බලනවා නම් චිත්‍රපට

ජූලි 22, 2021

SHERNI

විද්‍යා වින්සන්ට් කියන්නේ අලුතින් පත්ව එන වන සංරක්ෂණ නිලධාරිනිය. මේ වනාන්තරයේ සිටින දිවියන්ගෙන් ඒ අසල මිනිසුන් ආරක්ෂා කළ යුතුයි. එමෙන්ම මේ සතුන් ද වනපෙතේ සිටිය යුතුයි. සතුන්ගෙන් බේරුණත් දඩයක්කාරයන් මෙන්ම දේශපාලකයන් ද සිටිනවා. දේශපාලකයන් කීවාම බලය ගන්නට මෙන්ම බලය ගත් දේශපාලකයන් ද ඉන්නවා. මැතිවරණ වේදිකාවේ මේ ප්‍රශ්නය රැව් පිළිරැව් දෙනවා. දේශපාලකයන්ට දැනුම හා සත්තුන්ට වඩා වැදගත් ඡන්ද. එයටත් වඩා විශ්‍රාම යන්නට සිටින තමන්ගේ ඉහළ නිලධාරියාගේ දේශපාලනය. වනයටත් සතුන්ටත් අවංකව ආදරය කරන නිලධාරිනියට හිතට එකඟව රාජකාරි කරන්නට ඉඩ ලැබෙයිද? ෂෙර්නි කියන්නේ දිවිදෙන කියන අර්ථය ගෙන එන්නක්. විද්‍යා බාලන්ගේ විශිෂ්ට රංගනයක් ඇතුළත් තවත් චිත්‍රපටයක්. නරඹන්නට වටිනාම චිත්‍රපටයක්. අමිත් වී. මසුර්කාර් එනම් මෙයට වසර කිහිපයකට පෙර නිව්ටන් නමැති හින්දි චිත්‍රපටය තනා කීර්තියට පත් සිනමා කරුගේ දෙවැනි නිර්මාණය තමයි ෂෙර්නි. ශාරත් සක්සේනා, විජේ රාස්, ඉලා අරුන් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවනවා.

 

 

THE HATER

රට පෝලන්තය. තෝමස් ගියෙම්සා වෝර්ෂෝ නගරයේ වෙසෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු තොරුතුරු තාක්ෂණ ශිල්පයේ හොඳ වැඩකාරයෙක්. සමාජ ක්‍රියාකාරකයෙක් හැටියටත් ඔහු කටයුතු කරනවා. සමකාලීන දේශපාලනය ගැනත් උනන්දුයි. ඔහු එක් දේශපාලන පක්ෂයක ඉහළ පෙළේ සාමාජිකයෙක්. ඔහු අත ගසනුයේ එසේ මෙසේ වැඩකට නොවෙයි. මුළු රටේම දේශපාලකයන්ව අල්ලේ නටවන ජාතියේ වැඩකට. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ රටක් ගිනි තියන හැටි මිනිසුන්ගේ අකල්ප වෙනස් වන හැටි විතරක් නෙවේ, මිනිස්සු ඇති වෙන හැටියි නැතිවන හැටියි ගැන මේ චිත්‍රපටයෙන් අපට හුරු අත්දැකීමක අලුත් ආකාරයකින් එනවා. මාෂියෙජ් මුසලොව්ස්කි, වැනේසා ඇලෙක්සැන්ඩර් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය යාන් කොමසා ගෙන්.

 

