බලනවා නම් චිත්‍රපට

ජුනි 10, 2021

 

ගෙදරට ම වී කල් ගත කරන ඔබට චිත්‍රපට කිහිපයක් තෝරා දෙන්නට මේ සතියෙත් අප අදහස් කළා. සමහරවිට මේ වන විට මේ චිත්‍රපට අතරින් සමහර ඒවා ඔබ නරඹා ඇතුවාට කිසිම සැකයක් නැහැ. කොහොම වුණත් බලමු මේ චිත්‍රපට ගැන.

 

THE GOD FATHER

ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපටයක් මෙන්ම අවුරුදු හතළිස් නවයක් ගත වූවත් ත්‍රාසය කුතුහලය කිසිත් අඩු නැති එමෙන්ම කිසි කලෙකත් අන්තර්ගතයෙන් රසයෙන් හීන නොවන වර්ගයේ චිත්‍රපටයක්. එමෙන්ම විශිෂ්ට රංගවේදින් එකතුවකින් යුත් චිත්‍රපටයක් තමයි ද ගෝඩ් ෆාදර්. ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලා නම් විශිෂ්ට සිනමාකරුවා අතින් බිහි වූ මේ චිත්‍රපටය ඔබ විසින් නැරඹිය යුතුම වර්ගයේ චිත්‍රපටයක්. අමෙරිකානු පාතාල ලෝකයේ කිරුළු පලන් කොරිලොනේ පවුල වටා ගෙතුණ මේ චිත්‍රපටයේ මාලන් බ්‍රැන්ඩෝ, අල් පචිනෝ, ජේම්ස් කාන්, රිචඩ් කැස්ටලෝ, රොබට් ඩුවෝල්, ඩයනී කීට්න් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා. සමහරවිට මේ චිත්‍රපටය ඔබ මෙයට පෙර නරඹා ඇති. ඒත් කමක් නෑ. තව වරක් නැරඹුවත් රසයෙහි අඩුවක් වන්නේ නෑ. අද නැරඹුවොත් තවත් අලුත් අර්ථ මවන සර්වකාලීන ගුණයක් එහි ඇති බව ඔබට වැටහෙනවා ඇති. ද ගෝඩ් ෆාදර් නෙට්ෆ්ලෙක්ස් ඔස්සේ ඔබට නැරඹිය හැකියි. 1973 වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම නළුවා, (බ්‍රැන්ඩෝ) හොඳම අනුවර්තිත තිරනාටකය සඳහා ද ගොඩ් ෆාදර් සම්මාන දිනා ගත්තා. එමෙන්ම හොදම නළුවා සඳහා නාමයෝජනා තුනක් සඳහාත් හොඳම අධ්‍යක්ෂණය , හොඳම සංස්කරණය සඳහාත් නාමයෝජනා දිනා ගත්තා. 1972 වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපටය වන එය ලොව පසුකාලිනව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට ආභාසය ලබා දුන් චිත්‍රපටයක් හැටියටත් සැලකෙනවා.

 

 

LUDO

එක මොහොතක්වත් කතාවෙන් පිටත නොපැන එක රූප රාමුවක්වත් මඟහරින්නේ නැතිව චිත්‍රපටයක් බලන්නට ඔබ සූදානම්ද? මේ චිත්‍රපටය විටෙක ත්‍රාසජනකයි. තවත් විටෙක හාස්‍යජනකයි. තවත් විටෙක සිදුවන දේ ගැන හිතා ගන්නවත් බැහැ. එකිනෙකට වෙනස් චරිත කිහිපයක්. සමහර විට එක චරිතයක් වත් එකිනෙකා මුණ නොගැසෙන්නටත් පුළුවන්. හැබැයි එකම කතාවක්. ලූඩෝ චිත්‍රපටය හැදෙන්නේ එහෙම. චිත්‍රපටය ආරම්භයේ එන අමුත්තන් දෙන්නා කවුද? කුමක්ද? කියන එක නම් වැටහෙන්නේ අවසානයටමයි. අනුරාග් බාසු නම් ජනප්‍රිය සිනමා කරුවා අතින් තැනුණ මේ චිත්‍රපටයේ අභිෂේක් බච්චන්, ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ, පන්කජ් ත්‍රිපාති, ෆාතිමා ශනා ෂෙයික්, සන්‍යා මල්හෝත්‍රා ආදි නළු නිළියන් රැසක් චරිත මවනවා. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගන්න පුළුවන් මේ චිත්‍රපටය ඔබ ටික වේලාවක් යන තුරු අන්දමන්ද කරන ජාතියේ චිත්‍රපටයක්.

