ඉන්දියානු සිනමා ව්‍යාපාරයේ ‘හැරවුම් ලක්ෂ්‍යයක්’

මැයි 20, 2021

සල්මන් නැවත එයි

මුම්බායි නගරය මත්ද්‍රව්‍ය මාෆියාවක ග්‍රහණයට හසු වී අවසන්ය. යෞවනයන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වසංගතයක් මෙන් පැතිරෙමින් තිබේ. නගරයේ දැනට සිටින අපරාධ මෙහෙයවන්නන් ප්‍රධාන වැරදිකරුවන් ලෙස නොපෙනේ. ව්‍යාකූලව සිටින පොලිස් බලකාය නගරය යහපත් තත්ත්වයකට පත් කරීම සඳහා විශේෂඥයෙකු ගෙන්වා ගැනීමට තීරණය කරයි. ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කර සල්මාන් ඛාන් ප්‍රධාන චරිතයට පණ පොවන 'රාධේ : යෝ මෝස්ට් වෝන්ටඩ්' හින්දි චිත්‍රපටය ප්‍රවේශය ගන්නේ මෙලෙසිනි.

සල්මන් ඛාන් සහ ප්‍රභූ දේවා යනු ඉන්දීය සිනමාවේ සුවිශේෂ ලෙස දිලෙන තරු යුගලකි. සල්මන් මෙන්ම ප්‍රභූ දේවා ද මේ වන විට සිනමාවේ සාර්ථක ගමනක නියැළෙමින් සිටී. බොලිවුඩයේ ඉහලම මිලක් අය කරන ජනප්‍රිය නළුවකු සේම චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද සල්මන් ඛාන් විනෝදාස්වාදය සපයන හොඳම චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තෙකි. වසර 25 ක සිනමා දිවියේ පුළුල් පරාසයක නර්තන ශෛලීන් දක්වමින් ආකර්ෂණයට ලක් වී සිටින ප්‍රභූ දේවා නළුවකු පමණක් නොව සුප්‍රකට නර්තන නිර්මාණ ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු ද වේ. ප්‍රභූගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන ආවේ එස්. ශංකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කාදලන්' (1994) චිත්‍රපටයයි. ඔහුගේ දෙවැනි චිත්‍රපටය වන එහි නර්තනය විචාරක ප්‍රශංසාවට ලක් වූයේ "මුකාබලා" සහ "ඌර්වසි ඌර්වසි" ගීත සමඟින් ඉහල ජනප්‍රියත්වයක් ද හිමිකර ගනිමිනි.

සල්මන් සහ ප්‍රභූ දේවා මේ වන විට බොලිවුයේ අපූරු සුසංයෝගයක් බවට පත්වී සිටී. ප්‍රභූ දේවාගේ පළමු හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය වන 'වෝන්ටඩ්' (2009) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ සල්මන් විසිනි. එය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් විය. අනතුරුව ඔවුන් දෙදෙනාගේ දායකත්වයෙන් නිමැවුණු 'ඩබාන්ග් 3', 2019 වසරේ ඉහළම ආදායම් ලද බොලිවුඩ් චිත්‍රපට දහය අතරට ඇතුළත් විය. අනතුරුව ඔවුන් නැවත එක්වූයේ පසුගිය 13 වැනිදා නිකුත් වූ 'රාධේ : යෝ මෝස්ට් වෝන්ටඩ්' භායි හින්දි චිත්‍රපටය වෙනුවෙනි.

