වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
රම්‍යලතා තෝරගන්න නළු නිළියන්ට ඡන්ද විමසීමක්

රම්‍යලතා චිත්‍රපටයේ නළු නිළියන් ලෙස ප්‍රභාවතී හෙවත් (දේව්දාස් චිත්‍රපටයේ) පාර්වතීගේ චරිතය සඳහා මුලින් තෝරාගත්තේ අයේෂා වීරකොන්ය. අයේෂා ඒ වන විට නායගම් නිපද වූ අහංකාර ස්ත්‍රී හා ප්‍රේම තරගය යන චිත්‍රපට යුගළෙහිම රඟපා ජනාදරය දිනා තිබුණාය. ඒ වන විට නායගම්ගේ මාතලන්, අහංකාර ස්ත්‍රී වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපා නමක් දිනා සිටි රත්නා කුමාරිගේ නම ද යෝජනා වී තිබුණ ද අවසානයේ රීටා රත්නායක ඒ සඳහා තෝරාගත් බව පළ විණ. ඒ රීටා නායගම්ගේ ශ්‍රී මුරුගන් නවකලා සමාගමේ චිත්‍රපටයකට එක් වූ එකම අවස්ථාව විය. අයේෂා නායගම්ගේ සමාගමෙන් ඉවත්ව ගියාය. රීටා සිනමාවට එක්වනුයේ ෆ්ලෝරිඩා ජයලත් සුජාතා චිත්‍රපටයෙන් පසු සිනමාස් සමාගමෙන් ඉවත්වීමත් සමගය. රීටා සිනමාස්හි දෙවැනි නිෂ්පාදනය වූ වරද කාගෙද චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණාය. පසුව රීටා ද සිනමාස් සමාගම සමඟ ඇති වූ මතභේදයක් නිසා එයින් ඉවත් වූවාය. නායගම් සිය සමාගම සඳහා ශ්‍රී මුරුගන් නවකලා නම භාවිත කළ ද එය කෙටි කරන ලද්දේ එස්.එම්.එන්. යනුවෙනි. එස්.එම්.එන් නම ඔහුගේ එස්.එම්.නායගම් නම කෙටිකිරිමේදී ද භාවිත වන අකුරු තුන විය.
රම්‍යලතා ආරම්භයේ එහි ප්‍රධාන නළු චරිත සඳහා අරුණ ශාන්ති, රීටා රත්නායක හා ක්ලැරිස් ද සිල්වා තෝරාගත් වග ප්‍රසිද්ධ කළ නායගම්ගේ චලන චිත්‍ර පුවත්පතින් ඒ සදහා පාඨක මත විමසුමක් ද පැවැත් වූයේය. මෙහිදී රම්‍යලතා ප්‍රභාවතී හා ප්‍රේමසිරි යන චරිත සඳහා කවරෙකු සුදුසුදැයි පාඨක මත විමසන ලදී. එහෙත් ඒ වන විටත් මේ නළු නිළියන් තිදෙනාගේ නම් චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඒ බව පුවත්පත් මඟින් ප්‍රචාරය කරවා යළි ඡන්ද විමසුමකට යෑම ප්‍රචාරක ක්‍රමයක් වශයෙන් සාර්ථක ක්‍රමයක් වීමක් මෙන්ම ලිහා බැලිය හැකි මල්ලක් ඔබා බැලීමක් ද වෙයි. ඡන්ද විමසුම මත නායගම්ගේ අර්ථපතිත්වයෙන් යුතුව සෝමපාල රණවීරගේ කර්තෘත්වයෙන් බිහිවුණු චලන චිත්‍ර අළෙවිය නම් ඒ කාලයේ වැඩි වන්නට ඇත. එහිදී රම්‍යලතා චරිතය සදහා පාඨකයන්‌ගේ ඒකායන තේරිම ලෙස පුවත්පත පෙන්වා දුන්නේ ක්ලැරිස් ද සිල්වාය. ඇය ලද ඡන්ද සංඛ්‍යාව 3118 කි. ප්‍රභාවතී චරිතය සදහා රීටා රත්නායක ඡන්ද 2378 ක් ද, රුක්මණි දේවි ඡන්ද 472ක් ද ෆ්ලොරිඩා ජයලත් ඡන්ද 261ක් ද අයේෂා වීරකොන් ඡන්ද 60ක් ද ලබා ගත් වග පුවත්පතේ වාර්තා විය.
