ජේකර් අධ්‍යක්ෂවරයකු ලෙස සල්මන් ඛාන් සමඟ පළමු සහයෝගීතාවය සනිටුහන් කරයි. ඔවුන් දෙදෙනා වසර ගණනාවක් පුරා 'වෝන්ටඩ්, ඩබාන්ග්', 'රෙඩී', 'බොඩ්ගාර්ඩ් 3' වැනි බොහෝ චිත්‍රපටවල රඟපා ඇත. මන්ජේකර් මෑතකදී මුත්‍රාශයේ පිළිකාවකින් පීඩා විඳ සුවය ලැබූ අතර චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමේදී සල්මන් ඔහුගේ ආත්ම ශක්තිය අගය කර සිටියේ ඔහු සටන්කරුවෙකු ලෙස හඳුන්වා දෙමිනි. මන්ජේකර් චිත්‍රපටයේ ඇතැම් රූගත කිරීම් වෙනුවෙන් දායක වූයේ ද පිළිකාවට ප්‍රතිකාර ලබා ගන්නා අතරතුරදීය. තවද මෙහි සල්මන් පණ පොවන සික් ජාතික චරිතය සිහිපත් කරමින් ඔහු පැවසුවේ යම් සංස්කෘතියක හෝ නිකායක චරිතයකට පණ පෙවීම විශාල වගකීමක් බවයි.