 

 

K.D.

කරුප්පු දොරේගේ වයස අවුරුදු අසූවයි. ඔහු පසුගිය මාස කිහිපය තුළ ගත කළේ කෝමා තත්වයක. පවුලේ සියයල්ලන් ඔහුගේ අවසන් කටයුතු සිදු කොට බූදලය බෙදා ගැනීමට සාකච්ඡා කරද්දී ඔහුට සිහිය එනවා. ඔහු කරන්නේ නෑයින්ගෙන් මිදී පලා යන එක. ඈත ගමක කෝවිලක සේවය කරන අනාථ දරුවෙකු වූ කුට්ටි මුණගැසෙන්නේ ඒ ගමනේදී. මුරාමස්වාම් චිත්‍රපටයේ කුරුප්පු දොරේගේ චරිතය රගපානවා. පවුලේ පිරිස මේ අතරේ කරුප්පුදොරේ පිළිබඳ සොයනවා. ඇත්තටම මිය යන්නට පෙර තවත් බොහෝ දේ ජීවිතයේ විඳීන්නට ඇති බව මේ වැඩිහිටියා තේරුම් ගන්නවා. මධුමිතා නම් දෙමළ සිනමාකාරිය තැනූ කේ.ඩී. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපටයක්.

 

 

BIG BROTHER

අවුරුදු විසිහතරක් මුළුල්ලේ සිර බත් කෑ සචිනානන්දන් හෙවත් සචී එයින් එළියට එන්නේ පවුලේ බාල සොහොයුරාගේ උත්සාහය නිසා. ඔහු සිර ගෙයින් නික්මුණත් ගැටුම්වලින් කෙළවරක් නැහැ. විශේෂයෙන් ඔහු ජීවත් වන පළාතේ මත්ද්‍රව්‍ය මා‌ෆියාවට එරහිව ඔහුට සටන් වදින්නට සිදුවනවා. ඒ අතරවාරයේ ඒ පළාතේ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා අලුත් පොලිස් නිලධාරියකු වන වේදාන්තම් පැමිණෙනවා. මලයාලම් සුපිරි තරුව මොහාන් ලාල් රඟපාන බිග් බ්‍රදර් කතාව සටන් පිරි, ත්‍රාසජනක පවුලේ කතාවක් බලන්නට කැමැති අයට හොඳ චිත්‍රපටයක්. සිද්දික් තමයි මෙහි අධ්‍යක්ෂ. අර්බස් ඛාන්, අනූප් මෙනන්, සර්ජා‌නා කාලිඩ් වගේ අය තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ තමයි නරඹන්නට හැකි වන්නේ.

 

 

KANNUM KANNUM KOLLAIYADITHAAL

රයිගමයාලාට ගම්පොලයාලා ටිකක් සෙට්වුණාම කොහොමද? දුල්කර් සල්මාන්, රීතු වර්මා, රක්ෂාන්, නිරන්ජනී අගතියන්, ගෞතම් මෙනන් ආදි නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපටයේ කතාව එබඳු ජාතියේ කථාවක්. සිද්ධාර්ත් හා කාලිස් දෙමිතුරන් ලෝකය කා වතුර බීපු ජාතියේ දෙදෙනෙක්. ඔවුන්ට අහම්බෙන් රූමත් තරුණියන් දෙදෙනෙක් මුණ ගැසෙනවා. ඒ මීරා හා තෙන්මෝලි . මේ තරුණයන් දෙදෙනා ඔවුන්ට ආදරය කරනවා. හැබැයි මේ යුවතියන් දෙදෙනා තමන්ට එහා වැඩ කාරයන් බව ඔවුන් වටහා ගන්නේ පොලිස් නිලධාරියෙක් එක් දවසක ඔවුන් හමුවට එද්දී. ඒ වන විට මේ යුවතියන් බොහෝ දුර ගොසින්. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගත හැකි මේ කතාවේ අවසානය නම් හිතා ගන්නවත් බැහැ. දේසිංග් පෙරියසාමි තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ. අපූරු අත්දැකීමක්.