RANGOON

දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ තීරණාත්මක අවස්ථාවක් වන විට එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව පැවැති ඉන්දියාවේ සමහරු බ්‍රිතාන්‍ය හමුදාවට පක්ෂපාතීව කටයුතු කළත්, තවත් කොටසක් හිත යටින් ජපානයට උපකාර කළා. ඒ සුභාෂ් චන්ද්‍රබොස්ගේ මෙහෙයවීම යටතේ. ඔවුන් සතුරාගේ සතුරා තමාගේ මිතුරා යන න්‍යායෙන් වැඩ කළා. ජමදාර් නවාබ් මලික් එහෙම කෙනෙක් .හැබැයි ඔහු ඉන්දියානු යුද භටයෙක් හැටියට දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් හා එක්වයි රාජකාරි කළේ. මේ අවදියේ රස්ටම් බිලිමෝරියා නම් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සිය චිත්‍රපට කණ්ඩායමේ නළඟනක් වූ මිස් ජුලියා සමග රැන්ගූන් වෙත යන්නේ බ්‍රිතන්‍ය මිත්‍ර පාක්ෂික හමුදා ඉදිරියේ රැඟුම් පාන්නටත් එක්ක. ෂාහිඩ් කපූර්, සයිෆ් අලි ඛාන් මෙන්ම කාන්ගනා රනොත් චරිත මවන මෙය ඉන්දියානු ඉතිහාස‌යේ එක් සිදුවීමක් වූ යුගයක් පාදක කර ගන්නවා. විශාල් භාරද්වාජ් නම් සම්මානනීය සිනමාකරු විසින් නිර්මාණය කළ අපූරු චිත්‍රපටයක්.

 

 

99 SONGS

ඒ.ආර්.රෙහ්මාන් තරම් වර්තමාන ඉන්දියානු සිනමාවේ සංගීතය හා ගීතය උඩු යටිකුරු කළ සංගීතවේදියකු තවත් නැති තරම්. එමෙන්ම ඔහු තරම්අන්තර්ජාතික අවධානය දිනාගත් සංගීතවේදියකු ද නැති තරම්. ටොලිවුඩ්, බොලිවුඩ් වගේම හොලිවුඩ් සිනමාවටත් ඔහු දායක වෙන්නෙක්. ඔහුගේ ම කථාවකට අනුව ඔහු විසින් නිෂ්පාදනය කළ 99 සෝංග්ස් සංගීත රසකාමී හිතවතුන්ට නම් අපූරු සංගීත ආස්වාදයක් ගෙන දෙන චිත්‍රපටයක් වනවා නො අනුමානයි. හින්දි, දෙමළ, තෙළිඟු යන භාෂා ත්‍රිත්වයෙන්ම ඇති 99 සෝන්ග්ස් අති විශිෂ්ට චිත්‍රපටයක් කියන සහතිකය නම් දෙන්නට අපි කැමැති නැහැ. හැබැයි හොඳ ගී පෙළක් අහන්න නම් පුළුවන් . හාන් භාත්, එදිල්සි වර්ගාස්, ලීසා රේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා. වැඩි දෙනෙක් අපට නුහුරු නම් තමයි. අධ්‍යක්ෂණය විශ්වේශ් ක්‍රිෂ්ණමූර්ති ගෙන්.

 

 

INHUMAN KISS

මොහිණී, නැත්ම් උලලේණි වැනි අද්භූත කතන්දර පිළිබඳ විශ්වාස හා සිදුවීම් අපේ රටට පමණක් සීමා වූවක් නොවේ. එයට මුහුණ දුන් අයත් එමට ඇති. කාම්බෝජයේ හා තායිලන්තයේ ගම්බදව ක්‍රාසු පිළිබඳ විශ්වාසයත් එහෙමයි. 1940 වසරේ පමණ තායිලන්තයේ ඈත ගම්මානයක ක්‍රාසු පිළිබඳ විශ්වාසය බෙහෙවින් පැවතුණා. රාත්‍රි කාලය එලැඹි පසු සුරූපී තරුණියක් ලේ පිපාසාවෙන් අද්භූතජනක ලෙස හැසිරීම තදින් විශ්වාස කරගත්තා. මේ විශ්වාසය වඩාත් එළි දක්නට පටන් ගත්තේ පොඩි එවුන් පෙළක් වනාන්තරයක් අසබඩ හැංගිමුත්තං කෙළියට පස්සේ. තායිලන්ත සිනමා කෘතියක් වූ ඉන්හියුමන් කිස් ඔබ මේ ත්‍රාසජනක පුවත සමඟ බැඳ තබා ගනීවි. එයින් ගැළවෙන්නට නම් ඔබටත් අසීරු වෙයි. සිතිසිරි මොන්ගොල්ක්සිරි නම් තායිලන්ත සිනමාකරු අතින් නිර්මාණය වූ මේ චිත්‍රපටය 2019 වසරේ ඇකඩමි සම්මාන තායිලන්ත නියෝජනය හැටියට ඉදිරිපත් වුණා

