ළපටි සඳට ආදරය කළ අපෙන් සමුගත් අලිමාන්

ඔක්තෝබර් 5, 2023

ආරම්භක යුගයේ චලන චිත්‍රපට සැකසී තිබුණේ අනුපිළිවෙළට රූප ගත කිරිමෙනි. මෙම ඒකකාරි බවින් මිදෙන්නට සිතූ සිනමාකරුවා ඇතැම් ජවනිකා සිනමා කෘතියේ මුලට, මැදට හෝ අගට යෙදිය යුතුය යන සිද්ධාන්තය කෙරෙහි අවධානය යොමු කෙරිණ. එය ක්‍රියාවට නගමින් 1903 එඩ්වින් එස්. පෝස්ටර් විසින් චිත්‍රපට සංස්කරණය (FILM EDITING) සිනමාවට හඳුන්වා දෙන ලදි. අනතුරුව 1925 රුසියානු ජාතික සර්ජි අයින්ස්ටයින් විසින් ලෝක පූජිත බැට්ල් ෂිප් පොටෙම්කින් චිත්‍රපටය තුළින් සංස්කරණ ශිල්පයේ වැදගත්කම ඉස්මතු කොට පෙන්වීය. එතැන් පටන් සංස්කරණය ශිල්පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයාගෛ් සෙවණැල්ලක් බඳු තත්ත්වයට පත් වුණැයි පැවසීම බොහෝ දුරට සාවද්‍ය නොවනු ඇත.

සංස්කරණ ශිල්පියා වශයෙන් හඳුන්වන ඔහුගේ කාර්ය භාරය වන්නේ අධ්‍යක්ෂවරයකු ගේ මෙහෙයවීම මත කැමරා ශිල්පියකු ලවා රූපගත කරන රටාව හා මුලික ප්‍රකාශනයට යටත්ව ඡේදනය (ඛ්උඊ) කිරීමකින් දර්ශන සම්බන්ධීකරණය කිරීමයි. මේ සංකීර්ණ කාර්යේ නියැළුණු සිංහලයන් මෙන්ම මුස්ලිම් ජාතිකයන් ද වුහ. එනම් හත්වන සියවසේ මැද පෙරදිග රටවලින් වෙළදාම පිණිස ලංකාවට පැමිණි ඉස්ලාම් භක්තිකයන් සිංහල කාන්තාවන් විවාහ කර ගෙන මෙරටේ පදිංචිවීමෙන් ඇරඹුණු තෙවන ජන කොටසයි. එම ජාතිකයන්ගෙන් ද දේශීය සිනමාව පෝෂණය වුණි. ඔවුන් නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, රංගනයෙන්, සංගීතයෙන්, ගායනයෙන් සම්මාදම් වූහ. සංස්කරණයෙන් දායක වූ දෙතුන් දෙනා අතරේ එම්.එස්. අලිමාන් නැතිනම් මොහොමඩ් සයිෆ්ඩීන් අලිමාන් ඉකුත් සතියේ (සැප්තැම්බර් 20 වැනිදා) මිය ගියේය.

1946 ජූලි 30 වෙනිදින උපත ලද අලිමාන් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සංස්කරණය කළ ශිල්පියා ලෙස හඳුනා ගැනීමට ලැබෙයි. එය 110 පමණ ඉක්මවා යන සංඛ්‍යාවකි. සඳකට පහණ, කොටි වලිගය, සුද්දිලාගේ කතාව, කෙළිමඬල, සුදු අක්කා, පසදිය ගිනිසුළං පහස, බිතු සිතුවම්, අනුරාගයේ අන්නතය, සඳ යහනට, ගිනි කිරිල්ලි, භේරුණ්ඩ පක්ෂියා, අභිනික්මන ඉන් කිහිපයක් වෙයි. සෙසු චිත්‍රපට වාණිජ නිර්මාණයෝ වූහ. මේවා අතරේ ශ්‍රී ලංකා පාකිස්ථාන වන සාගර පෙරළිය, ඔක්කොම කපටියෝ, සෙනෙහසක රැජින හා නොපෙන්නු නිෂ්පාදන හතරක් තිබේ.

ස්වදේශීය දෙමළ භාෂිත සිනමාව පැත්තෙන් බලන විටත් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සංස්කරණය වී ඇත්තේ අලිමාන් අතිනි. එම චිත්‍රපට පුදිය කාට්රු, දෙයිවම් තන්ද වීඩු, තෙන්රලුම් පුයලුම්, නාන් උන්ගන් තෝලන්, ඉලෙයි නීලා, ඒමාලිගල් වෙයි. රත්තතින් රත්තමේ ඉන්දු ලංකා නිෂ්පාදනය මෙන්ම එහි සිංහල දෙබස් කැවූ පිටපත යුක්තියට චණ්ඩියා සංස්කරණය කළේත් ඔහු විසිනි. එලෙසම 1984 කොටි වලිගය සඳහා සරසවිය සම්මානය හිමි කරගත් අලිමාන් දෙවනුව 1992 කෙළි මඬල චිත්‍රපටය වෙනුවෙන් සරසවිය හා ස්වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට ජනාධිපති සම්මානය ලබා දුන්නේ බිතු සිතුවම් චිත්‍රපටයයි. ඒ 1997 දීය. එවන් සම්මානලාභි සංස්කරණ ශිල්පි එම්.එස්.අලිමාල් ජීවත්ව සිටියදී හෙළි කළ අතීත වගතුග වත්මන රන් සේ වටී.