 

 

MANDELA

තමිල්නාඩුවේ ඈත ගම්මානයක වෙසෙන බාබර් කෙනෙක්. හරියට නමක්වත් නැහැ. අන්තිමට මිනිහාට නමක් ලැබෙනවා. ඒ මුද්දරයක තිබෙන කිසිවිටෙකත් දැක නැති පුද්ගලයෙකුගේ නමක්. ඒ නම මැන්ඩෙලා. ඒ සමඟ ඔහුට ඡන්ද බලයකුත් ලැබෙනවා. එතැන් පටන් ඔහුගේ ජීවිත කතාව වෙනස් වෙනවා. දෙපැත්තකටම ඔහු අවශ්‍ය වෙනවා. එක් ඡන්දයක් මෙපමණ වටිනවාද? හිතා බලන්න වුවමනා චිත්‍රපටයක්. එමෙන්ම විකට නළු යෝගී බාබුගේ රඟපෑම අතිශයින් අගය කළ යුතුයි. මැඩෝන් අශ්වින් නම් සිනමාකරුගේ මුල්ම චිත්‍රපටය. තමිල්නාඩුවේ ඈත ගම්මානයක කථාවක් වුවත් එය ගෙන එන තේමාව කාටත් පොදු එකක් බව අපට හැඟෙනවා. හුඟක් හිනාවෙන්න පුළුවන් වගේම ගොඩක් වෙලා හිතන්නත් කතා කරන්නත් දේවල් මේ චිත්‍රපටයේ තිබෙනවා. හොඳයි මේ දවස්වල නෙට්ෆ්ලික්ස් ඔස්සේ මැන්ඩෙලා බලලා කතා කරමු. ගෙදරට වෙලා නිරෝධායන නීතිවලට අනුකූලව චිත්‍රපටය ගැන යාළුවන් අතරේ සංවාදයක් ඇති කරන්නත් ඔබට පුළුවන්.

 

 

MAARA

එය සුන්දර වෙරළ තීරයක ඇති ගම්මානයක්. එක් දවසක එහි නිවාඩුවක් ගත කරන්නට එන සොඳුරු යුවතියක්. ඇය එන්නේ හිතුවක්කාර ගමනක්. ඇය පුදුම වන්නේ මේ සුන්දරත්වය ගැන නොවේ. ගම පුරා ඇති පැරැණි ගොඩනැඟිලි ආදියෙහි ඇඳ ඇති අපූරු සිතුවම් පෙළ දැකීමෙන්. මේ සිතුවම් ඇගේ මිත්තණිය කුඩා කල සුරතලයට පැවසූ කතන්දර හරහා ඇය දුටු සිහින. ඇත්තටම මේ සිතුවම් බිත්ති පුරා ඇන්දේ කවුරුන්ද? මාරා නම් දෙමළ චිත්‍රපටය මේ පැනයට පිළිතුරු දෙනවා. මාධවන්, ශ්‍රද්ධා ශ්‍රීනාත්, ආදින් චරිත මවන මෙය දිලිප් කුමාර් නම් සිනමාකරුවාගේ මුල්ම අධ්‍යක්ෂණයයි. එමෙන්ම මේ චිත්‍රපටය රී-මේක් චිත්‍රපටයක් ලෙස මතක් කළ යුතුයි. එයට පාදක වනුයේ 2015 වසරේ තැනුණු චාලි නම් මලයාලම් චිත්‍රපටයයි. මේ ඇමේසන් ප්‍රයිම් චිත්‍රපටයක්.