ප්‍රේමසිරි සදහා ලද ඡන්ද මෙලෙසය. අරුණ ශාන්ති ඡන්ද 2675 කි. ප්‍රේම් ජයන්ත් ඡන්ද 331 කි. ඇඩී ජූනියර් ඡන්ද 111 කි. සිරිසේන විමලවීර ඡන්ද 1 කි. සිරිසේන විමලවීරට එක් ඡන්දයක් ලබාදී තිබුණේ අලුත්ගම සෙනරත් ඩී. බණ්ඩාරනායක විසින්ය. මෙහිදි රුක්මණි දේවි ලද ඡන්ද සංඛ්‍යාව ඇදහිය හැක්කක් නොවේ. කෙසේ වෙතත් රම්‍යලතාට පසු නායගම් නිපද වූ (ඔහුගේ අවසාන චිත්‍රපටය ) නළඟන ප්‍රධාන චරිතය රගපෑවේ රුක්මණි දේවිය. කඩවුණු පොරොන්දුවෙන් පසු නායගම් හා රුක්මණි එක්ව වැඩ කළ එකම අවස්ථව ද එය විය. ෆ්ලොරීඩා ජයලත් හා චලන චිත්‍ර පුවත්පත අතර දිගු කලක සිටම අමනාපයක් තිබෙනු කැපී පෙනෙන්නක් විය. රම්‍යලතා චිත්‍රපටයෙන් පසු රීටා රත්නායක නැවත නවජීවන හා සම්බන්ධ වූවගක් ද නොපෙනේ. ධර්ම ශ්‍රී රණතුංග රම්‍යලතා චිත්‍රපටය සදහා රංගනයෙන් එක්වන බව චලන චිත්‍ර පුවත්පතේ පළ වී තිබුණ ද ඔහු ද චිත්‍රපටය නිර්මාණය වන විට එහි නොවිණ. රම්‍යලතා චිත්‍රපටය සදහා ධර්ම ශ්‍රී කුරුප්පු රඟ නොපාන බව මුලින්ම පළ වූයේ දිනමිණ සිනමා පිටුවේය. එ දවස එය සංස්කරණය කරන ලදදේ ප්‍රවීණ සිනමා විචාරකයකුව නමක් දිනා සිටි ජයවිලාල් විලේගොඩ විසින්ය. මේ ප්‍රවෘත්තිය සහමුලින් වැරැදියැයි චලන චිත්‍ර පුවත්පත පැවසුවද ධර්ම ශ්‍රී රණතුංග රම්‍යලතාට සම්බන්ධ වූයේ නැත. චලන චිත්‍ර පුවත්පත මොවුහු කැමැතිලු යන මැයෙන් විශේෂාංගයක් අරඹා එමඟින් චිත්‍රපට රංගනයට කැමැති අයට පුවත්පතේ ඡායාරූපයක් පළ කිරිමට අවස්ථාවක් ලබා දිණි. චිත්‍රපටයේ අතිරේක නළු නිළියන් සොයා ගත්තේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමෙන්ය. පද්මිණි වැලන්ෂියා නම් නවක නිළියක් ද රම්‍යලතා සදඳහා එක්විණ. ආර්.එම්.රත්නාවතී, ටී.එෆ්.එස් අමරබන්ධු, හා ඒ.බී.ශ්‍රියාලතා මෙලෙස පුවත්පත මඟින් තෝරාගත් නළු නිළියෝ වූහ. මේ කිසිවකු හෝ එයින් පසු සිනමා රංගනයට අවතීර්ණ වූ වගක් යළි දක්නට නොලැබේ.
ක්‍රිෂණමූර්ති නම් අධ්‍යක්ෂවරයෙක් ලවා රම්‍යලතා ගී පටිගත කිරිමේ යෙදී සිටිය ද චිත්‍රපටය සඳහා නැවත ඒ.බී.රාජ් කැඳවූවත් ඔහු යළි මෙරටට පැමිණියේ 1956 වසරේ මාර්තු මස විසි වැනි දිනදීය. ඒ වන විට ඔහු ඉන්දියාවේ නිර්මාණය කරමින් සිටි දෙමළ භාෂිත චිත්‍රපටයක් වූ අන්දනාල් වැඩ අවසන් කරමින් සිටියේය. එමෙන්ම ලංකාවට පැමිණීමට නියමිත දවසට වඩා ප්‍රමාද වූයේ ඔහුට කිසියම් හේතුවක් නිසා වීසා ලබා ගැනීමේ ද ප්‍රමාදයක් සිදුවීමත් සමඟය. අප්‍රේල් මස 15 වැනි දින චිත්‍රපටයේ වැඩ කටයුතු හින්දු චාරිත්‍රානුකූලව ආරම්භ කරන ලදී. නැකතට නායගම් ක්ලැපර් බෝඩ් එක සංඥා කරද්දී නැකතට කැමරාව ක්‍රියාත්මක කරවන ලද්දේ නයගම්ගේ මෑණියන් වූ සුන්දරම්පිල්ලේ මහත්මිය විසිනි. රම්‍යලතා රූපගත කරන්නට සූදානම්ව සිටියදී නිෂ්පාදක එස්.එම්. නායගම්ගේ රථය හදිසි අනතුරකට ලක්ව ඔහු තුවාල ලැබීය. ඒ අතරවාරයේ අරුණ ශාන්ති ද රෝගාතුර විය. එබැවින් චිත්‍රපටය දින කිහිපයක් රූපගත කරවීම කල් ගියේය. ඒ අතරවාරයේ රම්‍යලතාගේ චරිතය සඳහා අවශ්‍ය නර්තන විලාසිතාවන් ක්ලැරිස් ද සිල්වාට පුහුණු කරවන ලදී. ඒ ශේෂා පලිහක්කාර විසින්ය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ වූ ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු විසින් නළු නිළියන් හට දෙබස් හා රංගනය පිළිබඳ පුහුණු කරන ලදී.