2019 ඔක්තෝබර් මාසයේදී නිවේදනය කරන ලද 'රාධේ' චිත්‍රපටයේ සල්මන් සමඟ දීෂා පතානි, රන්දීප් හූධා සහ ජැකී ෂ්රොෆ් රංගනයෙන් දායක වෙති. එය නිෂ්පාදනය කර ඇත්තේ සල්මාන් ඛාන්, සොහෙයිල් ඛාන්, අතුල් අග්නිහෝර්ති, නිඛිල් නමිත් සහ සී ස්ටුඩියෝස් විසිනි. චිත්‍රපටයේ මූලික කතාව පදනම් වී ඇත්තේ 2017 වසරේ තිරගත කෙරුණු කොරියානු චිත්‍රපටයක් වන 'දි අවුට්ලෝස්' (The Outlaws)  අනුවය. මුම්බායිහි මෙහෙබූබ් චිත්‍රාගාරයේ ආරම්භ කළ රූගත කිරීම් දෙවැනි කොටස නිම කෙරුණේ ගෝවහිදීය. කොරෝනා වංගතය සමඟින් නතර කළ රූගත කිරීම් නැවත ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. කොරෝනා වෛරසය පැතිර ගිය පළමු අවස්ථාවේදී සල්මන්ගේ මුලිකත්වයෙන් ට්‍රක් රථයකින් අසරණ වූවන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදු විය. එම ට්‍රක් රථය 'රාධේ: යෝ මොස්ට් වොන්ටඩ් භායි' චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් විය. වසංගතය මධ්‍යයේ අසරණවූවන් වෙනුවෙන් එම ට්‍රක් රථය යොදා ගැනීමට සල්මන් සහ ඔහුගේ නිෂ්පාදන ආයතනය තීරණය කර තිබුණි.

'රාධේ : යෝ මෝස්ට් වෝන්ටඩ් භායි' අප්‍රේල් 21 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් තබන ලදී. මැයි 13 වැනිදා නිකුත් කරන බවට සල්මන් විසින් පසුව නිවේදනය කරන ලදී. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සිනමාහල් වසා දමා ඇති හෙයින් මෙහෙයුම් සිනමාහල් මෙන්ම අන්තර්ජාල ප්‍රවාහන ක්‍රමයට ඔස්සේ සී ප්ලෙක්ස් සහ ZEE5 ඔස්සේ එය නිකුත් කෙරුණි. මේ අනුව 'රාධේ : යෝ මෝස්ට් වෝන්ටඩ් භායි',හොලිවුඩ් චිත්‍රපටවලට සමාන දෙමුහුන් ලෙස නිකුත් කළ පළමු ඉන්දීය චිත්‍රපටය බවට පත්විය. චිත්‍රපට විශ්ලේෂකයන් සහ ප්‍රදර්ශකයන් පවසා සිටින්නේ වසංගත සමයේදී ඉන්දීය සිනමාව තුළ ගත් මෙම පියවර ඉන්දියානු සිනමා ව්‍යාපාරයේ 'හැරවුම් ලක්ෂ්‍යයක්' විය හැකි බවයි. සල්මන් ඛාන් සහ සී ස්ටූඩියෝ ප්‍රකාශ කර සිටින්නේ චිත්‍රපටයේ ආදායම කොවිඩ් - 19 සහන අරමුදල සඳහා පරිත්‍යාග කරන බවයි.

කෙසේ නමුත් 'රාධේ: යෝ මොස්ට් වොන්ටඩ් භායි' චිත්‍රපටය අයිඑම්ඩීබී දර්ශකයේ අඩු ලකුණු ලබා ගත් චිත්‍රපටයක් බවට පත් වී තිබේ. 2.0ක් වාර්තා කරමින් එය සල්මන් ඛාන්ගේ චිත්‍රපට එකතුවෙහි දෙවැනි අඩුම ලකුණු ප්‍රමාණය ලබා ගත් චිත්‍රපටය බවට පත් වී ඇත. අයිඑම්ඩීබී ශ්‍රේණිගත කිරීමේ 1.9ක් ලබා ඇති 'රේස් 3' ඔහුගේ චිත්‍රපට අතර අඩුම ශ්‍රේණිගත කළ චිත්‍රපටයයි. විචාරකයන් බොහෝ දෙනෙක් 'රාධේ' චිත්‍රපටයේ හූධාගේ රංගනය පැසසුමට ලක් කළ නමුත් තිර රචනය, කතාව සහ ඛාන්ගේ රංගනය විවේචනය කර තිබේ.