සම්මානනීය සිනමාවේදියකුගේ පුනරාගමනය

නොවැම්බර් 11, 2021

 

The Last Duel

 

මේ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ එරික් ජාගර් විසින් රචිත ‘ද ලාස්ට් ඩුවෙල් : අ ටෲ ස්ටෝරි ඔෆ් ට්‍රයල්’ නම් කෘතිය පදනම් කරගෙනය

චිත්‍රපටයට පසුබිම් වී තිබෙන්නේ ද්වන්ධ සටනකි

ද්වන්ධ සටන යනු දෙදෙනෙකු විසින් එකිනෙකාට විරුද්ධව කරන්නා වූ සටනකි. අතීතයේ ඇතැම් සමාජ ස්ථරයන් තුළ මෙවැනි සටන්, නීතියක් ලෙස පැවති අතර ප්‍රධාන වශයෙන් රදළ පැලැන්තියේ නියෝජිතයන් විසින් භාවිත කළ ගැටුම් විසඳීමේ ක්‍රමයක් විය. සාම්ප්‍රදායිකව, ද්වන්ධ සටන් ආරම්භ වූයේ අභියෝගයකිනි. ඒ සඳහා අවසර ලත් ආයුධ වූයේ කඩු හෝ පිස්තෝල ය. ද්වන්ධ සටන් යුරෝපීය මධ්‍යතන යුගය පුරාවටම භාවිතයේ පැවති අතර 16 වැනි සියවසේදී ක්‍රමයෙන් අතුරුදහන් විය. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ ආරොන් බර් (1804), ඇල්මේරියා බ්‍රැඩ්ඩොක් ආර්යාව සහ එල්ෆින්ස්ටන් මහත්මිය (1792) ඇලෙක්සැන්ඩර් පුෂ්කින් සහ ජෝර්ජස් ඩි ඇන්තස් (1837) ලෝ ප්‍රකට ද්වන්ධ සටන් කිහිපයකි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා සිට තිරගත කෙරෙන 'ද ලාස්ට් ඩුවෙල්' යනු ඓතිහාසික කතා තේමාවක් රැගත් චිත්‍රපටයට ද පසුබිම් වී තිබෙන්නේ ද්වන්ධ සටනකි. නිකොලේ හොලෝෆෙන්සර්, බෙන් ඇෆ්ලෙක් සහ මැට් ඩෙමෝන් විසින් එහි තිරරචනය කර තිබෙන්නේ 2004 දී එරික් ජාගර් විසින් රචිත 'ද ලාස්ට් ඩුවෙල් : අ ට්‍රෘ ස්ටෝරි ඔෆ් ට්‍රයල්' නම් කෘතිය පදනම් කරගෙනය. මෙම කතාවෙන් කියවෙන්නේ 1386 දෙසැම්බර් 29 වැනිදා ප්‍රංශයේදී සිදු වූ ශ්‍රීමත් ජීන් ද ක්රූජස්, ජේකස් ලෙ ග්‍රිස් සමඟ කළ ලොව ප්‍රකට ද්වන්ධ සටන පිළිබඳ නඩු විභාගයයි. මෙහි කතාව පරිච්ජේද තුනකින් යුතු අතර එම පරිච්ජේද මෙම කතාවේ ප්‍රධාන චරිත තුන හා සම්බන්ධව එකනෙකාගේ පාර්ශවයෙන් පැවසෙන පරිදි දිග හැරේ.

