අන්තර්ජාලයේ ‘සත්‍යජිත් රායි’ යළි ඉපදේ

ජූලි 8, 2021

 

“මම සෑම වර්ගයකම කතන්දර ලියා ඇත්තෙමි. නමුත් මම සාමාන්‍යයෙන් හුදෙකලා පුද්ගලයන් සහ ඔවුන්ට සිදුවන දේ ගැන ලිවීමට කැමතියි” - සත්‍යජිත් රායි.

නෙට්ෆ්ලික්ස් මීට සති කිහිපයකට පෙර අපූරු පොරොන්දුවක් දුන්නේය. එනම් සුප්‍රසිද්ධ සිනමාකරු සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය නිර්මාණ නැවත කියවීමේ ආකර්ෂණීය ගමනකට නරඹන්නන් රැගෙන යාමටයි.

ඉන්දියානු බෙංගාලි චිත්‍රපට නිමැවුම්කරුවෙකු වන සත්‍යජිත් රායි යනු විසිවැනි සියවසේ බිහි වූ අග්‍රගණ්‍ය සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙකු පමණක් නොව තිර රචකයෙකි. වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ගීත රචකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. 

කවියෙකි. සංගීතඥයෙකි. රායි උපත ලැබුවේ ඉන්දියාවේ කල්කටා නගරය තුළ කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රසිද්ධත්වයක් ඉසිලූ බෙංගාලි පවුලකය. 1955 වසරේදී රායි සිය පළමු සිනමාපටය ලෙස 'පාතර් පංචාලි' අධ්‍යක්ෂණය කළේය. එයට කාන් චිත්‍රපට උලෙළේ හොඳම මානූෂීය වාර්තා චිත්‍රපටය යන සම්මානය ඇතුළුව අන්තර්ජාතික චිත්‍රපට උලෙළවලදී සම්මාන 11ක් හිමි විය. 1928 දී ඉන්දීය ජාතික ලේඛක බිභූතිභූෂන් බන්දෝපාද්‍යාය විසින් රචිත 'පාතර් පංචාලි' නම් බෙංගාලි නවකතාව එයට පාදක විය. බෙංගාල ගමක ජීවත්වූ 'ඕපූ' නම් කුඩා ළමයෙකුගේ ජීවිත කථාව තේමා කරගත් එය ඔවුන්ගේ ගැමි ජීවිතය, දුප්පත්කම, ජීවිතයේ කටුක බව ගෙනහැර දැක්වීය. පවුල් අරගල මැදින් ඕපූගේ ජීවිතය ගෙන හරිමින් අපූ සිනමා ත්‍රිත්වයේ දෙවැන්න ලෙස රායි විසින් 'අපරාජිතෝ' චිත්‍රපටය නිර්මාණය කරන ලදී. 'අපරාජිතෝ', තරුණ ඕපූ සහ ඔහුට ආදරය කරන ඔහුගේ මවගේ අභිලාෂයන් අතර සදාකාලික අරගලය නිරූපණය කරයි. 'අපරාජිතෝ' චිත්‍රපටයට වැනිස් චිත්‍රපට උලෙළේ දී ස්වර්ණ සිංහ සම්මානය හිමි විය. ඕපූ ත්‍රිත්වයේ තෙවැන්න ලෙස 1959 දී රේ, 'ඕපූර් සංසාර්' චිත්‍රපටය නිර්මාණය කළේය. ලෝ ප්‍රකට ඕපු ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට පෙර ඔහු 'පරාෂ් පාතර්' සහ 'ජල්සාගර්' නමින් තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කළේය. ඔහුගේ සිනමා අධ්‍යක්ෂණයන් 37කි. ඒ අතරින් 1962 වසරේදී නිපදවූ 'කන්චන්ජුන්ගා' චිත්‍රපටයෙන් සමකාලීන ඉන්දියානු මධ්‍යම පන්තිය නිරූපණය කෙරුණි. 1963 වසරේදී තිරගත වූ 'මහනගර්' චිත්‍රපටයද සමකාලීන ඉන්දියානු ජීවිතය පිළිබිඹු කරයි. 'දේවි' (1960), 'අභිජාන්' (1962), 'චාරුලතා' (1964), 'අශානි ශන්කේත්' (1974) චිත්‍රපටද රායිගේ විශිෂ්ට සිනමා නිර්මාණ අතරින් කිහිපයකි.

