තරු බැලූ චිත්‍රපට

ඔක්තෝබර් 7, 2021

 

කොරොනා වසංගතය හේතුවෙන් නිවෙසටම වී සිටින අප ඔබ සියලුදෙනා කාන්සිය තනිකම නැති කරගැනීමට සහ පෞද්ගලික රසාස්වාදය උදෙසා නිරන්තරයෙන් චිත්‍රපට නරඹන්නට පෙලඹී ඇති වග නොරහසක්. අන්තර්ජාල තාක්ෂණයන් ඔස්සේ ඉතා පහසුවෙන් නැරඹිය හැකි නිසාම මේ කලා මාධ්‍යය අප සැමට ඉතා සමීප වෙලා. ලොක්ඩවුන් කාල සීමාවේ නිවෙසට වී කාලය ගත කරන අතරතුර නැරඹූ චිත්‍රපට ගැන කලාතරුවලින් විමසා ඒවා පාඨක ඔබ සමඟ බෙදාගන්නට අප තීරණය කළා. ඔවුන් නැරඹූ මේ චිත්‍රපට ඔබ නරඹා නැති නම් ඉක්මනින් නරඹන්නට අප ආරාධනා කරනවා.

 

ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟ ඉහළ රසවින්දනයකට

"Man On Fire"

  -දිල්හානි ඒකනායක

මම දවස් කීපයකට කලින් බැලුවා ඩෙන්සිල් වොෂිංටන් රඟපාන ටෝනි ස්කොට් අධ්‍යක්ෂණය කළ"Man On Fire". ඒක ටේන් ස්කොට් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2004දි තිරගත වෙන්නේ. චිත්‍රපටය ටිකක් පරණ වුණත් අපිට ඒක යාවත්කාලීන නිර්මාණයක් විදිහට රසවිඳීන්න පුළුවන් තරමට නැවුම් නිර්මාණයක්. ඩෙන්සිල් වොෂිංටන් කියන්නේ මගේ ප්‍රියතම නළුවා. මම හැමදාම දැකපු දෙයක් තමයි එයා රඟපානවා නම් ඒ චිත්‍රපටය හොඳ නිර්මාණයක්. මේකත් ඒ නළුවා ගැන විශ්වාසය තියලා බලපු චිත්‍රපටයක්. දරුවො පැහැර ගැනීම සහ ඔවුන් එයින් මුදවා ගැනීම වස්තු විෂයය කරගත්ත ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු කතාන්දරයක්. කොහොමත් හොලිවුඩ් චිත්‍රපටවල ප්‍රමිතිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි කැමැති විදිහේ ඉහළ රසවින්දනයක් ලබන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.

 

යථාර්ථය විවේචනාත්මකව කතා කරන චිත්‍රපටයක්

"Trance"


-ප්‍රදීප් ධර්මදාස

මම මේ මෑතකදි බැලුවා "Trance"  කියලා මලයාලම් චිත්‍රපටයක්. එය තිරගත වුණේ 2020දි. අන්වර් රාෂීඩ් කියන අධ්‍යක්ෂවරයා ඒක නිර්මාණය කරන්නේ. ඉන්දියාවේ ආගම්වාදයේ එක් පැතිකඩක් මෙහි කතාබහට ලක්වෙනවා. ආගම මූලික කරගෙන මැජික් බලයෙන් විවිධ ලෙඩ සුව කරන මාෆියාවක් දැන් ලෝකය පුරා පවතිනවා. මෙම චිත්‍රපටයේ වස්තු විෂයය වන්නෙත් එය. එහි පවතින සාවද්‍යභාවය සහ ආගම්වල සැබෑ ස්වරූපයන් මෙහි දරුණු ලෙස විවේචනයට ලක්වෙනවා. ඒ ඉන්ද්‍රජාලික බලයන් කියලා මිනිස්සුන්ට පෙන්වන්නේ පෙර සැලසුමක්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන ෆහාඩ් ෆසීල්ගේ රංගනය විශේෂයි. මලයාලම් චිත්‍රපට බහුතරයක කතා තේමාව වෙනස් පරාසයන්වලට යනවා. අපි නොහිතන කුඩා වස්තු විෂයන්ගෙන් මහා පරිමාණයේ නිර්මාණ ඔවුන් බිහි කරනවා. විශේෂත්වය වෙන්නේ ඒ නිර්මාණකරුවන් ඒවා ඉතාම තාත්වික ලෙස ඉදිරිපත් කිරීමයි. ඒ වගේ යථාර්ථය විවේචනාත්මක ලෙස කතා කරන නිර්මාණ බිහිවීම ගැන සතුටක් තියෙනවා.

