එන්න චිත්‍රපට බලමු

අගෝස්තු 5, 2021

BADLA

බදල් ගුප්තා දක්ෂ නීතිඥවරයෙක්. ඔහු නෙයිනා සේත් නම් ලන්ඩනයේ වෙසෙන සුප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් සොයා එන්නේ මිනීමැරුමකින් ඇයව බේරා ගන්නට. නෙයිනා චෝදනා ලබනුයේ ඇයගේ පෙම්වතාව සිටි අර්ජුන් මරා දැමීමේ වරදට. ඇය බදල් ගුප්තා හමුවේ සියල්ල අනාවරණය කරනවා. බදල් ගුප්තා මෙහි එන්නේ කවර අරමුණකින්ද යන්න දැන ගන්නට නම් මේ චිත්‍රපටය නරඹන්නටම සිදුවෙනවා. මේ කතාවට යම් සමාන කමක් දක්වන තෙළිඟු චිත්‍රපටයක් වූ එවාරු ගැනත් අප මෙයට පෙර ඔබ දැනුම්වත් කළා. එහෙත් මේ එයට වඩා හාත්පසින් වෙනස් අත්දැකීමක්. එයටත් වඩා අමිතාබ් බච්චන් හා තාප්සී පන්නුගේ අපූර්ව රංගනය ඉතා විශිෂ්ට එකක් බැවි කිව යුතුයි. සුජෝයි ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.

 

 

THE TOMORROW WAR

අවුරුද්ද 2051. අද මෙන් කොවිඩ් වසංගතයෙන් නොව ලෝකය බරපතළ ආක්‍රමණයකට මුහුණ දීමට නියමිතයි. එයින් ලොව අති විශාල ජන සංහාරයක් සිදුවනවා. එහෙත් මේ බව 2022 වන විට දැන ගන්නට ලැබෙනවා. කාලාවතරණයකින් මේ ආක්‍රමණයකට මුහුණ දීමට ජීව විද්‍යා ගුරුවරයෙකු වන ජේම්ස් ඩැනියෙල් සූදානම් වනවා. ක්‍රිස් ප්‍රැට් හමුවේ තිබෙන්නේ එසේ මෙසේ අභියෝගයක් නොවේ. ක්‍රිස් ප්‍රැට්, ඉවෝන් ස්ට්‍රොව්ස්කි. ජේ. කේ. සිමන්ස්, බෙටී ගිප්ලන් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන ද ටුමාරෝ වෝ ක්‍රිස් මැකේ විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.

 

 

BAAZAAR

කොටස් වෙළෙඳපොළ යනු දැන කළ යුතු ආයෝජනයක්. ඉන්දියානු කොටස් වෙළෙදපොළ මෙහෙය වන එක් හස්තයක වනුයේ ශකුන් කොතාරි. කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවකු වනුයේ රිස්වාන් අහමඩ්. ඔහුගේ පෙම්වතිය වනුයේ මේ ව්‍යාපාරයේම යෙදෙන ප්‍රියා. රිස්වාන්ගේ ජීවිතයයේ එකම සිහිනය ශකුන් කොතාරි වීම. ශකුන් එයට රුකුල් දෙන බව පේනවා. හැබැයි එක් දවසක රිස්වාන්ගේ හා ප්‍රියාගේ සිහිනය බිද වැටෙනවා. මේ චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් , රොහාන් මෙහේරා, රාධිකා ආප්තේ අපූරු රංගනයක යෙදෙනවා. චිත්‍රපටය වටහා ගන්නට කොටස් වෙළෙඳ පොළ ගැන දැන ගන්නට අවශ්‍යම නැහැ. ඒ නැතත් මිනිසුන්ගේ සැබෑ මුහුණුවර හඳුනා ගන්නට නම් මේ හොඳම උදව් දෙන චිත්‍රපටයක්. ගෞරව් කේ. චව්ලා මෙහි අධ්‍යක්ෂවරයායි.

