සමහරු හිතන්නේ මට පිස්සු කියලා

Home Before Dark
ජුනි 10, 2021

 

මම මාධ්‍යවේදිනියක්. එය අමුතු දෙයක් වෙන්න ඇති. ඒත් මට මතක ඇති කාලෙ ඉඳන් මම එහෙමයි. මම හිතන්නේ කවුරු හරි මාව පිහියකින් කැපුවොත්, ලේ වෙනුවට තීන්ත ගලාවි. මගේ තාත්තා මාධ්‍යවේදියෙක්. මගේ අම්මා කියනවා, අපි දෙන්න හරියට හෝම්ස් සහ වොට්සන් වගේ කියලා. මගේ තාත්තා කියන්නේ සත්‍යය සොයා ගැනීම තමයි වැදගත්ම දේ කියලා. ඉතින් මටත් හැමතිස්සෙම ඇත්ත දැනගන්න ඕනෙ. ඒත් මං පොඩි නිසා අනික් අය මට බොරු කියන බවත් මම දන්නවා. ඒ නිසාම මම සිදුවීම්, යම් යම් දේ දිහා බලල හරියටම ඇත්ත හොයාගන්න හැටි ඉගෙන ගත්තා.

මම, මගේම පුවත්පතක ප්‍රධාන කතෘවරිය. එහි ප්‍රකාශනය කරන්නෙත් මමමයි. මගේ සහෝදරිය නම් හිතන්නේ මට පිස්සු කියල. නමුත් ඇත්ත කුමක්දැයි සොයා ගෙන පළකිරීමයි මගේ අරමුණ. තාත්තා මට කිව්වා අපි ගේ දොර අත හැරලා වෙනත් පැත්තක පදිංචියට යනවා කියල. එතකොට එයාට පොතක් ලියන්න පුළුවන්ලු. එත් මම දන්නවා අපි යන්නේ තාත්තට රැකියාව අහිමි වුණු නිසා කියල. තාත්ත සතුටින් ඉන්න බව පෙන්නන උත්සාහ කරනවා. එත් මම දන්නවා එයා ඉන්නේ දුකින් කියල. ඉතිං අපි යන්නේ අපේ සීයාගේ ගෙදරට. තාත්තා නම් කියන්නේ එතකොට අපිට සීයා ළඟින්ම ඉන්න පුළුවන් නිසා කියලයි. ඒත් මම දන්නවා, ඒක නෙමෙයි හේතුව. ඇත්ත නම් අපට යන්න වෙන තැනක් නැහැ. සීයාගේ ගෙදර නොමිලේ නේ. කොහොම වුණත් මේ ලියන්නේ පුවත්පතේ අවසාන කතුවැකිය බව ඔබට දැනුම් දෙන්නේ ඉතා කනගාටුවෙන්. මම යන්නේ මගේ තාත්තා හැදී වැඩුණු 'ඊරි හාබර්' නම් ගමට. ගම්මුන් කියන්නේ එය ඉතා සුන්දර, හොඳ ගමක් කියලයි. නමුත් මම දන්නවා කිසිම දෙයක් එහෙම නැති බව.

ඩැනා ෆොක්ස් සහ ඩාරා රෙස්නික් විසින් ඇපල් ටීවී + සඳහා නිර්මාණය කරන ලද ‘ඩ්ධථඥ ඕඥටධපඥ ච්චපඬ’ ඇමරිකානු අබිරහස් නාට්‍යය ඇරඹෙන්නේ ළමා මාධ්‍යවේදිනී හිල්ඩ් ලිසියාක්ගේ ඉහත 'කතුවැකියත්' සමඟිනි. මේ වන විට 14 වැනි වියෙහි පසුවන ඇමරිකානු ළමා මාධ්‍යවේදිනියක් වන හිල්ඩ් කේට් ලිසියාක් ගේ කුඩා කල සිදුවීම් මත පදනම්ව මෙම කතා මාලාව නිර්මාණය වී ඇත. ඇය විසින් 2014 සිට 2019 දක්වා පෙන්සිල්වේනියාවේ සෙලින්ස්ග්‍රෝව්හි සහ 2019 සිට ඇරිසෝනා හි පැටගෝනියාවේ ප්‍රාදේශීය පුවත්පතක් වන 'ඔරේන්ජ් ස්ට්‍රීට් නිවුස්' ප්‍රකාශයට පත් කරන්නීය. හිල්ඩ් ලිසියාක් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ළාබාලම සාමාජිකාවයි.

මෙම කතා මාලාවේ හිල්ඩ්ගේ චරිතය නිරූපණය කරන්නේ දස වැනි වියෙහි පසුවන ළමා නිළි බෘක්ලින් ප්‍රින්ස් විසිනි. ඇය සමඟින් ජිම් ස්ටර්ගස්, ඇබී මිලර්, ලුවී හර්තම්, මයිකල් වෙස්ටන්, කීෆර් ඕ රෙයිලි, කයිලි රොජර්ස්, අසීසා ස්කොට්, ඒඩ්‍රියන් හෝග් ඇතුළු පිරිසක් සෙසු චරිත රඟ දක්වති. 2020 අප්‍රේල් මස මෙහි පළමු අදියර මුදා හැරුණු අතර කතා මාලාවේ දෙවැනි අදියර හෙට (ජුනි 11) සිට තිරගත වීමට නියමිතය.

රොට්න් ටොමැටෝස් හි විචාරකයන් 30 දෙනෙකුගෙන් සියයට 80ක් මෙම කතා මාලාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.01 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරය පවසන ආකාරයට "මෙම කතාවේ කේන්ද්‍රීය අබිරහස අතිශයින් කුතුහලය දනවන්නකි. කතාවේ එතරම් ප්‍රශස්ත නොවූ රචනය අඩුපාඩුවක් වුවද බෘක්ලින් ප්‍රින්ස් ගේ විශිෂ්ට රංගනයෙන් එය මැකී යන බව පෙනේ".