මේ දිනවල ලොවම කතාකරන

Money heist
සැප්තැම්බර් 30, 2021

 

 

අසාර්ථක බැංකු මංකොල්ලයකින් කලකිරුණු තරුණ හෙරක් මහමගදී නන්නාඳුනන තැනැත්තෙකු විසින් මුණගැසෙනු ලැබේ. වැදගත් ලෙස හැඳ පැලඳ සිටින මේ පුද්ගලයා තමා හඳුන්වාදෙනු ලබන්නේ ‘ර්‍ථපධටඥඵඵධප’ හෙවත් ‘මහාචාර්ය’ යන නමින්. තමන් තරුණිය සොයා පැමිණ ඇත්තේ ඇයට සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බව මහාචාර්යවරයා පවසයි. මුලදී අකැමැති වන මුත් පසුව ඊට කැමැත්ත පළ කරන තරුණිය මහාචාර්ය විසින් කැඳවාගෙන යනු ලබන්නේ පිටිසර වතුයායක පිහිටි හුදෙකලා බංගලාවකටය. එහිදී ඇය මෙන්ම තවත් වෘත්තීමය සොරුන් සත් දෙනෙකු මෙම තරුණියට මුණ ගැසෙයි. මොස්කව්, බර්ලින්, නයිරෝබි, රියෝ, ඩෙන්වර්, හෙල්සින්කි සහ ඔස්ලෝ යන ලෝපුරා නගර නාමයන්ගෙන් මොවුන් නම් වන අතර තරුණියට 'ටෝකියෝ' යන නම ලැබේ. මහාචාර්ය විසින් පිළිගැන්වෙන ව්‍යාපෘතියේ පළමු නීතිය වන්නේ කිසිවෙකුට, කිසිවිටෙකත්, තම තමන්ගේ කිසිදු පෞද්ගලික විස්තරයක් අනාවරණය නොකිරීමයි.

මහාචාර්ය ඔහුගේ සැලසුම සොරමුලට පිළිගන්වයි. ඒ අනෙකක් නොව ස්පාඤඤයේ, මැඩ්රිඩ් හි 'රෝයල් මින්ට්' නම් වූ මුදල් නෝට්ටු මුද්‍රණාගාරය වටලමින් යූරෝ බිලියන ගණනක් සොරකම් කිරීමයි. ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු කිරීමට නියමිත වුවද මෙම මහා පරිමාණ සොරකම දියත් කිරීමට ප්‍රථම මාස පහක කාලයක් තිස්සේ ඒ සඳහා සූදානම් විය යුතු වේ. දින - සති වී, සති මාස වී සොරකම දියත් කරන දිනය ඇරඹෙයි. සොර මුලේ සියල්ලෝම එකම විලාසයකින් එනම් ස්පාඤඤ ජාතික චිත්‍ර ශිල්පියෙකු වන සැල්වදෝර් ඩාලිගේ වෙස්මුහුණක් ද සහිතව රතු පැහැති 'ජම්ප්' ඇඳුම් ද ඇඳගෙන රෝයල් මින්ට් ගොඩනැගිල්ලට ඇතුළු වන අතර එහිදී ප්‍රාණ ඇපකරුවෝ 67 දෙනෙකුද යටත් කර ගනිති. මේ අතර සොරමුලේ ක්‍රියාදාමය අදියරක් පාසා නිරීක්ෂණය කරමින්ද අවැසි පරිදි උපදෙස් දෙමින්ද ගොඩනැගිල්ලට පිටත රහසිගත ස්ථානයක සිට ඊට තම බුද්ධිය සූක්ෂ්මව යොදවා, සියලු කැපකිරීම් කරමින් ඊට සහාය දක්වන්නේ මෙහෙයුමේ මහා මොළකරු - මහාචාර්ය ම වේ .

ඇලෙක්ස් පිනා විසින් නිර්මාණය කරන ලද, නෙට්ෆ්ලික්ස් හි වැඩිපුරම නරඹන ලද 'මනී හයිස්ට්' හෙවත් 'ලා කැසා ද පැපල්', ස්පාඤඤ බසින් ප්‍රථමයෙන්ම තිරගත වූ අපරාධ - නාට්‍ය රූපවාහිනී කතා මාලාව මෙලෙස ඇරඹේ. උක්ත සොරකමට හවුල් වන ටෝකියෝ නම් තරුණියගේ දෘෂ්ටි කෝණයෙන් කියැවෙන මේ කතාව අදියර තුනකින් සමන්විත ය. 2017 වසරේ පළමු අදියරද, 2019 දී මෙහි දෙවැනි අදියරද විකාශය වූ අතර දෙවැනි තෙවැනි අදියර 2021 සැප්තැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මුදාහරිනු ලබනු ඇත. අර්සුලා කෝබර් (ටෝකියෝ), අල්වාරෝ මොර්ටේ (මහාචාර්ය), ඉට්සියාර් ඉතුනෝ, පේද්‍රෝ ඇලොන්සෝ, පැකෝ ටෝස්, ඇල්බා ෆ්ලෝරස්, මිගෙල් හෙරෝන්, ජෙයිම් ලොරෙන්ට්, එස්තර් ඇසෙබෝ, සහ එන්රික් ආර්ස් ඇතුළු පිරිස මෙහි චරිත නිරූපණය කරති.

46 වන ජාත්‍යන්තර එමී සම්මාන උලෙළේදී හොඳම නාට්‍ය මාලාව සඳහා වූ අන්තර්ජාතික එමී සම්මානය දිනාගත් මනී හයිස්ට්, සහ එහි අන්තර්ගත කුමන්ත්‍රණයේ සංකීර්ණත්වය, අධ්‍යක්ෂණය සහ ස්පාඤ්ඤ රූපවාහිනීකරණය නව මඟකට යොමු කිරීම හේතුවෙන් විචාරක පැසසුම් ද දිනා ගත්තේය. නාට්‍ය මාලාව පුරා බොහෝ විට වාදනය වූ ඉතාලි ෆැසිස්ට් විරෝධී ගීතයක් වන "බෙලා සියාඕ", 2018 දී යුරෝපය පුරා අතිශය ජනප්‍රියත්වයක් දිනාගත් අතර, මෙම නාට්‍ය මාලාව 2018 වසරේ ලොව පුරා වැඩිම පිරිසක් නරඹන ලද '(ඉංග්‍රීසි නොවන) වෙනත් බසකින් තිරගත වූ' නාට්‍ය මාලාව බවට පත් විය.