70 දශකයේ මුල් භාගයේදී බෙංගාලයේ මහා පරිමාණයේ නව යුගයක් උදාවිය. දිනෙන් දින වර්ධනය වූ ධනවාදී වෙළෙඳපොළ යටතේ, වසර ගණනාවක් තිස්සේ පැවති අහංකාරය හෙළා දකිමින් මිනිසුන් අවංක ජීවිතයක් උදෙසා සඳහා ශ්‍රම බළකායට එක් වන්නට විය. ඒ අනුව රායිගේ කෘති එවකට සමාජයේ කැඩපතක් බවට පත්විය. මධ්‍යම පන්තිය, රැකියා විරහිතභාවය ඒ තුළින් පිළිබිඹු විය.

පසුගිය ජුනි 25 වැනි දින සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ දිගහැරුණු කුතුහලය දනවන චරිතවලින් පිරි රායිගේ කාලානුරූපී කථා ඉදිරිපත් කෙරෙන මෙම කථා මාලාව නම් වී තිබෙන්නේ 'රායි' යනුවෙනි. එය සයන්තන් මුකර්ජි විසින් නිර්මාණය කෙරෙන ඉන්දියානු මානව විද්‍යා වෙබ් මාලාවකි. මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ශ්‍රීජිත් මුකර්ජි, වාසන් බාලා සහ අභිෂේක් චෞබේ විසිනි. එය නිෂ්පාදනය කරනු ලබන්නේ අජිත් අන්දරේ, ටිප්පින් පොයින්ට් සහ වයාකොම් 18 චිත්‍රාගාරය විසිනි. සත්‍යජිත් රායිගේ කෘතිවලින් ආනුභාව ලත් කතන්දර හතරක් මෙම නිර්මාණයේ අඩංගු වේ.

 

හංගේමා හයි කියොන් බාර්පා : අධ්‍යක්ෂණය - අභිෂේක් චෞබේ (රායිගේ බාරින් භව්මික්-එර් බයාරම් කෙටිකතාව)

 

බහරුපියා : අධ්‍යක්ෂණය - ශ්‍රීජිත් මුකර්ජි (රායිගේ බහරුපි කෙටිකතාව )

 

ෆොගෙට් මී නොට් : අධ්‍යක්ෂණය - ශ්‍රීජිත් මුකර්ජි (රායිගේ බිපින් චෞද්රි ස්මර්තිබ්‍රොම් කෙටිකතාව)

 

ස්පොට් ලයිට් : අධ්‍යක්ෂණය - වාසන් බාලාගේ (රායිගේ ස්පොට් ලයිට් කෙටිකතාව)

 

විකෘති, විකාරරූපීබව සහ හාස්‍යයෙන් පිරී ඇති මෙම කථා, මිනිසුන්ගේ දුර්වලතා විදහා දක්වයි. මෙම කථාවල කේන්ද්‍රය වන්නේ ස්නායු රෝග, බිඳවැටීම්, අහංකාරය සහ අනාරක්‍ෂිතතාව සමඟ පොරබදින්නා වූ ප්‍රධාන පිරිමි චරිතයන්ය. මෙම චරිත ප්‍රධාන කරගත් කථා හතර මමත්වය, පළිගැනීම, ඊර්ෂ්‍යාව සහ පාවාදීම වැනි විවිධ හැඟීම් මත පදනම් වූ ග්‍රහණයෙන් යුක්ත වේ. රායි කතා මාලාවේ ට්‍රේලරය ආරම්භ වන්නේ මිනිස් සංහතිය දෙවියන් වහන්සේට වඩා නොඅඩු බව පවසමිනි. එසේ වන්නේ මිනිසුන් නව ජීවිත නිර්මාණය කරන බැවිනි. පරිගණකයකට සම මතකය ඇතැයි කියනු ලබන ඉප්සිත් නායාර්, නැතිවූ කීර්තිය සෙවීමේ ගමනක යෙදී සිටින ගසල් ගායකයෙකු වන මුසාෆීර් අලි, ඉතා ජනප්‍රිය හා සුපිරි තරුවක වන වික්‍රම් අරෝරා සහ ස්ථාවර රැකියාවක් කළද වෘත්තීය වේශ නිරූපණ ශිල්පියෙකු වීමට කැමති ඉන්ද්‍රෂිෂ් ෂා මෙහි ප්‍රධාන වේ. මනෝජ් බජ්පායි (මුසාෆීර් අලි), අලි ෆසාල් (ඉප්සිත් නයාර්), හර්ෂ්වර්ධන් කපූර් (වික්‍රම් අරෝරා) සහ කේ කේ මෙනන් (ඉන්ද්‍රෂිෂ් ෂා) එම ප්‍රධාන චරිත නිරූපණය කරති.