 

 

PROFESSOR SHONKU O EL DORADO

බෙංගාල සිනමාව ගැන සිහිපත් කළ සැණින් අපේ මතකයට එන්නේ මේ නොබෝදා ජන්ම ශත සංවත්සරය සැමරූ මහා සිනමාකරු සත්‍යජිත් රායි. රායිගේ කතාවක් ඇසුරෙන් ඔහුගේ පුත් සන්දීප් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රොෆෙසර් ෂොන්කු ඕ එල් ඩොරාඩෝ අපූරු වීර චාරිකාවක් නරඹන්නට කැමැති ඔබට අල්ලලා යන ජාතියේ චිත්‍රපටයක්. මහාචාර්ය ෂොන්කු ගේ මේ චාරිකාව යනුයේ බොහෝ අද්භූත කතාවන්ට මුල පිරූ ඇමේසන් වනාන්තරයේ ඇති සිදුවීම් මාලාවක් වටා. ඒ එක් දවසක මහාචාර්යවරයා හමුවට එන සාමාන්‍ය ගැමියකු විසින් ඔහුට පවරන අලුත් බලයක් එක්ක. ඉතින් ඔහු මිත්‍යාවක් සේ සැලකෙන එල් ඩොරාඩෝ නම් රත්තරන් නගරය සොයා යනවා. අපේ 'ඇගේ ඇස අග චිත්‍රපටයේ' ප්‍රධාන චරිතය රඟපෑ දිත්‍රිමන් චැටර්ජි මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ මේ බෙංගාලි චිත්‍රපටය නැරඹිය හැකියි.

 

 

 

DRIVING LICENCE

මලයාලම් සිනමාවේ සුපිරි නළුවා හරීන්ද්‍රන් සතුව රියැදුරු බලපත්‍රයක් නැහැ. ඉතින් ඔහුට අවශ්‍ය වනවා එය ලබා ගන්නට. රියැදුරු පරීක්ෂකවරයා හරීන්ද්‍රන්ගේ ලොකුම රසිකයෙක්. තම නළුවා රියැදුරු බලපත්‍රය ගන්නට පැමිණීම ඔහුට ලොකු සතුටක්. හැබැයි රසිකයා සිතනවාට වඩා නළුවා වෙනස්. අන්තිමට සිදුවනුයේ උපේන්ද්‍රට නියම ආකාරයෙන් පරීක්ෂාවට පෙනී සිටින්නට. එපමණක් නොවේ. පරීක්ෂක රසිකයාගේ සියලු නීතිවලට අවනත වන්නට සුපිරි නළුවාට සිදුවනවා. එය මාධ්‍ය හරහා මහා ප්‍රශ්නයක් බවට පත්වෙනවා. අවසාන මොහොත දක්වාම මේ නළුවා හා රසිකයා අතර ඇති වන අරගලය කුමකින් කුමක්වේදැයි සිතිය නොහැකි තරම් එකක්. ප්‍රිතිවිරාජ් සුකුමාරන් සහ සුරාජ් වෙන්ජාරමූඩු මෙහි කරටකර රංගනයක යෙදෙනවා. ලාල් ජූනියර් අධ්‍යක්ෂණය කරන ලද මේ අපූරු මලයාලම් සිනමා කෘතිය ඇමේසන් ප්‍රයිම් ඔස්සේ රස විඳීන්නට ඔබට අවකාශ සැලසෙනවා.

 

 

COOK UP A STORM

චිත්‍රපටයක් නරඹන විට විවිධ හැඟිම් ඇති වන එක ස්වාභාවිකයි. චිත්‍රපටයක් නරඹද්දී බඩගින්නක් ආවොත්. අන්න එතකොට නම් අපූරු අත්දැකීමක්. මේ හොං කොං චිත්‍රපටය ඒ වගේ එකක්. මේ චිත්‍රපටය ගෙතෙන්නේ තරගකාරි කෝකියන් දෙදෙනෙකු අතර. ඉතින් දෙන්නා හදන කෑම චිත්‍රපටය අතරතුර අපට බඩගිනි වැඩි කරනවා විතරක් නෙවේ, මෙහේ තිබෙන චීන හෝටල්වල කෑම ගැන අනේ! කියලාත් හිතෙනවා. චිත්‍රපටය බලන ගමන් ගෙදර අඩුම කුඩුම තියෙනවා නම් හදන්නත් බැරි කමක් නැහැ. රේමන්ඩ් යිප් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය ගැන කොටින්ම කියන්න තියෙන්නේ රූපයේ ඇති කෑම රසය දිවට දැනෙන ජාතියේ චිත්‍රපටයක්. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපටයක්.

