Block Busters

අගෝස්තු 19, 2021

HUSBANDS IN GOA

මේ චිත්‍රපටය නම් නෝනලා මහත්තයලා බලන්නම ඕනෑ වර්ගයේ චිත්‍රපටයක්. (හැබැයි අනෙකාට හොරෙන්) යාළුවො තුන්දෙනෙක් නෝනලාට හොරෙන් කේරළයේ ඉඳන් ගෝවේට විනෝද සවාරියක් යනවා. ( ගෝවේ ගෑනු පරාදයි කියලා සිංදුවකුත් තියෙන්නේ) මේ අතරින් එක් අයෙක් නීතිඥ මහත්තයෙක්. දුම්රියේ දී ඔහුට අලුත් සගයෙක් හමුවෙනවා. එයාත් නෝනාගෙන් පැනලා යන මහත්තයෙක්. බලාගෙන යන විට මහත්තයාට විරුද්ධව නෝනා දික්කසාද නඩුවක් පවරලා තියෙන්නේ මේ දුම්රියේ යන නීතිඥ මහත්තයා මඟින්. ගෝවේට ගියාම සිදුවන දේවල් එමටයි. ඒ වගේම මේ ගමන එළිවෙන්නත් එපායැ. රහස් එහෙම හංගන්නත් බෑ. අනිත් එක මේ ලෝකේ වයිෆ්ලාට හොරෙන් මොනයම්ම දෙයක් වුණත් කරන්න පුළුවන් හස්බන්ඩ්ලා ඉන්නේ කී දෙනාද ? ඉතින් වැඩේ මාට්ටු. මලයාලම් චිත්‍රපටයක් වුණ හස්බන්ඩ්ස් ඉන් ගෝආ හොඳට හිනාවෙන්න පුළුවන් විකට චිත්‍රපටයක්. සුන්දර පාන්ජිම් නගරයේ නොමිලයේ සවාරියක් යන්නත් පුළුවන්. ජයසූර්යා, ඉන්ද්‍රජිත් සුකුමාරන්, අසිෆ් අලි, රිමා කාල්නගල්, භාම, රම්‍යා නම්බීසන් ඇතුළු නළුනිළියන් රැසක් චරිත මවන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය ශාජි සුරේන්ද්‍රන්

 

MISS BALA

ග්ලෝරියා ලොස් ඇන්ජලීස් නගරයේ වෙසෙන ලතින් අමෙරිකානු සම්භවයෙන් යුත් වේශනිරූපණ ශිල්පිනියක්. ඇය මෙක්සිකොවට යන්නේ ඇගේ යෙහෙළිය සුසී හමුවන්නට. ඔවුන් දෙදෙනා එදින රාත්‍රී සමාජ ශාලාවට යන්නේ විනෝද වන්නටත් එක්ක. එහෙත් එයින් පසු සිදුවනුයේ නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්න. මේ සමාජ ශාලාවට කඩා වදින කිසියම් පිරිසක් මුලින් ග්ලෝරියා අත් අඩංගුවට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ඉවක් බවක් නැතුව වෙඩි තියන්නට පටන් ගන්නවා. ග්ලෝරියා එයින් පලා ආවත් සුසී අතුරුදන් වෙලා. මේ අපරාධකරුවන්ගේ මුහුණුවර අඳුනන එක තැනැත්තියක් වන්නේ ග්ලෝරියා . හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ඇයට භයානක අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙනවා. කැතරින් හාඩ්වික් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ජිනා රොඩ්රිගෝස්, ඉස්මායෙල් කෲස්, කොර්දෝවා , ඇන්තනි මලික් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා.

