From India

අගෝස්තු 19, 2021

 

රිදී තිරයෙන් යළි පණ ලබන ඉන්දිරා ගාන්ධි

'බෙල් බොටම්' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නවදිල්ලියේදී පසුගියදා එළි දැක්විය. අක්ෂේ කුමාර් සමඟින් වානි කපූර් සහ හූමා කුරේෂි ප්‍රධාන චරිත නිරූපිත එහි කතාව ගෙතී තිබෙන්නේ 1980 දශකය පදනම්ව ගුවන් යානයක් පැහැර ගැනීම සහ මගීන් බේරා ගැනීමේ රහසිගත මෙහෙයුමක් වටා ය. මෙම අවස්ථාවේදී කතාබහට ලක් වූ විශේෂිත චරිතයක් විය. එනම් එහි වූ ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ චරිතයයි. 'ආන්ධි', 'ඉන්දු සර්කාර්' චිත්‍රපට ඇතුලුව තවත් හින්දි චිත්‍රපට කිහිපයකම එතුමියගේ චරිතය නිරූපණය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම 'මැඩම්' හෝ 'අගමැතිතුමිය' ලෙසින් පමණක් හැඳීන්වීමට නිර්මාණකරුවෝ වගබලා ගෙන තිබූහ.'බෙල් බොටම්' චිත්‍රපටයේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි නිරූපිත චරිතයට පණ පොවන්නේ ලරා දත්තා භූපති විසිනි. ඒ වෙනුවෙන් කැප වී කටයුතු කර තිබෙන්නේ ජාතික සම්මානලාභී වේශ නිරූපණ ශිල්පී වික්‍රම් ගයික්වඩ් විසිනි. "නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ චිත්‍රපටයක් සඳහා චරිත පෙනුම සැලසුම් කිරීම විශාල වගකීමක්. ඊට අමතරව ඉන්දිරා ගාන්ධි වැනි බලවත් චරිතයක පෞරුෂයක් ප්‍රතිනිර්මාණය කරන විට එය ඊටත් වඩා භාරදූර කාර්යයක්. මෙහි සෑම වේශ නිරූපණ සැසියකටම පැය 3 ක් ගත වුණා. කලාකරුවාගේ කැපවීම, භක්තිය, අවංකභාවය සහ සහයෝගයෙන් තොරව මෙවැනි වේශ නිරූපණයන් කළ නොහැකියි" වික්‍රම් පවසන්නේය. ලාරාගේ වේශ නිරූපණයෙන් අනතුරුව අධ්‍යක්‍ෂ රංජිත් තිවාරි සහ අක්ෂේ කුමාර් පවා පුදුමයට පත් වී ඇත. චිත්‍රපටයේ ලාරාගේ පෙනුමට සමාජ මාධ්‍ය පුරා ද ප්‍රශංසා හිමි වෙමින් පවති. 'බෙල් බොටම්' චිත්‍රපටය අද (අගෝස්තු 19) නිකුත් කෙරේ. 2020 වසංගත අවධියේදී ඉන්දියාවෙන් පිටත මුළුමනින්ම රූගත කරන ලද පළමු චිත්‍රපටය වන්නේ ද 'බෙල් බොටම්' ය.

 

 

නිර්මාංශික දෙවසර

ශ්‍රද්ධා කපූර් මේ දිනවල නවදිල්ලියේ සිටින අතර ඇය රන්බීර් කපූර් සමඟ ලූව් රන්ජන්ගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ශ්‍රද්ධා තිරය මත කළ රංගනයන් තුළින් ඇගේ රසිකයන් පුදුමයට පත් කළා පමණක් නොව, එයින් ඇයගේ තෝරා ගැනීම ද සිදු කළාය. මේ අතර නිර්මාංශිකයෙකු වීම ගැන මෑතකදී ශ්‍රද්ධා සිය අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කළ අතර ඇයගේ තීරණයට හේතුව පවා හෙළි කළාය.

ඇය මෙසේ ලිවීය. "මේ වන විට මම නිර්මාංශ වී වසර 2 ක් සම්පූර්ණ කළ බව පවසන්නේ සතුටින්. සතුන්ට සහ අපේ පෘථිවියට ඇති ඇල්ම නිසා මම නිර්මාංශිකයෙකු වීමට තීරණය කළෙමි. එය මට සතුටක් හා සෞඛ්‍ය සම්පන්න බවක් ගෙන දී තිබේ. පුද්ගලික තේරීමක් ලෙස දයානුකම්පාව තෝරා ගැනීමේ දෙවසර සැමරීමේ සතුට මෙතෙකැයි කිව නොහැකියි. සතුන්ට සහ පරිසරයට ආදරය කරන්න".

 