 

 

THE LIFE AHEAD

මැඩම් රෝසා කියන්නේ පැරැණි ගණිකාවක්. ඇය දැන් වයෝවෘද්ධයි. එමෙන්ම ඇය හිට්ලර්ගේ අවුට් විෂ් වධකාගාරයෙන් බේරුණ යුදෙව් ජාතික ගැහැනියක්. සෙනෙගාලයේ සිට ඉතාලියට සරණාගතයෙකු ලෙස පැමිණෙන මොමෝ නම් දොළොස් හැවිරිදි දරුවාත් ඇයත් හමුවන්නේ අහඹු විධියට. ඔහු එක්තරා ආකාරයක මංකොල්ලකරුවෙක්. ඉතින් මේ ගැහැනිය හා දරුවා අතර ඇතිවන සම්බන්ධය කුමක් විය හැකිද? සම්මානනීය රංගනවේදිනි සොෆියා ලොරේන් විසින් චරිත මවන නවතම සිනමා කෘතිය මෙයයි. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකි මේ සිනමාකෘතිය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇයගේ බාල පුත්‍රයා වන එඩුවාඩෝ පොන්ටි විසින්.

 

 

BUCKET LIST

47 හැවිරිදි වියේ පසුවන මධුරාට හදවත් බද්ධයක් සිදු කරන්නට වනවා. ඇයට හදවත ලැබෙන්නේ රිය අනතුරකින් මිය ගිය 19 හැවිරිදි වියේ පසුවන දඟකාර තරුණියකගෙන්. මේ තරුණියගේ සුල මුල සොයා යන මධුරාට ඇයගේ පවුලේ සාමාජිකයන් මුණ ගැසෙනවා. එමෙන්ම මේ යුවතිය ජීවත්ව සිටියදී ඉෂ්ට කරන්නට ආසා කළ ලැයිස්තුවත් හමුවනවා. දැන් මධුරාගේ එකම බලාපොරොත්තුව මේ මිය ගිය යුවතියගේ පැතුම් ඉටු කර දීම. අවුරුදු 47ක මවක් විසි හැවිරිදි වියේ යුවතියකගේ සිහින ඉෂ්ට කිරිම සෙල්ලමක් නොවේ. එය ඉතා බැරෑරුම් කාරණයක්. විටෙක හාස්‍ය ජනක වුවත් තවත් විටෙක එය බලසම්පන්න ගැටලුවලටත් මුහුණ දෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙහි මධුරා ලෙස මධුරි ඩික්ෂිත් ප්‍රධාන චරිතය රඟපානවා. හින්දි සිනමාවේ මේ සුපිරි තාරකාව තම මවුබස වූ මරාති බසින් තැනූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟන අවස්ථාවත් මෙයයි. රේණුකා සහ්නේ, සුමේධ් මද්ගල්කර්, සුමිත් රාගවන් මෙහි සෙසු චරිත නිරූපණයේ යෙදෙනවා. තේජාස් ප්‍රභා විජායි දියොස්කාර් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ මේ චිත්‍රපටය නරඹන්නට ඔබට හැකියාව තිබෙනවා.

