නවකතාවකින් ටෙලි කතා ගොඩක්

Defending Jacob
අගෝස්තු 19, 2021

 

 

දක්ෂ නිලධාරියෙකු වන ඇන්ඩි බාබර් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නිව්ටන් නම් නගරයේ සහකාර දිස්ත්‍රික් නීතිපතිවරයාය. ඇන්ඩි, සිය බිරිය ලෝරි සහ 15 හැවිරිදි පුතු ජේකොබ් සමඟ සතුටින් දිවි ගෙවන අතර නගරයම සලිත කරවන සිද්ධියක් වාර්තා වේ. එනම් ඇන්ඩිගේ පුත් ජේකොබ්ගේ පන්තියේම තවත් ළමයෙකු වූ බෙන් රිෆ්කින් පාසල අසල උද්‍යානයක දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබීමයි. අපරාධකරුවා සෙවීමට යුහුසුලුව කටයුතු කරන ඇන්ඩිගේ සැකයට භාජනය වන්නේ මින්පෙර ළමා අපචාරයකට දඬුවම් විඳී තැනැත්තෙකු වන ලියනාඩ් පැට්ස් නම් තැනැත්තා ය.

කෙසේ වෙතත්, වැඩි කල් නොගොස්ම ඇන්ඩි විසින් සොයා ගන්නා කාරණා කිහිපයක් වේ. පළමුවැන්න මියගිය බෙන් සහ සිය පුතු ජේකොබ් අතර දරුණු සතුරුකමක් පවතින බවයි. දෙවැන්න, බෙන්ගේ මිනීමැරුම සිදු කළ ආකාරයේ පිහියක් සිය පුතු භාරයේ පවතින බවත් ඒ බව ඔහුගේ පාසල් මිතුරන් දන්නා බවත්ය. නොසන්සුන් සිතින් පිහිය නිවසින් බැහැර කරන ඇන්ඩි එය ‘වගකිවයුතු පියෙකුගේ’ යුතුකමක් ලෙස සලකයි.

ඇන්ඩිගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ මීළඟ දිනයේ සිය කාර්යාලයට වාර්තා කිරීමත් සමඟය. බෙන්ගේ කමිසයේ තිබූ ඇඟිලි සලකුණක් පරීක්ෂා කිරීමේදී එය ජේකොබ්ගේ බව පොලිසිය විසින් සොයාගෙන ඇත. දිස්ත්‍රික් නීතිපතිවරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇන්ඩි මේ අපරාධ පරීක්ෂණයෙන් ඉවත් කරනු ලබන අතර පොලිසිය විසින් ජේකොබ් මිනීමැරුමට සැකපිට අත්අඩංගුවට ගනු ලබයි. අත්අඩංගුවේ පසුවන පුතු හමුවන ඇන්ඩි හට ජේකොබ් දිවුරා ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ කිසිදු සම්බන්ධයක් මේ මිනීමැරුමට නොමැති බවයි. කෙසේ වෙතත් මේ අතර තමා විසින් ඉතා දිගු කාලයක් සිය බිරියගෙන් පවා වසන් කළ කාරණාවක් ඇන්ඩි විසින් හෙළි කරනු ලබයි. එනම් සිය පියා වන බිලී බාබර්ද තරුණියක් දූෂණය කර මරා දැමීමේ වරදට ජීවිතාන්තය දක්වා දඬුවම් විඳීන බවයි.

AppleTV+ නාළිකාව ඔස්සේ 2020 මැයි මස විකාශය වුණු කොටස් 8 කින් යුතු කෙටි-රූපවාහිනී කතා මාලාවක් වන Defending Jacob,සිය පවුලේ ඉතිහාසයත්, සාක්ෂිත් කඩි ගුලක් මෙන් ඇවිස්සුණු නේකවිධ මාධ්‍යකරුවනුත් යන සියල්ලම තමන්ට විරුද්ධව සිටියදී, සිය එකම පුතු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට ඇන්ඩි ගෙන යන අරගලය ගෙනහැර පායි. නීතීඥයකු සහ නවකතාකරුවකු වන විලියම් ලැන්ඩේ විසින් රචිත එනමින් යුත් නවකතාව පදනම් කරගෙන රූපවාහිනියට නැගුණු මෙම කතාව මාක් බෝම්බක් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කර ඇත. ජනප්‍රිය රංගන ශිල්පියකු වන ක්‍රිස් එවන්ස් මෙහි ඇන්ඩිගේ චරිතයට පණ පොවන අතර ලෝරිගේ චරිතය මිෂෙල් ඩොකරි විසිනුත් ජෙකොබ්ගේ චරිතය ජේඩ්න් මාටෙල් විසිනුත් රඟ දැක්වේ.

Defending Jacob, විශේෂයෙන්ම එහි ප්‍රධාන චරිතයන්හි දක්ෂතාවය සඳහා බොහෝ විචාරකයන්ගෙන් පැසසුම් ලත් කතා මාලාවකි. රෝට්න් ටොමැටෝස්හි විචාරකයන්ගෙන් 61 දෙනෙකුගෙන් 72% ක් මෙය අනුමත කර ඇති අතර එහි අගය 6.68/10 කි. වෙබ් අඩවියේ පොදු විචාරය මෙසේ පවසයි. "මිෂෙල් ඩොකරි සහ ක්‍රිස් එවන්ස්ගේ දක්ෂ රංගනයන් විදහා දක්වන මේ නාට්‍යයේ එක් දුර්වලතාවයක් වන්නේ එහි මූලාශ්‍රයේ (නවකතාව) අන්තර්ගතය තුනී කරමින් නවකතාවේ නිර්මාණය කර ඇති ආතතිය අවම කර ඒ වෙනුවට අනවශ්‍ය හැගීම්බර බවක් ආදේශ කර තිබීමයි.”