වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නිලාර් ACPOS L සභාපති ධුරයට

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන්. කාසිම් සියලු සාමාජිකයන්ගේ ඒකච්ඡන්දයෙන් පත්ව තිබේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් කීර්ති පැස්කුවල්, සුනිල් ආර්. ගමගේ, සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ, භාතිය ජයකොඩි, රංග දසනායක සහ රාජ් තිල්ලෙයාන්පලම් යනාදීහු තේරී පත්වූහ.
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අරභයා ප්‍රබල මැදිහත් වීමක් කරන මේ සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි.
ගීතයේ කර්තෘ අයිතිය හිමි ශිල්පීන්ගේ හිමිකම් සහ සුබසිද්ධිය උදෙසා මේ සංවිධානය කටයුතු කරන අතර සියලුම ගී නිර්මාණ පිළිබඳ සංචිතයක් පවත්වාගෙන යමින් ඊට අදාළ කර්තෘක අයිතීන් සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකටය. ACPOSL එවන් සාමූහික සංගමයකි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට අනුව රටකට පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණි. එහි කටයුතු බුද්ධිමය දේපළ කාර්යාලය මඟින් අධීක්ෂණය කෙරේ.
මේ සංගමය ශ්‍රී ලංකාවේ ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ සංගීත ප්‍රකාශකයන්ගෙන් සමන්විතය. එමෙන්ම එය ලෝක බුද්ධිමය දේපළ සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි.