ඔස්කාර් උපහාර ලද බොලිවුඩ් තරු

මැයි 6, 2021

93 වැනි ඇකඩමි සම්මාන උලෙළ පසුගිය සතියේ අවසන් වුණේ මුල් වරට ආසියාතික කාන්තාවක් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගනිමින්. ඒ නෝමෑඩ්ලෑන්ඩ් චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම මෙවර සම්මාන උලෙළේ දී පසුගිය වසරේ මෙලොවින් සමුගත් සිනමා තාරකාවන් රැසක්, මෙන්ම සිනමාවට සම්බන්ධ ලේඛකයන්. කාර්මික ශිල්පීන් ගැනත් උත්සවය අතරතුර සිහිපත් කරන්නට එහි සංවිධායකයෝ පියවර ගත්තා. ඒ අතර ෂෝන් කොනරි, ක්‍රිස්ටෝපර් ප්ලම්මර්, චැඩ්වික් බොස්මන් වගේ හොලිවුඩ් සිනමා තාරකාවන් ගේ නම් සඳහන් වුණා. ජීවතුන් අතර නැතත් මේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා බොස්මන් නිර්දේශ වී තිබීම සංවේගී කාරණයක්. ඒ බ්ලැක් බොටම් චිත්‍රපටය උදෙසා. බොස්මන් මියගියේ පිළිකා රෝගයෙන්. කොහොම වුනත් වඩාත් වැදගත්ම දේ තමයි. මෙවර සමුගත් පිරිස සිහිපත් කිරීමේ දී බොලිවුඩ් සිනමාවේ කිහිප දෙනෙක් ද එයට ඇතුළත් වීම, ඒ රංගනවේදීන් වූ සෞමිත්‍ර චැටර්ජි, ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර්, සුෂාන්ත් සිං රාජ්පුත් සහ ඇඳුම් නිර්මාණ ශිල්පී භානු අත්‍යා. භානු අත්‍යා මුල් වරට ඇකඩමි සම්මානයක් දිනාගත් ඉන්දියානුවායි. ඇය එම සම්මානය දිනා ගත්තේ 1982 වසරේ දී ගාන්ධි චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන්.