එලොවින් මෙලොවට ආවත්

Resident Alien
ජූලි 29, 2021

මෙලෝ බසකින් උච්චාරණය කළ නොහැකි නමක් සහිත එක්තරා පිටසක්වළ ජීවියෙක් පෘථිවියට පැමිණෙන්නේ වැදගත් මෙහෙයුමක් උදෙසාය. එනම් මනුෂ්‍ය සංහතිය සමූලඝාතනය කිරීමයි. මොහුට සිය යානයේ ඇති කුඩා යන්ත්‍රයකින් එක ක්ෂණයකින් මේ කර්තව්‍යය නිමා කිරීමේ හැකියාව තිබුණි. ඔහුගේ ලෝ වැසියන් ඔහුව මේ මෙහෙයුම සඳහා පිටත් කර හැරියේ ලොකු විශ්වාසයක් සහිතව ය. නමුත් අකරතැබ්බයක මහත නම් පෘථිවිය ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් යානාව කඩා වැටීමයි. සුනුවිසුනු වූ යානා කැබලි කොලරාඩෝ ප්‍රාන්තයේ 'පෙෂන්ස්' නගරය ආසන්නයේ හිම කඳු පෙදෙසක විසිරී ගිය අතර අප අමුත්තා නම් නූලෙන් දිවි බේරා ගත්තේය. තමන්ට පැවරුණු මෙහෙයුම තවදුරටත් ලෙහෙසි කටයුත්තක් නොවන බවත් යානාව සහ එහි ඇති විනාශක යන්ත්‍රය සොයා ගැනීම කාලයක් ගතවන කාර්යයක් බවත් ඔහු වටහා ගනී. එතරම් කල් සිය භයංකර පිටසක්වළ පෙනුමෙන් සැඟවී සිටිය නොහැකි බැවින් එය වෙනුවට මිනිස් පෙනුමක් ආරූඪ කරගත යුතුව ඇත. පෙෂන්ස් නගරයේ හුදෙකලා නිවෙසක වෙසෙන දොස්තර 'හැරී වැන්ඩර්ස්පීගල්' මරාදමන මොහු හැරීගේ පෙනුම ආරූඪ කරගෙන හැරී ලෙසින් ජීවත් වේ.

කෙමෙන් කෙමෙන් මනුෂ්‍යයන් සේ කතා කිරීමටත්, ආහාර ගැනීමටත්, සිනා සීමටත් පුරුදු පුහුණු වන අලුත් හැරී දැන් පෘථිවියේ 'නේවාසික පිටසක්වළයෙකු' බවට පත්වී ඇත. කෙතරම් වෙස් ගත්තද හැරී වැන්ඩර්ස්පීගල්ගේ හැසිරීමේ හදිසි වෙනස නගර වැසියන් නොදකිනවා නොවේ. එහෙත් ඔවුහු මේ කතාව නම් කෙසේවත් සැක නොකරති. අලුත් හැරීගේ භයංකර පිටසක්වළ පෙනුම දෘශ්‍යමාන 'මනුෂ්‍ය ප්‍රාණීන්' මිලියනයකට එකෙක් වත් නැති නිසා ඔහු කලක් සුවපහසුව ජීවත් වේ. එහෙත් අවාසනාව නම් හැරීගේ සත්‍ය පෙනුම දෘශ්‍යමාන එකම එක මනුෂ්‍යයෙකු පෙෂන්ස් නගරයේ සිටී. හැරී හට හිසරදය ගෙනෙන ඔහු නව හැවිරිදි 'මැක්ස්' නම් වූ 'මනුස්ස පැටියා' ය.

 

මෙලෙස දිගහැරෙන Resident Alien රූපවාහිනී කතා මාලාව ඇමරිකානු - විද්‍යා ප්‍රබන්ධ - අභිරහස් හාස්‍ය -නාට්‍ය කතා මාලාවක් වන අතර පීටර් හොගන් සහ ස්ටීව් පාක්හවුස් විසින් රචිත එනමින් යුත් චිත්‍රකතාව පදනම් කරගෙන 2021 ජනවාරි 27 වන දින ඉරජ්ර නාළිකාව ඔස්සේ විකාශය ඇරඹිණි. 2021 මාර්තු මාසයේදී දෙවැනි වාරය ද ප්‍රකාශයට පත් කෙරුණු මෙම කතා මාලාව ක්‍රිස් ෂෙරීඩන්ගේ අධ්‍යක්ෂණයකි. ඇමෙරිකානු රංගන ශිල්පී ඇලන් ටුඩික් හැරීගේ චරිතයට පණ පොවන අතර සාරා ටොම්කෝ, කොරී රෙනෝල්ඩ්ස්, ඇලිස් වෙටර්ලන්ඩ්, සහ ලෙවි ෆීහලර් ඇතුළු පිරිසක් සෙසු චරිත රඟ දක්වති.

 

Resident Alien විචාරකයන්ගේ ඉහළ පැසසුම් ලත් කතා මාලාවකි. රොටන් ටොමැටෝස් අඩවියේ විචාරකයන්ගෙන් 93%ක් මෙය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.66 / 10 කි. එහි පොදු විචාරය මෙම කතා මාලාව ගැන මෙලෙස පවසයි: "Resident Alien ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට යම් කලක් ගනී. එහෙත් ඉන් පසු එය රාමුවකින් නැවුම් හාස්‍ය ගෙන එන අතර ඇලන් ටුඩික්ගේ ඒක පුද්ගල විකට කුසලතා සඳහා හොඳ තෝතැන්නක් වේ."