එන්න චිත්‍රපට බලමු

සැප්තැම්බර් 30, 2021

RESPECT

අමෙරිකානු කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගායිකාවක වූ අරීතා ෆ්‍රෑන්ක්ලින්ගේ චරිතාපදානය රෙස්පෙක්ට් චිත්‍රපටයට පාදක වනවා. එය සංගීතමය චිත්‍රපටයක්. ලීස්ල් ටොමී නම් කළු ජාතික සිනමාකාරිණිය මෙය අධ්‍යක්ෂණය කළා. අරීතාගේ චරිතය නිරූපණය කරන ජෙනිෆර් හඩ්සන්ගේ රඟපෑම ලොව පුරා විචාරකයන්ගේ අවධානය බෙහෙවින් දිනා ගත්තා. ෆොරෙස්ට් වයිට්කාර්, මාලන් වයාන්ස්, ඕඩ්‍රා මැක්ඩොනල්ඩ් වැනි නළු නිළියන් රැමසක් චරිත මවන මෙහි ඇයගේ ළමා වියේ සිට අන්තර්ජාතික තලය දක්වා විහිදෙන කාලය තුළ සංගීත දිවිය, පෞද්ගලික ජීවිතය හොඳීන් ග්‍රහණය කර ගන්නවා. මෙහි පියා සහ දියණිය අතර ඇති සබඳතාව මෙරට බොහෝ සුලබ අත්දැකීමක්.

ධාවන කාලය - මිනිත්තු 145 - වසර 2021

SUBMISSION

ඔහු දක්ෂ ලේඛකයෙක්. එමෙන්ම හොඳ සැමියෙක්. වැදගත් ගුරුවරයෙක්. දස වසරකට පසු ඔහු මහාචාර්යවරයෙක්. ඔහුගෙන් නවකතාකරණය ගැන හදාරන එක් සිසුවියක් වනුයේ ඇන්ජලා ආර්ගෝ. එක් දවසක ඇය විශ්වවිද්‍යාල බලධාරින්ට දන්වා සිටිනුයේ මේ මහාචාර්යවරයා තමන්ට අතවර කළ විත්තියයි. ඔහුගේ ගෞරවය, පවුල් දිවිය ආදි සියල්ල සුනු විසුනු වනවා. එහෙත් මේ සියල්ල සත්‍ය ද යන්න තීරණය කිරීම නරඹන ඔබට බාර කරනවා. දිනන්නට කෙටි මං සොයන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ අනාවරණය කරන චිත්‍රපටය ගැන කියන්නේ මේ අත්දැකීම් මෙරට පවා සුලබ එකක් බැවින්. ස්ටැන්ලි ටුෂි, ඇඩිසන් ටිම්ලන්, කයිරා සෙඩ්විජ්ක් ආදින් චරිත මවන මේ චිත්‍රපටය රිචඩ් ලෙවින්ගේ අධ්‍යක්ෂණයක්.

ධාවන කාලය - මිනිත්තු 106 - වසර 2017

KSHUDISTA PASHAN

පැරැණි සම්භාවනීය සිනමා කෘතින් රස විඳීන්නට කැමැති අපේ ප්‍රේක්ෂකයන්ට මෙවර තෝරා ගත්තේ 1959 වසරේ තිර ගත වූ බෙංගාලි චිත්‍රපටයක් වන ක්ෂුදිෂ්ඨ පශාන් නම් චිත්‍රපටයයි. පුරෝගාමී සම්භාවනීය සිනමාකරුවකු වන තපාන් සිංගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයට පාදක වනුයේ රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ කතාවක්. බ්‍රිතාන්‍ය පාලන යුගයේ එක් ගම්මානයකට රාජ්‍ය නිලධාරියකු පැමිණෙනවා. ඔහුගේ නිල නිවහන වනුයේ පැරැණි මන්දිරයක්. මේ නිවහනේ දී ඔහුට සුරූපී යුවතියක් මුණ ගැහෙනවා. ඇයගේ ආදරය ඔහුගේ ජීවිතයේ නොසිතූ විපර්යාසයකට යොමු කරනවා. සෞමිත්‍ර චැටර්ජි, අරුන්දතී දේවී, රාධාමොහාන් බට්ටාචාර්ය, චබී බිස්වාස්, ආදි ජනප්‍රිය බෙංගාලි නළු නිළියන් රැසක් මෙයට දායක වුණා.

ධාවන කාලය - මිනිත්තු 117 - වසර 1960

TUCK JUGDISH

භූදේවිපුරම් කියන්නේ තෙළිඟු බස කතා කරන මිනිසුන් වාසය කරන ගමක්. එහි වෙසෙන අධිශේෂ නායිදුගේ දරුවන් පස් දෙනෙක්. වැඩිමහල් පුතුන් එක් මවකගේ. බාල දියණියන් දෙවැනි භාර්යාවගේ. බාල පුතා ජග්දිශ් කුඩම්මාට තමන්ගේ මව මෙන් ආදරෙයි. එහෙත් ලොකු අය්යාගේ හිතේ අදහස වෙස් එකක්. මේ අතරවාරයේ ගමේ පරම්පරාගත වෛරයක් තියෙන නෑ පවුලක් ඉන්නවා. ජග්දීශ් පළාතේ ඉහළ තනතුරකට පත්ව එනවා. නානි, රිතූ වර්මා. ජගපති බාබු, අයිශ්වර්යා රාජේශ්. නසාර්, ඩැනියෙල් බාලාජි ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ටක් ජග්දිශ් පවුලේ කතාන්දරයක්. අධ්‍යක්ෂණය ශිවා නිර්වාණ.