 

A DEATH IN THE GUNJ

බිහාරයේ එක් පැරණි නගරයක නන්දු හා බ්‍රයන් යන තරුණයන් දෙදෙනාගේ කතාව තමන්ගේ මෝටර් රථයේ ඩිකියේ ඇති මළ සිරුරට කුමක් කරන්නේ ද යන්න. එහෙත් එයින් සති දෙකකට පෙරාතුව නන්දු ඇතුළු පවුලේ සාමාජකයන් හා මිතුරන් කල්කටාවේ සිට සිය පැරැණි නිවහනට එන්නේ විවේකයක් ගන්නට. මේ සතියක් ඇතුළත සිදුවනුයේ කමක්ද? සම්මානනීය ඉන්දියානු නිළි කොන්කොනා සෙන් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම සිනමා කෘතිය වූ අ ඩෙත් ඉන්ද ගුන්ජ් ඉහළ ගණයේ සිනමා රසාස්වාදය සඳහා ඉතා හොඳ කෘතියක්. කොන්කොනා සෙන් ශර්මා යනු කොහොමටත් සම්මානනීය සිනමාවේදිනිය අපර්නා සෙන්ගේ දියණිය. මේ ඇගේ කුලුඳුල් සිනමා කෘතිය ඔබේ මතකයේ තිබෙන චිත්‍රපටයක් වේවි.

 

BRIDGE OF SPIES

ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද බ්‍රිජ් ඔෆ් ස්පයිස් චිත්‍රපටයට පාදක වනුයේ සත්‍ය සිදුවීමක්. ඇකඩම් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 6 කට නිර්දේශව, හොඳම සහාය නළුවාට හිමි සම්මානය මාක් රයිලන්ස් ට දිනා දුන්නා. මෙහි ප්‍රධාන චරිතය රඟපානුයේ ටොම් හෑන්ක්ස් විසින්. 1957 වසරේ නිව්යෝක් වැසියකු වන රුඩොල්ෆ් ඒබල් අත්අඩංගුවට ගනු ලබනුයේ සෝවියට් ඔත්තුකරුවකු හැටියට චෝදනා කරමින්. ජේම්ස් බී. ඩොනවන් නම් නීතීඥයා ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත් ඒබල් තිස් වසරකට සිර ගෙදරට නියම වෙනවා. ඩොනවන් එයින් නතර වනුයේ නැහැ. යුක්තිය හා අමෙරිකානු සාරධර්ම නිරාවරණය කරන්නට නම් අරගලයක යෙදෙන්නටම සිදුවනවා. මේ දේශපාලන සිදුවීම පාදක කර ගෙන තැනුණු මේ චිත්‍රපටය ස්පිල්බර්ගේ ගේ මෑත භාගයේ වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටයක් හැටියට හැඳින්විය හැකියි.

 

BILAL

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිනමාකරුවන් දෙපොළක් වු කුරාම් එච්.අලවි හා අය්මාන් ජලාල් විසින් නිර්මාණය කරන ලද බිලාල් චිත්‍රපටය පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. එයට පාදක වනුයේ මොහමඩ් නබිතුමන්ගේ විශ්වාසවන්ත යකු වූ බිලාල් ඉබ්න් රාබා ගේ ජීවන වෘත්තාන්තයයි. කුඩා දරුවකුව සිටිය දී වහළෙකු ලෙස විකුණනු ලැබූ ඔහුගේ ජීවිතය මේ සිනමා කෘතියට පාදක කර ගන්නවා. එය කෙනෙකුගේ ජීවිතය බිඳ වැටීම හා ගොඩ නැඟීම පිළිබඳ අපූරු චිත්‍රපටයක්.

 

 

 

OKJA

ඔක්ජා කියන්නේ ජාන වෙනස් කර මස් පිණිස හැදුව දැවැන්ත ඌරෙක්. මේ සත්ත්වයා හදන්නේ අමෙිරිකවේ සත්ත්ව විද්‍යාගාරයක. හැබැයි වැඩෙන්නේ කොරියාවේ ගොවි ගෙදරක. එහි සිටින දැරියකගේ එකම සුරතලා මේ සත්ත්වයායි. හැබැයි සතා බුද්ධිමත්. ඒ වුණත් සමාගම් මේ වගේ සත්තු හදන්නේ නිකම්ම නොවේ. ලාබ උපයන්නටයි. පැරසයිට් චිත්‍රපටය තනා ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට සම්මාන දිනූ කොරියානු සිනමාකරු බොන් ජූන් හෝ හදපු ඔක්ජා බලන්න වටිනා චිත්‍රපටයක්. මිනිසුන් ගේ ව්‍යාපාර අරමුණු හා ගැටෙන මානව සාරධර්ම පමණක් නොව එකිකොගේ ජීවිත හා බැඳෙන දෙබිඩි ජීවිත. මේ සිනමා කෘතියේ අපුරුවට විදහා දක්වනවා.