මම මරදානේ සහිරා විද්‍යාලයෙන් අපේ භාෂාව හැරුණු කොට සිංහල ඉංගි‍්‍රසි භාෂාත් ප්‍රගුණ කළා. අනික කොම්පඤ්ඤ වීදියේ පදිංචි අයට භාෂා තුනම විතරක් නෙවෙයි ජා භාෂාවත් පුළුවන්. මගේ සමීපයන් සිංහල අය නිසා මම සිංහල භාෂාව හොඳට ලියන්න කියන්න දන්නවා. ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් හැටියට අපි කවුරුත් අනිවාර්යෙන්ම සිංහල බස දැන සිටිය යුතුයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය තමා අපේ සෙවණ.

අපේ අසල්වැසියෙක් සිටින ජේ. පී. ප්‍රනාන්දු කියලා. ඔහු ලංකා චිත්‍රාගාරයේ රසායනාගාර ශිල්පියා. පසු කලෙක එංගලන්තයේ ආතර් රෑන්ක් චිත්‍රාගාරයේත් සේවය කළා. ඔහුගේ මාර්ගයෙන් සිනමා නළුවකු හා අධ්‍යක්ෂවරයෙකුව සිටි කිංස්ලි රාජපක්ෂ හඳුනා ගත්තා. ඔහු මාව සංස්කරණ ශිල්පි සිරී කේ.විතාරණ වෙතට යොමු කළා. සිරි ඒ කාලයේ කේ.කේ. චිත්‍රපට සමාගමේ සංස්කරණ ශිල්පියා. ඒ කියන්නේ කේ.කේ. ජග්තියානිගේ චිත්‍රපට සංස්කරණය කළ ඔහුගේ සහායකයා වීමට අවස්ථාව උදාවුණා. සංස්කරණ මැදිරිය පිහිටා තිබුණේ මරදානේ ක්‍රවුන් සිනමාහලේ. ඔහුට සහාය වෙමින් කිංස්ලි රාපක්ෂගේ චිත්‍රපට කිහිපයකට මුලින් සම්බන්ධ වුණා. ඒ 1964.

ක්‍රවුන් සිනමාහල අසල නෙප්ස් කියා මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක් තිබුණා. එහි අධිපතිවරයා ගොඩ්වින් හාන්ති. ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපටයේ ආරම්භක කැමරා ශිල්පියා ෂන්මුගනාදන්. මට තනියම චිත්‍රපටයක් සංස්කරණය කරන්න මඟ විවර කළේ ඔහු. ඒ චිත්‍රපටය කොහොම කියන්නද නමින් 1975 තිරයට ආවා. එතැන් සිට ස්වාධීනව වැඩ කළා. ඔය වැඩ කළ චිත්‍රපටවලින් ඉලෙයි නීලා චිත්‍රපටය මගේ මතකයෙන් කවරදාකවත් ඈත් වෙන්නේ නැහැ.

ඉලෙයි නීලා කියන්නේ ළපටි සඳ. මේ චිත්‍රපටයේ නිෂ්පාදන අධ්‍යක්ෂවරයා ෂන්. ඔහු ප්‍රකට කැසට්පට නිෂ්පාදකවරයෙක් වගේම සංගීතඥයෙක්. කලියුග කාලේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ඔහු. මම රැඟුම් පාලක මණ්ඩලයට පෙන්වීම සඳහා ඉලෙයි නීලා මුල් පිටපත ලංකාවට රැගෙන එන විට 1983 ජාතිවාදි කලබල උත්සන්න වෙලා. නිෂ්පාදකවරයාගේ නිවසට පවා ගිනි තියලා. ඔහු පිට රටකට ගිහිල්ලා. අන්තිමේ ගාමිණි ෆොන්සේකා මැදිහත්වීම පිට එම පිටපත සිලෝන් තියටර්ස් භාරයට පත් කළා. පසුව රොබින් තම්පෝ වෙතට ගියෙත් ඒ පිටපතයි. ඔහුට නිසියාකාර පැවරීමක් නැති නිසා චිත්‍රපටය පෙන්වා ගන්න බැරිවුණා.

ඉලෙයි නීලා චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා ගාමිණි ෆොන්සේකා. ඔහු කළ දුෂ්ට චරිත නිරූපණය හරිම ප්‍රබලයි. ප්‍රධාන චරිතය රඟ පෑ ත්‍යාග රාජා ප්‍රකට ඉන්දිය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු දර්ශන තලයට ආවේ ගාමිණීට ආචාර කරලා. කාන්තා චරිත පණ පෙවු ශ්‍රීපි‍්‍රයා හා රාධිකා ඉන්දිය නිළියන්. පැරැණි ද්‍රවිඩ නළු එම්.කේ. රාධා හා පැරැණි සිංහල නිළි රීටා ඩොරින් ප්‍රනාන්දුගේ දියණිය වන රාධිකා රංගන දායකත්වය දුන් චිත්‍රපටය මෙයයි. සෙසු චරිත සඳහා එම්. රාමදාස්, නීලකන්ටන් මුත්තයියා අපේ රටෙන් එක්ව සිටියා. කැමරා ශිල්පියා එම්.ඒ.ගෆුර් සංගීත අධ්‍යක්ෂවරයා ක්ලෝඩ් ප්‍රනාන්දු. ඔහුගේ සංගීතයට පසුබිම් ගායනය කරන්න එස්.පී. බාලසුබ්‍රමනියම් හා ඔහුගේ නැඟණිය ශෙයිලා ලංකාවට ආවා.

 

[email protected]