ධාවන කාලය - මිනිත්තු 146 - වසර 2021

CINDERELLA

පුංචි කාලේ ඉඳන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කතා අතර සින්ඩරෙල්ලා කතාවත් එකක්. මේ සින්ඩරෙල්ලා කතාව පාදක කරගෙන තැනුණු අලුත්ම චිත්‍රපටය. ඉතාම විශිෂ්ට ගණයේ සංගීතමය චිත්‍රපටයක්. අපි අහල තියෙනවාට වඩා යම් ආකාරයකට කතාව වෙනස් කරලා තියෙනවා. හැබැයි කුමාරයාත් කුඩම්මාගේත් ඇගේ දියණියන් වූ වැඩිමහල් අක්කලාගේත් දුෂ්ටකම්වලට භාජනය වන අඟුරුකාර කෙල්ල නැත්නම් සින්ඩරෙල්ලා ඉන්නවා. රජ මාලිගාවේ සාදයත් තිබෙනවා. ඉතින් කතාව කොහොමද වෙනස් වෙන්නේ. ඉතින් බලන්නම ඕනෑ. කිසිවිටෙකත් එය නරඹන්න යන කාලය නිකරුණේ යෑමක් නොවෙයි. කැමිලා කැබලෝ, නිකෝලස් ගොල්ට්සයින් , ඉඩිනා මෙන්සල් සමඟ මෙහි රජුගේ චරිතය රගපානුයේ පැරණි ජේම්ස් බොන්ඩ් නළුවකු වූ පියර්ස් බ්‍රොස්නන්. කේ කැනොන්ගේ සිනමා කෘතියක්.

ධාවන කාලය- මිනිත්තු 113 - වසර - 2021

ADHYARATHRI

ඔය කොයි ලෝකේ වුණත් මඟුල් කපුවන්ට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ වගේම තමයි කොයි මඟුල වැරදුණත් අන්තිමට කපුවා කපෝති. කේරළයේ කුත්තණ්ඩි කියන ගමේ ජීවත් වූ මනෝහරන් මඟුල් කපුවෙක්. මිනහා කපුවෙක් වෙන්නේ අවුරුදු විසි දෙකකට කලින් පවුලට වුණ අවනම්බුවක් එක්ක. කොහොම වුණත් අනුන්ට මඟුල් හොයපු මනුස්සයට මනමාලයෙක් හොයන්න පැවරෙන්නේ ශලිනිගේ දුව ආශ්විතිට. ශලිනි කියන්නේ මනෝහරන්ගේ පැරැණි පෙම්වතියක්. ජිබු ජාකොබ් කියන මේ මලයාලම් සිනමාකරු තැනූ මේ චිත්‍රපටය හිනාවෙවි නරඹන්න පුළුවන් . බිජු මෙනන්, මනෝජ් ගිනස්, අජු වර්ගේෂ්, අනස්වරා රාජන්. ආදින් මෙහි චරිත මවනවා.

ධාවන කාලය - මිනිත්තු 119 - වසර 2019

WAY DOWN

හොරකමක් කරනවා නම් එයට ඉතා හොඳ සැලසුමක් තිබිය යුතුයි. නැත්නම් එය අනිවාර්යයෙන් අහුවෙනවා. ස්පාඤ්ඤය කියන්නේ පාපන්දු ක්‍රීඩාවට පිස්සු වැටුණු රටක්. පැරැණි බ්‍රිතාන්‍ය දේශ ගවේෂකයකු වහල් වෙළෙන්දකු වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රේක්ට අයත් යැයි සැලකෙන මිළ කළ නොහැකි රන් කාසි තුනක් ස්පාඤ්ඤ බැංකුවකින් පැහැර ගැන්මට යොදා ගන්නා සැලසුම ක්‍රියාත්මක වනුයේ එබඳු ක්‍රිඩා තරගයක් තිබෙන දවසක. ඉහළම ත්‍රාසජනක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. ජෝම් බැලගුවේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද වේ ඩවුන් චිත්‍රපටයේ ෆ්‍රෙඩී හයිමෝ, ඇස්ට්‍රිඩ් බර්ග්ස්, සෑම් රිකී වැනි නළු නිළියන් චරිත මවනවා.