 

"සියලුම රංගන ශිල්පීන් බැලිය යුතු චිත්‍රපටයක්

Joker"

-ධනංජය සිරිවර්ධන

මේ කාලේ බලන්න පුළුවන් හොඳම රංගනයක් තියෙන චිත්‍රපටයක් තමයි "බ්ධඬඥප" කියන්නේ. 2019දි එය තිරගත වුණේ එහි ජෝකර් හැටියට ප්‍රධාන රංගනය කරන්නේ වෝකින් ෆීනික්ස්. ටෝඩ් පිලිප්ස් අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය කාරණා දෙකක් නිසා සුවිශේෂී වෙනවා. ජෝකර් කියන්නේ හැමෝම දන්න සුපිරි වීරයෙකු වන බැට්මෑන්ගෙ විරුද්ධවාදියා. ඒත් අපි ජෝකර්ගේ කතාව දන්නේ නැහැ. මේ චිත්‍රපටයෙන් කියන්නේ ඒ ජෝකර්ගේ කතාව. මේ චිත්‍රපටය තුළ ඇමරිකාවේ එක්තරා දේශපාලනයක් පෙන්වන්න උත්සාහ කරනවා.  "Joker චිත්‍රපටයේ අවසානයේ තමයි "Batman"  චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ජෝකර් කියන වෙස් මූණක් දාගත්ත නිර්ධන පන්තියේ මිනිසෙක් තුවක්කුවකින් වෙනත් පන්තියක අවර ගණයේ මිනිසුන් ඝාතනය කරනවා. මෙය තමයි ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. අවසානයේ ඔහු සජීවී අවකාශයක වීරයෙක් බවට පත්වෙනවා. එතැන් සිට ඔහුට විරුද්ධව නැඟී සිටින කෙනා තමයි බැට්මෑන් වෙන්නේ. මෙහි ප්‍රධාන රංගන ශිල්පියා වුණු ජෝකින් ෆීනික්ස්ගේ රංගනය අතිවිශිෂ්ටයි. මේ චරිතය දිහා රංගන ශිල්පීන් සියල්ලෝම අනිවාර්යයෙන්ම බැලිය යුතු රංගනයක් මේක.

 

මගේ ප්‍රියතම චිත්‍රපටය

"Amadeus Mozart"


-සූර්යයා දයාරුවන්

"Amadeus Mozart  කියන්න ඉස්සර ඉඳන්ම මම ආසම චිත්‍රපටයක්. 1984දි එය තිරගත වුණේ. මිලොස් ෆාමර්න් අධ්‍යක්ෂණය කරන්නේ. ඇමඩියස් මෝසාට් කියන ලෝකප්‍රකට සංගීතඥයාගේ චරිත කතාව ආශ්‍රයෙන් ගොඩනැඟුණු චිත්‍රපටයක් ඒක. මම සංගීතයත් එක්ක ඉන්න කෙනෙක් නිසා වැඩියෙන් සංගීතමය චිත්‍රපට බලන්න කැමැතියි. මේකත් ඒ වගේ චිත්‍රපටයක්. අපි හැම වෙලේම කැමැති ජීවිතය දිනපු කෙනෙක්ගෙ ජීවිත කතාවෙන් දේවල් අපේ ජීවිතයට ගන්න. එහෙම චිත්‍රපට නරඹන්නත් ගොඩක් අය කැමැතියි. ඒ චිත්‍රපට බලන වාරයක් වාරයක් පාසා අපේ පෞරුෂත්වයේ අඩුපාඩු හදාගෙන ඉලක්කවලට ආසාවක් ඇතිවෙලා ඒවාට යන්න අභිප්‍රේරණය වෙනවා. මේ මෝසාට් කියන සංගීතඥයා පුංචි කාලෙ ඉඳලම සාමාන්‍ය මට්ටමට එහා දේවල් හිතලා විවිධ අත්හදා බැලීම් කරන කෙනෙක්. පොඩි කාලේ ඉඳලාම ඔහු විවිධ සංගීත රටා අත්හදා බලනවා. ඒ නිසා වැඩිමල් සංගීතඥයන්ට ඔහුව අභියෝගයක් වෙනවා. ඔහුගේ ස්වර ප්‍රස්තාර ඔවුන් පුළුස්සනවා. ඔහුට නිර්මාණකරණයට ඉඩ දෙන්නේ නැහැ. අපි දකින සුපුරුදු සමාජ යථාර්ථය තමයි මේ චිත්‍රපටයේ තියෙන්නෙ. කෙනෙක් ඉහළට එනකොට ඒ කෙනාගෙ කකුලෙන් අදින විදිහ ඇතුළු සමාජයේ විවිධ දේවල් කතා කරන චිත්‍රපටයක් මේක.

