MAANAGARAM

අගෝස්තු 26, 2021

 

 

ඔහු චෙන්නායි නගරයට එන්නේ අනේක විධ බලාපොරොත්තුවෙන්. ඔහුගේ පෙම්වතියගේ මාර්ගයෙන් ලැබුණ රැකියාව ගන්නට. එදා හවස අවන්හලකදී ඔහුට සිදුවනුයේ නොසිතූ දෙයකට මුහුණ පාන්නට. ඒ මැර ප්‍රහාරයකට මුහුණ දෙන්න. එපමණක් නොව ඔවුන් ඔහුගේ විභාග සහතික ඇතුළු සියල්ල පැහැර ගනු ලබනවා. ඔවුන් ඔහුගේ මුදල් කොල්ල කාගෙන විභාග සහතික ටැක්සියක පසු අසුනට විසි කරනවා. ටැක්සිය අයිති පළාතේ වැදගත් ජීවිතයක් ගත කරනු ලබන ඉහළ පෙළේ මැරවරයෙකුට. මැරයන්ගේ ඉලක්කය මේ තරුණයා නොවෙයි. හැබැයි ඔවුන්ගේ ඉලක්කය වන තරුණයා නගරයේ අලුතින් ආ තරුණයාගේ රැකියා ස්ථානයේ මානව සම්පත් කළමනාකරිණියගේ පෙම්වතායි. ඔහුට රැකියාවක් නැහැ. ඔවුන් හදුනන්නේත් නැහැ. ඒ අතරවාරයේ ටැක්සිය එදා ආයතනයට බැඳුණ රියැදුරෙකු අතට පත්වෙනවා. ඒ අතර වාරයේ පාසලක ළමයෙක් පැහැර ගනුයේ කප්පමක් ගන්නට. එහෙත් වැරැදීමකින් පැහැර ගනු ලබනුයේ මැර නායකයාගේ දරුවා. මේ හතර අතේ පැටලුණ කතාව විටෙක ත්‍රාසයෙන් මෙන්ම සිනහවෙන් ද උතුරා යන සුලුයි. පොඩ්ඩක්වත් ඇහැ එහාට මෙහාට ගත්තොත් කතාව පැටලෙනවා. මේ වසරේ මාස්ටර් චිත්‍රපටය තැනූ ලෝ‌කේශ් කනගරාජ් හැදූ මානගරම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට නම් නැහැ. ශ්‍රී , සන්දීප් ක්‍රිෂන් , රෙජිනා කැසන්ඩ්‍රා, චාලි, මධුසුධාන් රාඕ ඇතුළු නළු නිළියන් රැසත් චරිත මවනවා. හොඳ දෙමළ චිත්‍රපටයක්.

 

 

CHENNAI EXPRESS

 

මේ දවස්වල නෙට්‌ෆ්ලික්ස් ධාරාවේ ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට දහයට ඇතුළත් වෙලා තියෙන්නේ මෙයට අවුරුදු අටකට කලින් තිර ගත වුණු චිත්‍රපටයක් වූ චෙන්නායි එක්ස්ප්‍රස්. ෂාරුක් ඛාන් එහෙමත් නැත්නම් හතළිස් හැවිරිදි රාහුල් නම් තනිකඩ රසකැවිලි වෙළෙන්දා මුම්බායි නගරයෙන් දුම්රියට නඟින්නේ යාළුවන් එක්ක විනෝද සවාරියක් යන්න. හැබැයි ගෙදරට කියන්නේ සිය මුත්තනුවන්ගේ අවසන් ඉල්ලිම වූ ඔහුගේ භෂ්මාවශේෂ කන්‍යාකුමාරියේ මුහුදට එහෙම නැත්නම් ඉන්දියාවේ පහළ කෙලවරට ගෙනිහින් දානවා කියලා. ඔහු නඟින්නේ චෙන්නයි බලා දිවෙන චෙන්නායි එක්ස්ප්‍රස් දුම්රියට. මේ දුම්රියට අහම්බෙන් ගොඩවෙන්නේ මීනා ලෝචනා අලගසුන්දරම් නැති නම් මීනම්මා නම් දෙමළ යුවතිය. ඇය දාමරිකයකු මෙන්ම ගම් ප්‍රධානියකුගේ දියණියක්. බලපු අයට යළිත් රස විඳීන්නත් අවස්ථාවක්. ෂාරුක් සමඟ දීපිකා පදුකොන් සත්‍යරාජ් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය රොහිත් ෂෙට්ටි ගෙන්.