 

IRUMBU THIREI

මේ දවස්වල හැම විටම බැංකුවලින් පවසන්නේ තමන්ගේ ගිණුම්වල ඇති අංක නොදන්න අය අතට පත් නොකරන ලෙස. එහෙත් අන්තර්ජාල හොරුන් විසින් ලෝකයේ කොතැනක සිටියත් මේ බැංකු ගිණුම්වලට විදීම සුලබ කරුණක් වෙලා. හමුදා නිලධාරියකු වූ මේජර් කදිරවාන්ට සිදුවන්නේ එහෙම දෙයක්. එහෙත් ඔහු එයටත් වඩා අසීරු අන්දමින් මේ මුදල් සොරුන් පසුපස හඹා යනවා. එහෙත් එය පහසු නොවන්නේ මේ ‌නොපෙනන ජාලයේ කොනක් හෝ හොයා ගන්නා එක ලේසි පහසු නොවන නිසා. විශාල් සමඟ දෙමළ සිනමාවේ ඇක්ෂන් කිංග් ලෙස සුපතළ අර්ජුන්, සමන්තා අක්කිනේනි, දිල්ලි ගණේෂ්, ආදින් චරිත මවන ඉරුම්බු තුරෙයි පාදක කර ගන්නේ එහෙම කථාවක්. පී.එස්.මිත්‍රන් මෙහි අධ්‍යක්ෂ.

 

 

THE PLATFORM

අනාගතයේ දවසක ඔබට මෙහෙම සිර ගෙයක ඉන්නට ලැබේවි. එහි ඔබට වෙන්වන මහලක් ඇති. එහි සිටිනුයේ ඔබත් සමඟ දෙදෙනායි. ඉහළ මාලයේ සිට ආහාර මේසයක් ඔබ වෙතට පැමිණේවි. එහි ඇත්තේ ඉහළ මාලයේ සිටියවුන් විසින් ආහාරයට ගත් ඉතිරි දේ වුවත් එය රසවත්. හේතුව ඒ ආහාර හදන්නේ ඉතා හොඳීන් ඇඳපැලඳගත් අරක්කැමියන්. ටික වේලාවක් ඇතුළත ඔබගේ ආහාර ලබා ගත යුතුයි. ආහාර මේසය පහත මාලයට ගමන් කළ යුතු නිසා. බලන්නට සීමා නොවී හිතන්නට හොඳ චිත්‍රපටයක්. 2019 වසරේ ස්පාඤ්ඤ සිනමාකරු ගයිඩර් ගැසෙට්ලු අරුෂියා විසින් මේ අපූරු පරිකල්පිත චිත්‍රපටය නිර්මාණය කරනුයේ තවත් වසරකින් පසු ලෝකය සෞඛ්‍ය හේතුන් මත නිවාස අඩස්සියක කොටු වෙතැයි නොසිතා විය යුතුයි. එහෙත් මේ අපූරු චිත්‍රපටය පරිභෝජනය පිළිබඳ, සමකාලින දේශපාලනය පිළිබඳ ලෝකයාට ඇසැර බලන්නට අවස්ථාවක් උදා කරනවා. නරඹා අවසාන වන්නට නොව නරඹා හිතන්නට පෙලැඹෙන චිත්‍රපටයක්.

 

 

I AM YOUR WOMAN

අවුරුද්ද 1970. ජේන් ගේ සැමියාගේ නම එඩී. ඔහු වෘත්තීය හොරෙක්. ඔවුන් ලෝකයට පෙනෙන්නට දරුවකු හදා ගන්නවා. එක් රාත්‍රියක ජීන් අවදිකරනු ලබන එඩීගේ හිතවතකු වන ජිමි ඇය අතට විශාල මුදල් බෑගයක් ලබා දී වහා පළා යන්නට අණ කරනවා. ඇයට යන්නට සිදුවනුයේ කාල් නම් කළු ජාතිකයකු සමඟ. කාල් කවුරුදැයි ඇය දන්නේ නැහැ. එහෙත් ඔවුන් අඹු සැමියන් හැටියට පෙනී සිටිනවා. ඒ විතරක් නෙවේ එඩී අතුරුදන්ව ඇති වග ඇය දැන ගන්නේ එයින් පසුවයි. මොහොතින් මොහොත කුතුහලයෙන් හා ත්‍රාසයෙන් ඇද බැඳ ගන්නා කතාවක්. රැචල් බ්‍රොස්නාහන්, ආර්නි කේන්, මාෂා ස්ටෙෆනී, බිල් හෙක් වැනි නළු නිළියන් චරිත මවන අයෑම් යුවර් වුමන් අධ්‍යක්ෂණය කරන ලද්දේ ජුලියා හාට් විසින්.