 

 අරගල කරන මුරණ්ඩුකාර තරුණයකුගේ කතාවක්

“කර්ණන්”
 

-සමනලී ෆොන්සේකා

2021 තිරගත වුණු චිත්‍රපට අතරින් වැඩිපුරම මගේ සිත් ගත්ත චිත්‍රපටිය වෙන්නේ "කර්ණන්". මාරි සෙල්වරාජ් එය අධ්‍යක්ෂණය කරන්නේ ඒක දෙමළ චිත්‍රපටයක්. මම පොඩි කාලේ ඉඳලාම දෙමළ චිත්‍රපට බලන්න ආසයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ දනුෂ්. දනුෂ්ගෙ චිත්‍රපට බලන්න මම කොහොමත් කැමතියි. ඉතාම පොඩි කතා තේමාවක් ආශ්‍රය කරගෙන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉන්දියාවේ කුලය නිසා ආන්තිකකරණය වෙච්ච පිටිසර ගමක කතාවක් මේක. මේ ගම හරහා එක බස් එකයි යන්නේ. මේ ගමේ මිනිස්සු නඟින තැනෙන් විතරක් ඒ බස් එක නතර කරන්නේ නැහැ. ඒ වෙන අසාධාරණයට ගමේ මිනිස්සු එරෙහි වන හැටි තමයි මේ කතාව. ඒ අරගලය පටන්ගන්නෙ එක මුරණ්ඩුකාර තරුණයෙක්ගෙන්. ඒ තමයි කර්ණන්. මෙහි චරිත භාවිත කරලා තියෙන විදිහත් හරිම ලස්සනයි. හැම චරිතයකටම ආවේණික වුණු සුවිශේෂත්වයක් තියෙනවා. ඒ චරිත හරි ස්වාධීනයි. ඒ වගේම මේ චිත්‍රපටයේ සංගීතය, කැමරාකරණය, සංස්කරණය මේ සියල්ලම ඉතා අනර්ඝ තැනක තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙමළ චිත්‍රපටවල දකින්නෙ යථාර්ථය. ඒත් මේ කතාව පුරා ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වගේ එකක් දිව යනවා. ඒත් ඒක චිත්‍රපටයට ආගන්තුක වුණේ නැහැ. ඒක හරිම ලස්සනට භාවිත කරලා තිබුණා.

 

 

ප්‍රතිවීරයන් වීරයන් වුණු

"The Suicide Squad"


-සජිත අනුත්තර

මම මෑතකදිම බලපු චිත්‍රපටය “The Suicide Squad".  ඒක මේ වසරේදී තිරගත වෙන්නේ. ජේම්ස් ගන් එය අධ්‍යක්ෂණය කරන්නේ. ලොක්ඩවුන් කරන්න කලින් සිනමාශාලාවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව චිත්‍රපට තිරගත කරන කාලේ මම ගිහිල්ලා බලපු චිත්‍රපටයක් මේක. සාමාන්‍යයෙන් චිත්‍රපටයක වීරයා සහ ප්‍රතිවීරයා කියලා චරිත දෙකක් තියෙනවා. මේ චරිතවලින් හැමෝම ආදරය කරන්නේ ප්‍රතිවීරයන්ට. මේ චිත්‍රපටයේ වීරයෝ නැහැ. ඉන්නේ ප්‍රතිවීරයෝ. බන්ධනාගාරගතව ඉන්න ප්‍රතිවීරයෝ කීපදෙනෙක්ව හමුදාව විසින් යම් යම් මෙහෙයුම් කිහිපයකට භාවිත කරනවා. ඒවා මරාගෙන මැරෙන මෙහෙයුම්. ඒ මෙහෙයුම්වලදී ඔවුන්ට ජීවිතය හෝ මරණය තෝරගන්න වෙනවා. බන්ධනාගාරගතව ඉන්නෙ කොහොමත් මරණය උරුමය අය නිසා ඔවුන් මේ අභියෝගය භාරගන්නවා. ප්‍රතිවීරයන්ව ප්‍රේක්ෂකයාගේ හිත තුළ වීරයෝ බවට පත්කරන එය ලෙහෙසි පහසු නැහැ. මේ චිත්‍රපටය අවසානයේ ප්‍රේක්ෂකයා ප්‍රතිවීරයාට ආදරය කරනවා. ප්‍රතිවීරයන් එතැනට පත් වන්න හේතුව පෙන්වලා අවසානයේ ඔවුන්ව ආදරෙන් වැලඳගන්න හිතෙන විදියට මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා.

හේතුව පෙන්වලා අවසානයේ ඔවුන්ව ආදරෙන් වැලඳගන්න හිතෙන විදියට මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා.