චාල්බාස් නව පෙරළිය

අප්‍රේල් 15, 2021

 

ශ්‍රද්ධා කපූර් මේ වන විට බොලිවුඩයේ සිටින ජනප්‍රියම නිළියකි. ඇය මෑත අතීතයේ දී සිත්ගන්නාසුලු භූමිකාවන් කිහිපයක්ම ඉදිරිපත් කළ අතර ප්‍රධාන චරිතයක තවත් ව්‍යාපෘතියක් නිවේදනය කර සිටී. ශ්‍රීදේවි, සනී ඩියොල් සහ රජිනිකාන්ත් රඟපෑ 1989 වසරේ තිරගත කෙරුණු චාල්බාස් චිත්‍රපටය නව පෙරළියක් සඳහා සූදානම් වන අතර එම චිත්‍රපටය නම් ලබා ඇත්තේ චල්බාස් ඉන් ලන්ඩන් ලෙසිනි.

චාල්බාස් අධ්‍යක්ෂණය කළ පන්කාජ් පරාෂාර් විසින් අධ්‍යක්ෂණය කෙරෙන නව චිත්‍රපටයේ ශ්‍රද්ධා ද්විත්ව චරිත නිරූපණය කිරීමට නියමිතව ඇත. “චාල්බාස් ඉන් ලන්ඩන් සඳහා නිෂ්පාදකයින් මා තෝරා ගැනීම මට භාග්‍යයක් හා වාසනාවක්. මෙය මගේ පළමු ද්විත්ව භූමිකාව වන අතර එය ඕනෑම නළුවෙකුට නිළියකට මෙන්ම මටද අනිවාර්යයෙන්ම අභියෝගයක් වනු ඇත” ශ්‍රද්ධා පවසන්නීය. අධ්‍යක්ෂ පන්කාජ් පරාෂාර් පවසා තිබුණේ චාල්බාස් ඉන් ලන්ඩන් චිත්‍රපටය සඳහා ඇයට වඩා හොඳ කිසිවෙකු නොමැති බවයි.