ධාවන කාලය - මිනිත්තු 118 - වසර - 2021
 

THE LAST MERCENARY

ශාන් ක්ලෝඩ් වෑන් ඩෑම් කියන්නේ අසූව දශකයේ හා අනුව දශකයේ සිනමාලෝලින්ට මඟහරින්න බැරි සටන්කාමී සිනමා තරුවක්. හාඩ් ටාගට් නෝ ට්‍රීට් නෝ සරෙන්ඩර් , බ්ලඩ්ස්පොට් වගේ චිත්‍රපට රැසක් ඔහු ගැන තවමත් මතකය අවදි කරනවා. දිගු කලකට පසු ඔහුගේ අලුත් චිත්‍රපටයක් ඔබ හමුවට ඇවිත්. මේ සටන්කාමී චිත්‍රපටය හාස්‍යයෙන් පිරි ප්‍රංශ භාෂිත චිත්‍රපටයක්. ඒ වගේමයි වෑන් ඩෑම්ගේ පැරැණි සටන් කලාව. ගෝතමාලාවේ රහස් රාජකාරියක නිරත වීමෙන් පසු මේ කතාවේ එන පැරැණි රහස් පරීක්ෂකයා ප්‍රංශයට එන්නේ ඔහුගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමක් සමඟ පැටලීම හේතුවෙන්. මේ පුත්‍රයා ඔහුට කිසි කලෙක හමුව නැහැ. ඇල්බන් අයිනොව්, එරික් ජූඩා, පැට්‍රික් ටිම්සිට් ආදින් රැඟපාන මෙහි අධ්‍යක්ෂණය ඩේවිඩ් චාරොන්ගෙන්.

ධාවන කාලය- මිනිත්තු 110 - වර්ෂය - 2021

MISS INDIA

ජීවිතය තනිවම ගැහැනු ළමයෙක් දිනනවා කියන එක සෙල්ලමක් නොවේ. මාන්සා සෞම්‍යක්තා සුරූපී යුවතියක්. ඇය අමෙරිකාවට යන්නේ ඉගෙන ගන්න. ඒ විතරක් නෙවේ. ඉගෙන ගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාත්ම කරන්නට. සෙල්ලමක් නොවේ. මුලින්ම අධෛර්යමත් කරාවි. සමහර විට බිම දමාවි. හැබැයි ඉදිරියට යන කෙනා යනවාමයි. මාන්සාටත් එමෙයි. ඉන්දියාවේ අන්ද්‍රාවේ ඉපිද තෙළිඟු බස කතා කරන මේ යුවතියගේ ඉලක්කය සාර්ථක ව්‍යාපාරිකාවක් වන එක. එය ඇයගේ පවුලේ උගත් නෑයන්ට වඩා වෙනස් ක්‍රමවේදයක්. මිස් ඉන්ඩියා අපූරු නිර්මාණයක් වනුයේ ඒ නිසා. කීර්ති සුරේෂ්, ජගපති බාබු, රාජේන්ද්‍ර ප්‍රසාද්, නරේශ්, ආදි නළු නිළියන් රැසක් රඟපාන මේ තෙළිඟු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය නරේන්ද්‍ර නාත්ගෙන්.

ධාවන කාලය - මිනිත්තු 138 - වසර 2020

THE LAUNDROMAT

මුදල් විශුද්ධිකරණය කියන්නේ ලෝකයේ කොයි රටක වුවත් දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි ලොව පුරා දේශපාලකයන් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තේ යෙදෙනවා. මේ චිත්‍රපටයේ හැටියට මේ චිත්‍රපටය අධ්‍ක්ෂණය කළ සම්භාවනීය සිනමාකරු ස්ටීවන් සෝඩාබර්ග් පවා මේ ව්‍යාපාරයට හවුල් වෙනවා. එලන් මාටින් නම් කාන්තාව නිවාඩුව ගත කරන්නට යද්දි සිදුවන අනතුර ඇයගේ ජීවිතය උඩු යටිකුරු කරලනවා. රක්ෂණ, මුදල් ආයෝජන ඇතුළු ව්‍යාපාර ගණනාවක් පිළිබඳ ප්‍රහසනාත්මක චිත්‍රපටයක් වූ මේ අපූරු චිත්‍රපටය කුප්‍රකට පැනමාවේ ඇති ආයෝජන ගනුදෙනු පිළිබඳ කියා පානවා. එපමණක් නොව එය ඇමරිකාවට පමණක් නොව ලෝකය දෙසම උපහාසයෙන් බලන්නක්. විශිෂ්ට සිනමා නිළියක වන මෙරිල් ස්ට්‍රිප් මෙහි එලන් ලෙස පමණක් නොව ඇයගේ නියම නමින් පෙනී සිටිනවා. ගේර් ඕල්ඩ්මන්, ඇන්ටෝනියෝ බන්ඩේරාස්, ෂැරොන් ස්ටෝන් වැනි එහි රඟපාන නළු නිළියන්ගේ නාමාවලියෙන්ම චිත්‍රපටය ගැන ඔබට අවබෝධයක් ඇති කරගත හැකියි. ඇත්තත් බොරුවත් දෙක එකවර දෝලනය කරන මේ චිත්‍රපටය ඔබට දිගු කලකට අමතක වන එකක් නැහැ.

ධාවන කාලය - මිනිත්තු 95 - වසර 2021