චිත්‍රපටයේ මුලින්ම රූපගත කරන ලද්දේ ප්‍රභාවතී වංශපාල සමග විවාහ වන දර්ශනයකි. ප්‍රභාවතී වූයේ රීටා රත්නායක වන අතර වංශපාල ලෙස රගපෑවේ පැරැණි ටවර්හෝල් නළුවකු වූ රොම්ලස් සිල්වාය. චිත්‍රපටයේ ශබ්ද පටිගත කරන ලද්දේ වෝල්ටර් ජයතිලකය. වෝලටර් මෙරට චිත්‍රපට සඳහා ශබ්ද පටිගත කිරිමට එක්වුණු මුල්ම කාර්මික ශිල්පීන්ගෙන් කෙනෙකි. චිත්‍රපටයේ දර්ශන රූපගත කිරිම් ආරම්භයේ දී එදවස සිරිත අනුව රාහු කාලය මඟ හරිනු ලැබේ. චිත්‍රපටයේ බොහෝ දර්ශන චිත්‍රාගාරයක රූ ගැන්වුව ද ඇතැම් දර්ශන කඳාන අවට එළිමහනේ ද රූ ගැන්වීමට යොදා ගැනිණ. අරුණ ශාන්ති නැතහොත් ප්‍රේමසිරි ගමට එද්දී වාහනය කැඩෙන ජවනිකාව රූපගත කරන ලද්දේ උස්වැටකෙයියාවේය. එයින් පසු කරත්තයක නැඟී යන ජවනිකාව රූපගත කරන ලද්දේ බටගම ප්‍රදේශයේය. ධර්මදාස වල්පොල ගයන 'කදිම සතා ටිකිරි සුදා මගෙ හොඳ ගොන්වස්සා' ගීතය ගැයුණේ එතැනය. එය චිත්‍රපටයේ ගායනා කරන විට රඟපෑවේ මාර්ෂල් පෙරේරාය.
එදින වේශ නිරූපණ ශිල්පී ඉන්දියානු ජාතික පී. තංගප්පන් සිය රාජකාරිය අරඹා තිබුණේ පාන්දර තුනට පමණයි. ඒ අරුණ ශාන්ති , බෙන්ජමින් ප්‍රනාන්දු සහ මාකස් පෙරේරා එදින දර්ශන සඳහා වෙස් ගැන්වීමට නියමිතව තිබිණ. දර්ශයේ ඇති කරත්තය ඇදීමට ගෙනා ගොන් නාම්බා කළු පැහැ එකෙකු විය. එබැවින් අධ්‍යක්ෂ රාජ්ගේ නියමය මත තංග්ගපන්ට ගොන් නාම්බාට ද වෙස් ගන්වන්නට සිදුවිණ. එබැවින් හිසෙහි සඳක් සහ මොල්ලියෙහි සුදු වයිරම් ඇඳ ගොනාගේ වෙස් ගැන්වීම ද සිදුකෙරිණ. සහාය අධ්‍යක්ෂවරුන් වූයේ එස්. රාමනාදන්, හා බෙනඩික්ට් ප්‍රනාන්දුය. කැමරාව මෙහෙයවූයේ ඇස්.නාදන්ය. සහාය කැමරා ශිල්පි ලීනි ද කොස්තා, උප ශබ්ද ශිල්පී රිචඩ් ද සිල්වා මෙන්ම ඊසක්, ඩබ්ලිව් . නන්දසේන, හා ආර්.එම්. ලුවිස් යන ශිල්පිහු ද එදින මේ ගීතය රූපගත කිරිමට සහභාගි වූ පිරිස අතර සිටියහ.
රාජ් නායගම් සමග නිර්මාණය කළ අවසාන චිත්‍රපටය රම්‍යලතා විය. ඔහු අවසාන වරට මෙරට දී තැනුවේ ගංතෙර චිත්‍රපටයයි. රාජ් 2020 වසරේ අගෝස්තු මස විසි තුන් වැනි දින අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 95 කි. ඔහු උපන්නේ 1925 අපේල්‍ර මස 21 වැනි දිනදීය. ඔහු මෙරට දී 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටයට සම්බන්ධව කටයුතු කළ බව පැවසේ. ඔහු පසුව ඉන්දියාවේදී චිත්‍රපට 65 ක් දෙමළ හා මලයාලම් බසින් නිර්මාණය කරන ලදී. 2000 වසරේ දී ඔහු යළි අවසාන වරට ලංකාවට පැමිණයේය. එවර ඔහු ව්‍යක්ත සිංහලෙන් සියල්ලන් සමඟ කතා බස් කරන ලද්දේ කලකට ඉහත ලංකාවේදී සිංහල චිත්‍රපට ඉගෙන ගත් ගුරුවරුන් ද සිහිපත් කරමිනි. රම්‍යලතා චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන්ගෙන් අද ජීවත්ව සිටිනුයේ ක්ලැරිස් ද සිල්වා පමණකි.