හිරු නොදුටු උදෑසන තුරු

ඔක්තෝබර් 14, 2021

බටහිර යුරෝපයේ කුඩා රාජ්‍යයක් වන බෙල්ජියමේ, අගනුවර වන බ්‍රසල්ස්හි සිට රුසියාවේ මොස්කව් දක්වා පියාසර කිරීමට නියමිත රාත්‍රී ගුවන් යානයක් සූදානම් වෙමින් පවතී. ඊට ගොඩ වීමට නියමිත මගීහු බ්‍රසල්ස්හි ගුවන්තොටුපළට රැස්වී සිටිති. මේ අතර ඔවුන් ගුවන්තොටුපළ රූපවාහිනියකින් නරඹන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව්වක බිම වැටී විසිරී සිටින මිනිසුන්ගේ සජීවී රූපරාමු ය. රාත්‍රී ගුවන් යානාව ගමනට සූදානම් වන අතර මගීහු ඊට ගොඩ වෙති. මේ අතර ගුවන් යානයට බලහත්කාරයෙන් ගොඩවන්නේ 'ටෙරෙන්සියෝ' නම් වූ වියරු වැටුණු ඉතාලි ජාතික 'නේටෝ' නිලධාරියෙක් ය. රයිෆලයක් අතැති ඔහු නැගෙනහිර දෙසට (යුරෝපයේ සිට රුසියාවට) යාමට නියමිත ගුවන් යානයේ නියමුවා වෙත බලපෑම් කරන්නේ වහාම බටහිර දෙසට ගුවන් යානාව පදවන ලෙසටයි. හිරු එළිය විසින් එය පතිත වන සෑම ස්ථානයකම මිනිසුන් ඇතුළු සියලු ජීවීන් මරා දැමෙන බවක් ඔහු සඳහන් කරයි.

බටහිරට පියාසර කරන ගුවන් යානාව ඉන්ධන සඳහා අයිස්ලන්තයේ ගුවන්තොටුපළක නතර කරන අතර එහිදී ප්‍රවෘත්ති මගින් ටෙරෙන්සියෝ ගේ කතාව සත්‍ය බව ගුවන් කාර්ය මණ්ඩලයට පසක් වේ. වේගයෙන් තමා පසුපස එන 'සූර්යාලෝකය' මඟහරිමින් බටහිර දෙසට පියාඹන ගුවන් යානාවේ එකම අභිප්‍රාය වන්නේ ලොව වටා ගමන් කොට නැගෙනහිර යුරෝපයේ පිහිටි රාජ්‍යයක් වන බල්ගේරියාවේ ඇති ගැඹුරු භූගත බංකරයක් වෙත ළඟා වීමයි.

පෝලන්ත ලේඛක ජැසෙක් ඩුකාජ් විසින් 2015 වසරේ රචිත විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන 'ඕල්ඩ් ඇක්සොලොට්ල්' ආභාසයෙන් ජේසන් ජෝර්ජ් විසින් නෙට්ෆ්ලික්ස් සඳහා නිර්මාණය කරන ලද ‘Into The Night’  (රාත්‍රිය තුළට) බෙල්ජියම් විද්‍යා ප්‍රබන්ධ - නාට්‍යමය - ත්‍රාසජනක - ප්‍රවාහ රූපවාහිනී කතා මාලාව මෙලෙස දිගහැරේ. මෙහි පළමු අදියර මාලාව 2020 මැයි 01 දින නෙට්ෆ්ලික්ස් විසින් මුදා හරි අතර දෙවැනි අදියර 2021 සැප්තැම්බර් මස 08 වැනිදා මුදා හැරිණි. නෙට්ෆ්ලික්ස් විසින් නිර්මාණය කෙරුණු පළමු බෙල්ජියම් ජාතික රූපවාහිනී කතා මාලාව වන මෙය ප්‍රංශ බසින් පළමුව නිර්මාණය වී ඇති අතර ඉංග්‍රීසි ඇතුළු භාෂා හතකට හඬකැවී ඇත. පෝලීන් එටියන්, ලෝරන්ට් කැපුලූටෝ, මෙහ්මෙට් කුර්ටුලුක් සහ බබෙටීඩා සාඩ්ජෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

‘Into The Night’  බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වුණු කතා මාලාවකි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 18 දෙනෙකුගෙන් සියයට 88 ක් අනුමත කර ඇති මේ කතා මාලාවට එහි දර්ශකයේ 8.7/10 ක සාමාන්‍ය අගයක් ලැබී ඇත.