පළමු පරිච්ඡේදයට අනුව,

කැරොලයින් යුද්ධයේ සේවය කිරීමෙන් පසු, ජීන් ද ක්රූජස් සහ ඔහුගේ ගෝලයා වන ජේකස් ලෙ ග්‍රිස්, පියරේ ඩි ඇලෙන්සන් නම් සිටුවරයා වෙත සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කර දිවුරුම් දෙති. ජේකස් පසුව ජීන්හට දන්වා සිටින්නේ පියරේ තම නව වාසල්වරුන්ට යුද බදු ගෙවීමට නියෝග කර ඇති බවයි. නමුත් එම අවස්ථාවේ ජින්හට ගෙවීමට මුදල් නොමැති හෙයින් ඒ වෙනුවෙන් සහනයක් ඉල්ලා සිටීමට එකඟ වූ බවත් ජේකස් දන්වා සිටී. මෙම මූල්‍ය අර්බුදයට විසඳුම ලෙස ජීන් තෝරා ගන්නේ විවාහයකි. ඒ වෙනුවෙන් ඔහු මාග්‍රට් ඩි තිබොව්විලි නම් තරුණිය සමඟ විවාහ ගිවිස ගනී. මෙම විවාහය සමඟ ජීන් හට විශාල දෑවැද්දක් සහ බොහෝ වටිනා වතු වල අයිතිය හිමි වේ. නමුත් මේ අතරතුරදී ජීන් සහ ජේකස් අතර පැන නගින්නේ ඉඩම් ආරවුලකි.

ස්කොට්ලන්තයේ හමුදා මෙහෙයුමකදී නිර්භීතකම උදෙසා නයිට් පදවියකින් පිදුම් ලද ජීන් පැරිස් සංචාරයකින් පසු නිවසට පැමිණෙන අතර මාග්‍රට් පවසන්නේ තනිවම නිවසේ සිටියදී ජේකස් විසින් තමා දූෂණය කළ බවයි. පියරේ විසින් ජේකස් ආරක්ෂා කරන බව දැනගත් ජීන් ඔහුට මරණය සඳහා ද්වන්ධ සටනකට අභියෝග කිරීමට තීරණය කරන අතර චාල්ස් ඍධ් රජු එයට අවසර ලබා දේ.

දෙවැනි පරිච්ඡේදයට අනුව,

ජේකස් විසින් පියරේගේ විශ්වාසය දිනා ගන්නේ ගණිතය පිළිබඳ ඔහුගේ දැනුම භාවිතා කරමින් ගණන් කිරීමේ හා මුදල් සංවිධානය කිරීමෙනි. මේ හේතුවෙන් ඔහුට උසාවියේ තනතුරක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. මාග්‍රට් හමුවීමෙන් පසු, ජේකස් ඇය සමඟ ආදරයෙන් බැඳේ. ජීන් විදේශගතව සිටින අතරතුර, ඔහුගේ මව මාග්‍රට් තනි කර ඇයට වැඩකටයුතු සඳහා උපකාර කිරීමට සේවකයන් රැගෙන යයි. මේ අවස්ථාවේදී ජේකස් පැමිණෙන්නේ සිය අශ්වයා විසින් සපත්තුවක් විසි කළ බව පවසමිනි. මාග්‍රට් කෙරෙහි ජේකස් තුළ ඇති ආදරය ප්‍රකාශ කළ ද තමා විවාහක බව තරයේ කියා සිටින ඇය ඔහුට අණ කරන්නේ වහාම පිටවී යන ලෙසිනි. ඒ වෙනුවට, ජෙකස් මාග්‍රට් තම අණසකට යටත් කර ගැනීමට වෙර දරයි. නිවෙසින් පිටත්ව යාමට පෙර, ජෙකස් විසින් තර්ජනය කර සිටින්නේ මෙම සිදුවීම පිළිබඳ තතු ජීන්හට නොපවසන ලෙසයි. කෙසේ නමුත් මාග්‍රට්ගේ හෙළි කිරීමට අනුව ජීන් මේ පිළිබඳ නඩුව චාල්ස් රජුහට දන්වා මරණය සඳහා ද්වන්ධ සටනක් ඉල්ලා සිටී. ජෙකස් විසින් ජීන්ගේ අභියෝගය පිළිගනී.