 
THE WOMAN IN THE WINDOW

ළමා මනෝ වෛද්‍යවරියක වන ඇනා වෙසෙන්නේ තනිවම. මහල් නිවාසයක. ඇයගේ සැමියා වෙන්ව ගොසින්. ඇයට එක් දියණියක් ඉනන්වා. ඒ මදිවාට ඇනා දිනපතා ඖෂධ රාශියක් ගිල දමන්නට පුරුදු වෙලා. මත් පැනට ලෝලියි. ඉහළ මාලයක වෙසෙන ඇයගේ පුරුද්ද තම දුර දක්නය මඟින් වටපිටාව නිරික්ෂණය කිරිම. එයත් රෝගයක් තමා. ඒ අනියත බියකින් පෙළීම. දෙවැනි මහලේ සිටින රසල් පවුලේ සාමාජිකයන් ඇයගේ නිරික්ෂණයට අසුවෙනවා. මේ අතරවාරයේ එක් දිනක රසල් මහත්මිය ඇයගේ තරුණ පුතු සමඟ මේ නිවහනට එනවා. ඉතා ජනප්‍රිය සිනමා තරු රැසක් රඟපාන ද වුමන් ඉන් ද වින්ඩෝ ත්‍රාසජනක කතා පුවතක්. ඇමී ඇඩම්ස්, ගෙරී ඕල්ඩ්මන් , ජුලියානා මුවර්, ජෙනිෆර් ජේසන් ලේ, වියාට් රසල් ඇතුළු නළු නිළියන් රුසක් රඟපාන මෙහි අධ්‍යක්ෂණය ජෝ රයිට්ගෙන්. මේ සඳහා පාදකව ඇත්තේ ඒ.ජේ,ෆින්ගේ නවකතාවක්.

 

MALIK

අලි කියන්නේ කේරළයේ මුහුදු බඩට වන්නට පිහිටි රාමදාපල්ලි ධීවර ගම්මානයේ වෙසෙන පාතාලයේ ගෝඩ්ෆාදර් කෙනෙක්. ඔහු මුස්ලිම්. භාර්යාව කතෝලික. මහලු වියට පත්ව සිටින අලි මක්කම වනදනාවේ යන්නට සැරසෙද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගනු ලබනවා. ඒ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාවට. අලිගේ හොඳම මිතුරා දේශපාලකයෙක්. ඒ වගේම අලිගේ පැරැණි සගයා එමෙන්ම මස්සිනා වූ ඩේවිඩ්, අලි සමඟ වෛරයෙන් පසුවනවා. මේ අත් අඩංගුවට ගැනීම පසුපස දේශපාලනය මෙන්ම පාතාලයේ එකිනෙකා මරා ගැනීමත් තිබෙනවා. පාසැලේ සිට බෝම්බයක් දමා ගසා ඩේවිඩ්ගේ පුත්‍රයා අත්අඩංගුවට පත්වෙනවා. මහේෂ් නාරායන් නම් සුප්‍රකට මලයාලම් සිනමාකරු නිර්මාණය කළ මලික්, පාතාලය දේශපාලනය පිළිබඳ අපි නොසිතන මායිමකට අප ගෙන යනවා. චිත්‍රපටය තරමක් දිග වැඩියි. හැබැයි ඒ ගැන එතරම් දැනෙන එකක් නැහැ. ගෝඩ් ෆාදර්, නායකන් වගේ චිත්‍රපටවලට ඔබ කැමැති නම් මලික් ඔබට අලුත් අත්දැකීමක් වේවි. ෆරාඩ් ෆාසිල්, නිමිෂා සාජයන්, විනේ ෆෝර්ට්, සලීම් කුමාර් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවනවා.

