එන්න චිත්‍රපට බලමු

අගෝස්තු 12, 2021

 

MY FAIR LADY

1964 වසරේ නිර්මාණය වුණ අතිශය ජනප්‍රිය සංගීතමය චිත්‍රපටය, මයි ෆෙයාර් ලේඩි දැන් නැවතත් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නරඹන්නට අවස්ථාවක් ලැබිලා. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් 1913 වසරේ නිර්මාණය කරන ලද පිග්මැලියන් වේදිකා නාට්‍යය ඇසුරෙන් තැනුණු මයි ෆෙයාර් ලේඩි සංගීතමය වේදිකා නාට්‍යයක් හැටියට මුලින්ම වේදිකා ගතවුණේ 1956 වසරේ. චිත්‍රපටය පාදක කර ගත්තේ ඒ නාට්‍යය. එය කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත් විවිධ රටවල වේදිකාවටත් නැගුණා. මයි ෆෙයාර් ලේඩි නාටකය මෙරටදීත් කිහිප වතාවක්ම වේදිකාවටත් නැගුණා. වතාවක් එහි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් රඟපෑවා. මයි ෆෙයාර් ලේඩි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝර්ජ් කූකර් විසින්. කට කැඩිච්ච කතා කියන වෙළෙන්දියක් හා ඉංග්‍රිසි මහාචාර්යවරයෙක් අතර ඇති වන අපූරු ප්‍රේම වෘත්ත්නාතයක් පාදක කර ගත් මෙය බටහිර සංගීතමය චිත්‍රපට අතර ඉතා වැදගත් චිත්‍රපටයක් සේ සලකනවා. ඕඩ්රි හෙප්බර්න්, රෙක්ස් හැරිසන්. ප්‍රධාන චරිත නිරුපණය කරනවා.

GEETHA GOVINDAM

මේ නම ඇහුණා ම අපට මතක් වන්නේ පැරැණි ශ්‍රී ජයදේව විසින් රචනා කරන ලද මහා කාව්‍යය වුවත් මේ එහෙම එකක් නොවේ. මේ තෙළිඟු චිත්‍රපටයක්. බොහොම ආදරණීය කතාවක්. තරුණ කථිකාචාර්යවරයෙක්. මුළු ජීවිත කාලය පුරාම හොයන්නේ තමන් අවබෝධ කර ගන්නා යුවතියක්. හෑබැයි ඔහුට හමුවන යුවතිය ඔහුව තේරුම් ගන්නේ කොහොමද? ඔහු එයට උදාහරණ කොට ගන්නේ කමල්හාසන් රගපෑ ඉන්දියන් නම් දෙමළ චිත්‍රපටයේ එන ජවනිකාවක්. හැබැයි, ඔය යාළු මිතුරන්ගේ උපදෙස් ඇහුවාම සිද්ධ වන්නේත් එයටත් වඩා බරපතළ ප්‍රශ්න. පරසුරාම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ගීතා හා විජේගේ ආදර කතාව කොහොම දිග හැරෙයිද කියන එක කිසිදු කම්මැළිකමකින් තොරව බලා සිටින්නට අප පොලඹවාලනවා. විජේ දේවාරකොන්ඩා හා රශ්මිකා මන්දානා ප්‍රධාන චරිත රඟපානවා

THE SILENCE OF THE SKY.

 

ඩයනා දෙදරු මවක්. එක් දවසක ඇය මුහුණ දෙන්නේ ගැහැනියකට ජීවිතයේ මුහුණ දිය හැකි බිහිසුණුම ඛේදවාචකයකට. ඒ දෙදෙනෙකු නිවෙසට රිංගා ඇයට අතවර කිරිම. මේ සිදුවීම වන විට ඇගේ සැමියා මාරියෝ නිවෙසට එනවා. ඒ මොහොතේ ඇය බේරා ගැන්මට යෑම ඇයගේ ජිවිතය අනතුරේ හෙළීමක් බව ඔහු වටහා ගන්නවා. ඇය කිසිවිටෙකත් මේ සිදුවීම සැමියාට පවසන්නේ නැහැ. ඔහුත් ඒ බව හඟවන්නේ නැහැ. එහත් එයට පළි නොගෙන සිටින්නටත් බැහැ. . ඒ වගේම ඩයනාත් මේ කාරණාව අත අරින්නේ නැහැ. ඇය සැමියාට හොරෙන් ඒ පසුපස හඹා යනවා. චිත්‍රපටය මේ සැමියාගේ හා බිරියගේ අත්දැකීම් දෙආකාරයෙන් විග්‍රහ කරනුයේ විශිෂ්ට සිනමාකරුවකු විසින් නූලකින් ගොතන ලද වියමනක ආකාරයෙන් අත්දැකීමක් අපට ගෙන හැර පාමින්. බ්‍රසීලයේ තැනුණු මේ චිත්‍රපටය, චිතප්‍රටයක අත් විඳීය හැකි ත්‍රාසයත් මිනිස් ස්වභාවයත් යන කාරණා දෙකම එකවර ගෙන එන්නට සමත් වෙනවා. කැරොලින් ඩියක්මාන් හා ලෙනාඩෝ ස්බර්ග්පියා ප්‍රධාන චරිත රඟන මෙහි අධ්‍යක්ෂණය මාකෝ දාත්‍රාගෙන්.