 

 

 

JAWAANI JAANEMAN

ලන්ඩනයේ ජීවත්වන ජස්වින්දර් හෙවත් ජෑස් අවුරුදු හතළිහ ඉක්මවා ගියත් තනිකඩයෙක්. දේපළ වෙළෙඳාමේ යෙදෙන ඔහු නොම්මර එකේ සල්ලාලයෙක්. එක්තරා දවසක ඔහු හමුවන ටියා නම් යුවතිය ඔහු තම පියා බව පවසනවා. එපමණක් නොවෙයි. ඩී.එන්.ඒ මඟින් ඒ බව ඔප්පු කරන්නටත් ඇය සමත් වෙනවා. ඒ වන විට වෙනත් තරුණයෙක් නිසා ඇය ගැබ් අරගෙන. මේ සමඟ ජෑස්ගේ ජීවිතය විතරක් නෙවෙයි නරඹන අපිත් උඩුයටිකුරු වෙනවා. විනෝදය සපිරි චිත්‍රපටයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් එයටත් වඩා වෙනස් ආකාරයකට අපට සිතන්නට බල කරන චිත්‍රපටයක් හැටියට තමයි 'ජවානි ජානෙමන්' හදුන්වන්නට පුළුවන්. සයි‌ෆ් අලි ඛාන්, තාබු , ෆරීඩා ජලාල් වගේම හඳුන්වා දෙන අලායා එෆ් මේ චිත්‍රපටයේ අපූරුවට චරිත නිරූපණය කරනවා. නිතින් කක්කාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය නැරඹිය හැකි පහසුම ක්‍රමය ඇමේසන් ප්‍රයිම් ධාරාවයි.

 

 

THE LIFT

තරුණ යුවළක් ඔවුන්ගේ විවාහ ජීවිතයේ අවුරුදු පහක සංවත්සරය දවසේ ජීවත්වන මහල් නිවාස පෙළෙන් එළියට යන්නට එහි ඇති සෝපානයට රිංගනවා. හැබැයි එයින් එළියට යන එක පහසු නැහැ. ඔවුන් අතර මතවාදි අරගලයක්. ඒ අරගලය සමඟ ඔවුන් මේ සෝපානයේ දී මුහුණ දෙන අත්දැකීම ජීවිත කාලයට අමතක නොවේවි. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකි මෙම මෙක්සිකානු චිත්‍රපටයේ ඇත්තේ චරිත දෙකයි. මුළු චිත්‍රපටයම මේ විදුලි සෝපානය අතරේ විතරයි. අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩැනියෙල් බර්නාල්.

 

 

ALA VAIKUNTHAPURRAMULOO

'පොහොසත් දරුවා කැලේ පැලේ දුක සේ දැඩිවෙන්නා පවේ බලේ' කියලා තිබුණේ අපේ 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ ගීතයක. මේ චිත්‍රපටයෙත් කතාව ඒ වගේ තමයි. බන්ටු නම් පොහොසත් දරුවාගේ ඉරණමත් ඒ වගේ වුණාට පවට පින දෙන්න බැහැ කියනවානේ. ඒ නිසා කතාව සහමුලින්ම වෙනස් වෙනවා. ඉහළ ආදායම් වාර්තා තැබූ මේ තෙළිඟු චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගත හැකියි. අල්ලු අර්ජුන්, පූජා හෙජ්, ජයරාම්, තාබු, සමුද්‍රිකානි, මුරලි ශර්මා ආදි නළු නිළියන් රැසක් රඟපාන මෙහි අධ්‍යක්ෂණය ත්‍රීවික්‍රම් ශ්‍රීනිවාස් ගෙන්.

 

AK VS AK

ඒ.කේ. බොලිවුඩ් සිනමාවේ සුපිරිතරුව අනිල් කපූර්. ඒ වගේම අනිත් ඒ.කේ. කියන්නේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක අනුරාග් කාශ්‍යප්. මේ දෙදෙනා එකිනෙකාට එරෙහි ව සිටිනුයේ ඇයි ? මේ චිත්‍රපටයේ නම් එහෙමයි. මේ අපූරු චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ නම් දැරූ සෝනම් කපූර්, බොනි කපූර් වගේ උදවිය පවා තම තමන්ගේ නමින් ඇති චරිත රගපාන චිත්‍රපටයක්. වික්‍රමාදිත්‍ය මොට්වානි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවට ඇලුම් කරන ඔබට නම් අපූරු අත්දැකීමක් වනු නො අනුමානයි. නෙට්ෆ්ලික්ස් ඔස්සේ මේ චිත්‍රපටය දැක ගත හැකියි.