 

PHOTOGRAPH

මුම්බායි නගරයේ ජීවත් වන රා‌ෆි ඡායාරූප ශිල්පියෙක්. මුම්බායි ගේට් අසල ජීවත් වන ඔහු එහි එන යන අය ඡායාරූපගත කොට විකුණා මුදල් හොයනවා. එයින් ඔහුත් ඔහුගේ මහලු මිත්තනියත් ජීවත් වනවා. මිත්තනියගේ එකම සිහිනය තම මුණුපුරාට හොඳ තැනකින් පෙළවාසියක් කරදීම. එක් දිනක එතැනට එන මිලෝනි නම් සුරූපී යුවතියගේ ඡායාරූපයක් ඔහු විසින් ලබා ගන්නේ ඇගේ කැමැත්ත ඇතිව. එපමණක් නොවේ මේ යුවතිය සිය පෙම්වතියයැයි සිය මිත්තනියට හඳුන්වා දෙනවා. මිලෝනිත් මේ රැවටීමට එකඟ වෙනවා. ඇය ශිෂ්‍යාවක්. කලකට ඉහත ලන්ච් බොක්ස් නම් අපූරු සිනමා කෘතිය නිර්මාණය කළ රිටේෂ් භාතියා අධ්‍යක්ෂණය කරන ලද ෆොටෝග්‍රා‌ෆ් අපූරු සිනමා අත්දැකීමක්. නවසුද්දින් සිද්දික් හා සාන්‍යා මල්හෝත්‍රා මෙහි චරිත නිරූපණය කරනවා.

 

NEEL AKASHER NEECHEY

මේ චිත්‍රපටය වෙනම අත්දැකීමක්. මේ විශිෂ්ට බෙංගාලි චිත්‍රපටය ම්‍රිනාල් සෙන් නම් ලෝ ප්‍රසිද්ධ වංග සිනමාකරු විසින් නිර්මාණය කරන ලද්දේ 1958 වසරේ. ඒ අවදියේ අතිශය ජනප්‍රිය වූ මේ චිත්‍රපටය ම්‍රිනාල් සෙන් නාමය ඉහළින් ඔසවා තැබුවා. දශක ගණනාවකට පසුව වුවත් එහි රසය, අගය නම් අඩුවක් නැහැ. මේ චිත්‍රපටයට පාදක වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ කල්කටාවේ රෙදි පිළි වෙළෙඳාමේ යෙදෙන චීන වෙළෙන්දෙකුගේ කතාව. අපේ රටේත් ඒ වගේ චීන වෙළෙන්ඳුන් සිටියා. පසුව සමහරු මෙහිම පදිංචි වුණා. මේ චීන වෙළෙන්දා වෙන චීනුන් වගේ ඉන්දියාවට අබිං ගෙනාවේ නෑ. ඔහු එබඳු වෙළෙදාම් ප්‍රතික්ෂප කළා. දේශපාලන කැරලිකරුවකු වූ නීතිඥයකුගේ භාර්යාව බසන්තිට ඔහු ආදරය කරනුයේ තම සහෝදරියක සේ සිතා ගෙන. එක් අවස්ථාවක බසන්ති සිර බාරයට ගනු ලබනවා. ඒ දේශපාලන හේතු මත. කොහොම වුණත් ම්‍රිනාල් සෙන්ගේ මේ චිත්‍රපටය මුලින් බටහිර බෙංගාල සිනමා ප්‍රදර්ශක මණ්ඩලය මඟින් තහනම් කළත් පසුව එයට අවසර දෙනවා. දැන් මේ චිත්‍රපටය ඔබට යූටියුබ් ඔස්සේ නැරඹිය හැකියි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ සුප්‍රකට ගායක හේමන්ත් කුමාර් වීමත් විශේෂත්වයක්.