POINT BLANK

 

පෝල් බූකර් රෝහලක සේවකයෙක්. ඔහුගේ භාර්යාව ටරින් ඉන්නේ දරු ප්‍රසූතියක් අපේ්කෂාවෙන්. අබේ ගුවේරා අපරාධකරුවෙක් .ඔහු රිය අනතුරකට ගොදුරු වී රෝහල්ගත කරනවා. පොලිස් විමර්ශනවලින් හෙළිවනුයේ මේ දරුණු අපරාධකරුවෙක් විත්තියයි. ඒ පිළිබඳ සොයා බලන්නට රෙජිනා ලෙවිස් නම් දක්ෂ පොලිස් නිලධාරිනිය ප්‍රමුඛ කණ්ඩායමට පැවරෙනවා. මේ අතරවාරයේ ටරීන් අපරාධ කල්ලික් මඟින් පැහැර ගනු ලබනවා. ඔවුනගේ අරමුණ අබේ රෝහලින් එළියට ගෙනයාම. මෙයට සති කිහිපයකට පෙර දෙමළ චිත්‍රපටයක් පිලිබඳවත් අප මේ තිරයේම හදුන්වා දෙනු ලැබුවා. ඒ වික්‍රම් රඟපෑ කාදරම් කොන්දම් නම් දෙමළ චිත්‍රපටය. මේ චිත්‍රපට දෙකේම තිබෙන්නේ එක හා සමාන කතාවන්. මේ චිත්‍රපට දෙකම පාදක කර තිබෙන්නේ 2010 වසරේදී ප්‍රංශයේ නිර්මාණය වුණ පොයින්ට් බ්ලෑන්ක් චිත්‍රපටය වීමයි හේතුව. කොහොම වුණත් මේ ඉංග්‍රීසි චිත්‍රපටයේ ෆ්‍රෑන්ක් ග්‍රිලෝ, ඇන්තනි මැකී, මාර්ෂියා ගේ හ්ර්ඩන්, ටෙයෝනා පැරිස් ආදින් රගපානවා. ජෝ ලින්ච් ගේ අධ්‍යක්ෂණයක් හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්.

ISHQ

 

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ. සචී හා වාසුදා තරුණ පෙම් යුවළක්. ඇය නේවාසික සිසුවියක්. ඔහු තොරතුරු තාක්ෂණ වෘත්තියේ නියැළෙන්නෙක්. එකම දවසක ඔවුන් පෙරුම් පුරා ගෙන හමුවනවා. ඒ කාත් කවුරුවත් නැති තැනක. පෙම් සුව විදින්ට හිතා ගෙන. එහෙත් එකවරම එහි කඩා වදින දෙදෙනෙකු ඔවුන් පොලිස් නිලධාරින් බව හඟවා අත් අඩංගුවට ගන්නවා. මේ ආදර කතාවට තිත වැටෙන්නේ එහෙම. එහෙත් සචී එය ලෙහෙසියෙන් අත අරින්නේ නැහැ. ඔහු මේ ආගන්තුකයන් දෙදෙනා පසුපස හඹා යනවා. එය සියුම් පළිගැනීමක්. හැබැයි බිහිසුණුයි. මේ මලයාලම් චිත්‍රපටය බැලූ බැල්මට ඉතා සරල කතාවක්. මෙරට පවා බොහෝ පෙම්වතුන් මුහුණ දෙන අත්දැකීමක්. එහෙත් චිත්‍රපටයක් හැටියට ගත්තාම එය අපූරු අත්දැකීමක්. මේ අත්දැකීමට ඔබත් මුහුණ දී ඇති. අනුරාග් මනෝහර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ශේන් නිගම්, ඈන් ශිටාල්, ශින් ටොම් චැකෝ ආදින් චරිත මවනවා.