THE SOUND OF MUSIC

කවදාවත් නරඹා අවසන් කරන්නට අකමැති ඒ වගේම කිසි කලෙකත් අගය අඩු නොවන බලන්න බලන්න ආසා හිතෙන චිතපට තියෙනවා. සවුන්ඩ් ඔෆ් මියුසික් ඒ වර්ගයේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපේ රටේත් සිංහලට නැඟුණා. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් පාදක වුණා. හැබැයි ඉතින් අදටත් සවුන්ඩ් ඔෆ් මියුසික්වලට ළං වෙන්න ඒ කිසිම චිත්‍රපටයකට බැහැ. මවු සෙනහස අහිමි දරුවන් හත්දෙනෙකු හා හමුදා නිලධාරියකු වූ පියෙක් ද දරුවන්ගේ ගුරුවරිය ලෙස කන්‍යාරාමයකින් පැමිණෙන මාරියා වොන් ත්‍රොෆ් නම් දඟකාර තරුණ යුවතියක් කේන්ද්‍ර කොටගත් සවුන්ඩ් ඔෆ් මියුසික් සත්‍ය කතා පුවතක් පාදක කරගෙන තැනුණු සංගීත නාටකයක් සිනමාවට නැගීමක්. 1965 වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන රාශියක් දිනා ගත් සවුන්ඩ් ඔෆ් මියුසික් එදා මෙදා තුර ලොව ජනප්‍රියම චිත්‍රපටවලින් එකක් ලෙස ද සැලකෙනවා. මෙහි එන ගීත අදටත් අතිශය ජනප්‍රියයි. රොබට් වයිස් අධ්‍යක්ෂණය කළ මෙහි ජුලී ඇන්ඩෲස් , ක්‍රිස්ටෝපර් ප්ලමර් ආදි නළු නිළියන් රැසක් චරිත නිරුපණයෙන් දායක වුණා. බැලුවා නම් නැවත නරඹන්නටත් තවමත් නරඹා නැත්නම් අනිවාර්යනේ නරඹන්නටත් සවුන්ඩ් ඔෆ් මියුසික් ගැන සටහන තබන්නේ ඒ නිසා.

 

NOMADLAND

උපන් රටකම සරණාගතයන් වන අමෙරිකානුවන් ගැන තැනුණ නෝමෑඩ්ලන්ඩ් මේ වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය , අධ්‍යක්ෂණය සහ හොඳම නිළිය යන සම්මාන දිනා ගත්තා. එයටත් වඩා ලොව ඉහළම සම්මාන උලෙළක් සේ ගැනෙන වැනිස් සිනමා උලෙළේ පිදෙන ගොල්ඩන් ලයන් සම්මානයත් මේ මාහැඟි චිත්‍රපටය දිනා ගත්තා. චීන සම්භවයකින් යුත් සිනමාකාරිනියක වූ ක්ලෝ චාඒ අධ්‍යක්ෂණයටත්, ෆ්‍රාන්සස් මැක්ඩොනල්ඩ් නිළිය හැටියටත් සම්මාන දිනා ගත්තා. 2011 වසරේ ෆර්න් නම් අමෙරිකාවේ නෙවාඩා හි වෙසෙන කාන්තාවට ඇයගේ රැකියාව අහිමි වනුයේ සේවය කළ ආයතනය වසා දැමීමෙන් පසුව. මේ වන විට ඇයගේ සැමියාත් මිය ගිහින්. ඇය වෑන් රථයක් කුලියට අරගෙන යන්නේ අලුත් රැකියාවක් සොයා ගෙන. ඇමේසන් ආයතනයේ ඇයට අලුත් රැකියාවක් ලැබෙනවා. ඇගේ අලුත් මිතුරිය ලින්ඩා ඇයට ආරාධනාවක් කරනවා. අහිගුණ්ඨිකයන් මෙන් ජීවත්වන මේ මනුෂ්‍ය ජීවිත පමණක් නොව අමෙරිකාව පිළිබද පවා මෙි අපූරු චිත්‍රපටය විවරණයක යෙදෙනවා. සිනමාකරු මේ නන්නත්තාර ජීවිත හා ඇරිසෝනාවේ භූමිය සිය ප්‍රකාශනය ගොඩනැංවීමෙහිලා අපූරු අන්දමින් යොදාගන්නවා.

IMAIKKA NODIGAL

 

අංජලී වික්‍රමාදිත්‍යන් කියන්නේ පොලිස් සේවයේ නිරත අති දක්ෂ නිලධාරිනියක්. අංජලීගේ විවාහය බිඳී ගිය එකක්. ඇය එක් දරුමවක්. මේ අතර අංජලීගේ සොහොයුරා දොස්තර අර්ජුන් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක. එයත් පටලැවිලලක්. එහෙත් මේ සියල්ල නොවේ. ගැටලුව පළාතම කලඹන මිනීමැරුම් දාමයක් සිදුවනවා. මේ මිනිමරුවාගේ අන්වර්ථ නාමය රුද්‍රා. ඔහු කිසිසේත්ම සැඟවෙන්නේ නැහැ. එපමණක් නොවෙයි. ඔහු ප්‍රසිද්ධියේ පොලිසීයට අභියෝග කරනවා. අතිශය ත්‍රාසජනක දෙමළ චිත්‍රපටයේ රුද්‍රා නම් අපූරු චරිතය රගපානුයේ සුප්‍රකට සිනමාකරු අනුරාග් කාශ්‍යප් වීම විශේෂයක්.