 

 
PETERLOO

සම්මානනීය බ්‍රිතාන්‍ය සිනමාවේදී මයික් ලේ විසින් නිර්මාණය කරන ලද පීටර් ලූ චිත්‍රපටයට පාදක වුනයේ මෙයට දෙසිය වසරකට පෙර එංගලන්තයේ මැන්චස්ටර්හි පීටර් ලූ නගරයේ සිදු වූ මහා මිනිස් සංහාරයයි. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොවට දේශනා පවත්වන බ්‍රිතාන්‍ය ඉතිහාසය පුරා ඇත්තේ කුරිරු සිදුවීම්. 1819 වසරේ අගොස්තු මස 16 වැනි දින මැන්චෙස්ටර් නගරයට 60,000කට වඩා ජනගහණයක් රැස්වූයේ එංගලන්ත පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ සඳහා නව නීති ගෙන්වීම හා එතෙක් නොතිබුණු සර්ව ජන ඡන්ද බලය ඉල්ලා සිටිමට. මේ සාමකාමී රැස්වීම කෙළවර වූයේ 18 දෙනෙකු එතැනම මරා දමමින් . මේ සිදුවීම මයික් ලේ විසින් බ්‍රිතාන්‍ය සිනමා කෘතියක එන අපූරු අනන්‍යතාව ගොඩ නංවමින් සිනමාවට නංවනවා. රෝරි කිනියර්, මැක්සින් පීක්, පියර්ඔග්ලි ආදින් මෙහි චරිත නිරූපණය කරනවා.

 

 

PETS UNITED
 

රොජර් කියන්නේ රොබින්හුඩ් කෙනෙක්. එයාට බෙලී හමුවන්නේ එයාගේ ගෙදර තිබෙන කෑම බීම හොරකම් කරන්න ගිහින්. මේ රොජර් කියන්නේ මිනිහෙක් නෙවේ. වීදියේ සැරිසරන බල්ලෙක්. එතකොට බෙලී කියන්නේ ලොකු ගෙදරක ඉන්න බැළලියක්. මේ අද කාලයේ නොවේ. අනාගතයේ දවසක. ඒ කාලයේ ඉන්නේ රොබෝ පොලිසිය. ඉතින් මේ රොජර්ගෙන් ඒ අයට වෙන කරදර නිමක් නෑ. හැබැයි ඉතින් හැමදාම එහෙම නැහැ. අපේ දරුවන්ට සුදුසු පරිගණක සැකිලි රූ චිත්‍රපටයක් වන පෙට්ස් අන්ලිම්ටඩ් පවුලේ සියල්ලන්ට එකට විනෝදයෙන් නරඹන්න පුළුවන්. රේන්හාඩ් ක්ලෝස් එහි අධ්‍යක්ෂ. එය චීනයේ හා ජර්මනියේ හවුල් නිෂ්පාදනයක්.

 

RUNNING FOR GRACE

මෙයින් සියවසකට එපිට අද වගේම ලෝකය තවත් රෝගයකින් කැලඹුණා. ඒ ස්පාඤ්ඤ උණ නිසා. මේ අවදියේ ජපානයේ සිට කම්කරුවන් පිරිසක් හවායි දූපත්වලට පැමිණෙන්නේ එහි ඇති කෝපි වතුවල සේවය කරන්න. හරියට ලංකාවේ උඩරට වතුවල සේවය කරන්න තමිල්නාඩුවේ දෙමළ ජාතිකයන් පැමිණියා වගේ. වතුයායේ හිමිකරු මේ ජපාන ජාතිකයන්ට ප්‍රතිකාර සඳහා තරුණ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගන්නවා. මේ ජපනුන් වෙනුවෙන් භාෂාව පරිවර්තනය කරනුයේ දොස්තරගේ පුංචි හිතවතා ජෝ නම් කුඩා දරුවා. දස අවුරුද්දකට පසු ගැටවරයෙක් වන ජෝ සහ වතුයායේ හිමිකරුගේ දියණිය ග්‍රේස් අතර ප්‍රේමයක් ආරම්භ වෙනවා. වතුයායේ හිමිකරු ඩැනියෙල්සන්ට අලුත් වෛද්‍යවරයකු වන රියෙස් හමුවන්නේ මේ අතර. ඩේවිඩ් එල්. කනින්ග්හැම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ අපූරු චිත්‍රපටයේ බ්‍රයන් පොටර්, මැට් ඩිලෝන්, ජිම් කැවිසෙල් , ඔලිව්යා රිචි ආදින් චරිත මවනවා. නාටකීය ගුණාංග සහිත ඉංග්‍රිසි චිත්‍රපටයක් බලන්න කැමැති අයට හොඳ සිනමා කෘතියක්.