 

 

A QUIET PLACE - PART 2

නිහැඬියාව ආරක්ෂාවට හොඳම ක්‍රමවේදයයි. මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝරටවල ප්‍රේක්ෂකයන් භීතියෙන් ඇලළී ගිය චිත්‍රපටයක් වූයේ ද ක්වයිට් ප්ලේස් ය. ඉතා අවම වියදමකින් තනා අති විශාල ආදායමක් ලද එය දක්ෂ සිනමාකරුවකුගේ හැකියාව පෙන්වා දුන් චිත්‍රපටයක් දැන් එහි දෙවැන්න ඔබට නැරඹිය හැකියි. මුල් කතාවේ ගොදුරු වූ ඇබට් පවුලේ ශ්‍රවණාබාධිත දැරිය හා පවුල මුහුණ දෙන්නේ පෙරටත් වඩා භයානක අත්දැකීමකට. ජෝන් ක්‍රසින්කි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ එමලි බන්ට්, සිලියන් මර්ෆි, මිලිසන්ට් සමන්ඩ්ස් ආදි නළු නිළියන් රාශියක් රැසක් චරිත මවනවා.

 

 

DEAR DICTATOR

අමෙරිකානු පාසැල් යුවතියක වූ ටටියානාට ඇගේ පන්තියේ පැවරුමක් හැටියට ලිපියක් ලියන්නට ලැබෙනවා. ඇය ලිපිය ලියන්නේ විදෙස් රටක ඒකාධිපති පාලකයකුට. ඇගේ ලිපිය ඔහු අතට පත්වනවා පමණක් නොවේ ඔයින් මෙයින් ඔහුත් ඇයත් පෑනේ මිතුරන් බවට පත්වනවා. මේ අතරවාරයේ සිදු වූ ක්‍රමන්ත්‍රණයකදී ඔහු රටින් පළා යනවා. නවතින්නේ ටටියානාගේ නිවසේ. ඇය ජීවත්වනුයේ මව සමඟ. මේ පැමිණීම යුවතියගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වෙනවා. සම්මානනීය නළු මයිකල් කේන් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය ලිසා ඇඩරියෝ සහ ජෝ සයිරකස් ගේ අධ්‍යක්ෂණයක්.

 

 

MALAAL

මුම්බායි නගරයේ පන්ති දෙකකට අයත් අස්තා ත්‍රිප්ති හා ශිවා යුවළගේ ආදර කතාව. ශිවා විශ්ව විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලද රැකියා විරහිත තරුණයෙක්. දඩබ්බරයෙක් ආශා ඔවුන‌ගේ අල්ලපු ගෙදර හිමිකාරියගේ දියණිය. මේ ආදර කතාවට බාධා එමටයි. මේ වන විට වෙනත් තරුණයෙකුගේ අත ගන්නට සිටින ඇය මේ දඩබ්බරයා මෙල්ල කරන්නට සමත් වෙනවා. මංගේෂ් හාදාවලා ගේ මුල්ම චිත්‍රපටය. එමෙන්ම ශර්මින් සෙගාල්, හා මීෂාන් ජෙෆ්රි යන නළු නිළි යුවළ සිනමාවට හඳුන්වා දෙනවා. මෙහි නිෂ්පාදක සම්මානනීය සිනමාකරු සංජේ ලීලා බන්සාලි. 2004 වසරේ දෙමළ සිනමාවේ වාර්තා තැබූ 7 ජී රේන්බෝ කොලනි චිත්‍රපටය පාදක කරගෙන තැනුණු මේ චිත්‍රපටය සුරංගනා කතාවලින් මිදුණු හින්දි චිත්‍රපටයක්.