ආදරණීය යුවළ අජේ - කාජල්

මුම්බායි හි ඉපිද හැදී වැඩුණු මිනිසුන් පිළිබඳ රසවත් කතා ගෙන එන ඉන්ස්ටග්‍රම් පිටුවකට ප්‍රථම වතාවට අජේ දේව්ගන් හමුවීම ගැන කාජල් කතා කළාය. ඒ 1995 දී අජේ දේව්ගන් සමඟ ඇගේ පළමු චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ අවස්ථාව සිහිපත් කරමිනි. චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර අජේ එක් කොනක හිඳගෙන සිටිනු දුටු කාජල්හට ඔහු ගැන හොඳ හැඟීමක් නොතිබුණි. "මේ පුද්ගලයා කවුද? ඔහුට ඇත්තේ කෙබඳු පෞරුෂයක්ද? ඔහු එක් කෙලවරක වාඩිවී චිමිනියක් මෙන් දුම් පානය කරන අතර කිසිවෙකුට කථා නොකරයි" කාජල්ගේ සිතුවිල්ල වූ බව කොෆි විත් කරන් හිදි කාජල් පැවසුවාය. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් මිතුරන් බවට පත් විය. ඒ වන විට කාජල් වෙනත් කෙනෙකු සමඟ පෙමින් බැඳී සිටි අතර අජේ දේව්ගන් ද එසේ විය. කෙසේ වෙතත්, ඔවුන්ගේ මිත්‍රකම වර්ධනය වී වැඩි කල් නොගොස් ඔවුන් එකිනෙකා සමඟ ආදරයෙන් බැඳීනි. නමුත් විධිමත් යෝජනාවක් සිදු නොවූ බව ඇයට මතකය. අජේ ජුහු හි ජීවත් වූ අතර කාජල් දකුණු මුම්බායිහි සිටි බැවින් දෙදෙනාගේ සබඳකමෙන් අඩක් ගත කළේ මෝටර් රථයක බව ඇය විහිළුවට පැවසුවාය. 1999 දී දෙදෙනා විවාහ දිවියට පිවිසි අතර එතැන් සිට බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය ආදරණීය යුවළක් බවට පත් විය. කාජල් අජේ දේව්ගන් සමඟ 'හල්චුල්', 'පයාර් තෝ හෝනා හි තා', 'ඉෂ්ක්', 'යූ මේ ඕර් හම්' වැනි චිත්‍රපට කිහිපයකම මෙන්ම පසුගිය වසරේදී තනාජි චිත්‍රපටයෙන්ද දැක ගත හැකි විය. පසුගියදා උදා වූ ඇයගේ 47 වැනි උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් අජේ පවසා සිටියේ, "ඔබ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මගේ මුහුණට සිනහවක් ගෙන ඒමට සමත් වී ඇත. ආදරණීය කාජල්, සුභ උපන්දිනයක්" යනුවෙනි.

 

නිෂ්පාදිකා කරීනා

"පුදුම සහ විස්මයන් පමණි". කරීනා කපූර් ඛාන් සිය දශක දෙකක සිනමා ජීවිතය ගැන පැහැදිලි කරන්නේ එලෙසිනි. ඇයගේ ජනප්‍රියත්වය සේම ප්‍රේක්ෂක ආදරය වසර ගණනාවක් පුරාවටම නොනැසී පැවතුන අතර ඇයව ඉදිරියට ගෙන යාමට හේතු වී තිබෙන්නේ එම ප්‍රේක්‍ෂක ආදරයයි. එයට අමතරව කරීනාට බොලිවුඩයේ විශේෂ තැනක් හිමිය. එනම් ඇය බොලිවුඩයේ විශාලතම මෙන්ම පැරණිතම පවුල වන ප්‍රීති විරාජ් කපූර්ගෙන් පැවත එන සිනමා පෙළපතේ සිව්වැනි පරපුරේ සාමාජිකාවකි. බොලිවුඩ් ආරංචි ගෙන එන්නේ, මේ වනවිට සිය දෙවැනි දරු උපත සමඟින් විවේක ගෙන සිටින කරීනා නිෂ්පාදිකාවක ලෙසින් පැමිණීමට නියමිත බවයි.කරීනා කපූර් ඛාන් නිෂ්පාදිකාවක් වීමට සූදානම් වී සිටින්නේ එක්තා කපූර් සමඟිනි. හන්සල් මේතාගේ අධ්‍යක්ෂණයෙන් යුත් ත්‍රාසජනක චිත්‍රපටයක් ඔවුන් දෙදෙනා විසින් නිෂ්පාදනය කෙරෙනු ඇත. එම චිත්‍රපටය එක්සත් රාජධානිය පසුබිම් වන අතර සැබෑ ජීවිතයේ සිදුවීම් වලින් ආභාසය ලබා ඇති බව කියවේ. එක්තා සමඟ එහි නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කිරීම ඇත්තෙන්ම ගෞරවයක් බවත් තමා හංසල්ගේ චිත්‍රපට වලට දැඩි ඇල්මක් දක්වන බවත් කරීනා පවසන්නීය. මෙය කරීනා නිෂ්පාදිකාවක වන පළමු චිත්‍රපටය සේම ඇයගේ දෙවැනි පුත්‍රයා ජේගේ උපතෙන් පසු පළමු පැවරුමයි.

 

සහෝදර පෙමක මහිම

අර්ජුන් කපූර්ට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කථා කිරීමට බොහෝ දේ ඇති අතර ඔහු එය කිසි විටෙකත් රහසක්ව තබා නැත. මෑතකදී ඔහු විලාසිතා සඟරාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ, පසුගිය වසර කිහිපය තුළදී තම පියා වූ බොනි කපූර් සමඟ ඔහුගේ බැඳීම වර්ධනය වූ ආකාරය ගැනයි. එයට එකම හේතුව වන සිය අර්ධ සහෝදරියන් වන ජාන්වි සහ කුෂිහට ඔහු ස්තුති කළේය.

අර්ජුන් වැඩෙන විට බොනී කපූර් සමඟ වැඩිපුර ජීවත් නොවීම හේතුවෙන් වර්ධනය වූයේ දුරස්ථබවකි. නමුත් මෑත කාලීනව අර්ධ සහෝදරියන් වන ජාන්වී සහ කුෂි සමඟ ඔහුගේ එකතුව තම පියා සමඟ වඩාත් හොඳීන් බැඳීමට උපකාර වූ බව පවසන්නේය. සහෝදරියන් නොවන්නට පියා සමඟ නැවත සම්බන්ධ වීමේ අවශ්‍යතාවය කිසි විටෙකත් නොදැනෙනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය. අර්ජුන් පවසන්නේ, ජාන්වි සහ කුෂි නිසා ඔහු තම පියාට වැඩියෙන් ආදරය කරන බවයි.