 

 

LUCKY

ලකීගේ වයස අවුරුදු 90 යි. ඔහු ජීවත්වූයේ ඇමෙරිකාවේ ඇත පිටිසර පළාතක තනියම. උදේ පිබිද සීතල කිරි වීදුරුවක් පානය කරන ඔහු යෝගී ව්‍යායාමවල නිරත වීමෙන් අනතුරුව සිගරට්ටුවක් මුවෙහි රඳවා හෙමින් ඇවිද අසල කඩපිලට යනවා. කඩයේ ඇති දිනපතා පුවත්පත්වල ප්‍රහේලිකා පිරවීම තමයි ඔහුගේ දින චරියාව. එයින් පස්සේ ඔහු යන්නේ පසුවදාට අවශ්‍ය සිගරට් හා කිරි මිළයට ගන්නට. එක් දවසක මේ සාප්පුවේ හිමිකාරිය බොබී පවසන්නේ ඇගේ දස හැවිරිදි පුතු සතියකට මේ ගමට එන විත්තිය. එදාම හවස අවන්හලක හීන් අඩියක් ගසන ලකීට ඔහුගේ හොඳම සගයෙකු වූ හොවාඩ්ගේ රූස්වෙල්ට් නම් සුරතල් බල්ලා අතුරුදන්ව ඇති වග දැන ගන්නට ලැබෙනවා. පැරැණි හොලිවුඩ් නළු හැරී ඩීන් ස්ටැන්ටන් සිය සිනමා ජීවිතයේ අවසාන රංගනය ගෙන ආවේ ලකී හැටියටයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අනූවයි. ජීවිතය පිළිබඳ අමුතුවෙන් හිතන්න‌ට පෙලඹෙන චිත්‍රපටයක්. ජෝන් කැරොල් ලින්ච් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ සෙසු චරිත ඩේවිඩ් ලින්ච්, රොන් ලිවින්ග්ස්ටන්, එඩ් බෙග්ලි විසින් නිරූපණය කරනු ලබනවා.

 

EVARU

ව්‍යාපාර ලෝකයේ නැඟී එන කාන්තාවක් වූ සමීරා අතින් පොලිස් නිලධාරියකු වූ අශෝක් ක්‍රිෂ්ණා මරණයට පත් වෙනවා. එය ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ මිනී මැරුමක් හැටියට සැලකෙනවා. ඒ ඔහුගේ අතවරයෙන් බේරිමට තැත් කිරීමට කළ වෑයමක් නිසා. එහෙත් අශෝක්ගේ පවුලෙන් කීර්තිමත් නීතිඥවරයෙකුගේ සහාය ලබා ගන්නවා. ඒ අතරවාරයේ සමීරාගේ නීතිඥවරයා වූ බැනර්ජි කුප්‍රකට පොලිස් නිලධාරියකු වූ වික්‍රම් වාසුදේව්ගේ සහාය ලබාගන්නවා. ඔහු පළමුව කරනුයේ සමීරාගෙන් අල්ලස් ගැනීම. හැබැයි මේ පසුපස තිබෙන්නේ ලෙහෙසියෙන් අතහැර දැමිය හැකි කතාවක් නෙවේ. තෙළිඟු බසින් නිර්මාණය වූ එවාරු නැරඹුවොත් මේ අභිරහස සොයා ගන්නට ඔබටත් සම්බන්ධ විය හැකියි. අදිවි සෙත්, නවීන් චන්ද්‍ර, ාරජිනා කැසන්ඩ්‍රා, මුරලි ශර්මා ආදින් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය වෙනක්ට් රාම්ජි ගෙන්.