'සත්‍යය' නම් තෙවැනි පරිච්ඡේදය ඇරඹෙන්නේ,

මාග්‍රට් මවක වීමට අපොහොසත් වීම නිසා ඔවුන්ගේ විවාහය දෙදරා යාම සමඟිනි. ජීන් ස්කොට්ලන්තයට යන්නේ නිවෙසෙන් පිටවී නොයන ලෙසත් කිසිවෙකුහට නිවෙසට ඇතුල්වීමට ඉඩ නොතබන බවට මාග්‍රට්හට අණ කරමිනි. කෙසේ නමුත් ජීන්ගේ මව ඔහුගේ අණ නොතකා වැඩකටයුතු සඳහා සියලුම සේවකයන් රැගෙන යන්නේ මාග්‍රට් අසරණ කරමිනි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජෙකස් අතින් මාග්‍රට් දූෂණයට ලක්වේ. ආපසු පැමිණෙන ජීන් මාග්‍රට්ගේ තතු අනුව නඩුමඟට පිවිසේ. ඍධ් වන චාල්ස් රජු මරණය වෙනුවෙන් වූ ද්වන්ධ සටනක් සඳහා ජීන්ගේ ඉල්ලීම අනුමත කරයි. ද්වන්ධ සටන සිදු වීමට දින කිහිපයකට පෙර මාග්‍රට් තම කුළුඳුල් පුතු බිහි කරයි.

දෙවියන් වහන්සේගේ කැමැත්තේ ලකුණක් ලෙස ද්වන්ධ සටන අවසානයේ ජීවතුන් අතර සිටින්නේ කුමන සටන්කාමියාද ඔහු ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරනු ලැබේ. මෙහිදී ශ්‍රීමත් ජීන් ද ක්රූජස් ද්වන්ධ සටනින් පරාජය වූයේ නම්, ඔහුගේ බිරිය ඇයගේ බොරු චෝදනාවට දඬුවමක් ලෙස කණුවක ගැටගසා පුළුස්සා දමනු ඇත.

මෙහි ශ්‍රීමත් ජීන් ද ක්රූජස් ලෙසින් මැට් ඩෙමෝන්, ඔහුගේ ගෝලයා වන ජේකස් ලෙ ග්‍රිස් ලෙස ඇඩම් ඩ්‍රයිවර් සහ පියරේ ඩි ඇලෙන්සන් ලෙස බෙන් ඇෆ්ලෙක් පණ පොවති. ජුඩි කොමර් විසින් මාග්‍රට්ගේ චරිතයට පණ පොවන අතර ඍධ් වන චාල්ස් රජුගේ චරිතයට පණ පොවන්නේ ඇලෙක්ස් ලොව්දර් විසිනි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, 'ඒලියන්', 'ග්ලැඩියේටර්', 'බ්ලැක් හෝක් ඩෝව්න්', 'ගැන්ග්ස්ටර්', 'හැනිබෙල්' වැනි අති සාර්ථක සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානනීය අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් විසිනි. රිඩ්ලි ස්කොට්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන 'ඩුවෙලස්ට්' චිත්‍රපටයට (1977) කතා වස්තුව වූයේ ද කැනඩාවේදී සිදු වු පිස්තෝල ද්වන්ධ සටනකි. හොලිවුඩයේ ඔහු පිළිබඳ අවධානය යොමු වූයේ 1979 තිරගත වූ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වන 'ඒලියන්' චිත්‍රපටය සමඟිනි. ලෝක සිනමාවේ සිටින අත්දැකීම් බහුල විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් වන ඔහු බ්‍රිතාන්‍ය සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය උදෙසා 2003 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. 'ද ලාස්ට් ඩුවෙල්' නිර්මාණය කර තිරගත කෙරෙන විටදී රිඩ්ලි ස්කොට් පසුවන්නේ සිය දිවියේ 83 වැනි වියේවීමත් විශේෂතම කරුණකි.

රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරකයන් 240ක ගෙන් 86%ක් 'ද ලාස්ට් ඩුවෙල්' චිත්‍රපටය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.3/10කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙලෙස සඳහන් වේ. "ද ලාස්ට් ඩුවෙල් චිත්‍රපටයේ කාන්තා හිංසනය එතරම් ප්‍රතිඵලදායක අයුරින් ඉදිරිපත් කර නැතත් මෙය වීර කාව්‍යයක ඇති උත්කර්ශවත් බවිනුත් දක්ෂ රංගනයෙනුත් පිරිපුන් චිත්‍රපටයකි".