වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්...

හිත පුරා මල් පිපෙන
වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන
වසන්තය ඇවිදින්...
රන් ඕවිල්ලක පාවේ...//
චමත්කාර යෞවනයේ...
පිපෙරෙන ගිනි කඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලසමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතූ සේ පින් පිරූ හදින්
පුසුඛ දැතේ රන් ලේ කිරි කඳුළේ
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බිඳී එන පැතුම් දියේ
සිඟිති තොලඟ රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතුවේ... බලාපොරොත්තුවේ
ගී පද - සුනිල් විමලවීර
ගී නද - සංගීත් වික්‍රමසිංහ
ගී හඬ - අමරසිරි පීරිස්
චිත්‍රපටය - ලේ කිරි කඳුළු
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ, උදයකාන්ත වර්ණසූරිය විසින් සත්‍ය කතාවක් පාදක කරගනිමින් සිංහල සිනමාවට දායාද කළ ඔහුගේ 08 වැනි සිනමා පටය ‘ලේ කිරි කඳුළු’ ය. මෙය 2003 වසරේ මැයි මස 09 දින තිරගත වූ 987 වැනි චිත්‍රපටයයි.
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් ගලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පාවේ... //
චමත්කාර යෞවනයේ...
උපේන්ද්‍ර හා වීණා තරුණ විවාහක යුවලක්, කාලයක් පුරා සිහින දකිමින්, පෙරුම් පුරමින් බලාපොරොත්තු වූ ඔවුන්ගේ ප්‍රාර්ථනය ඉටු වී තිබේ. ඒ ඔවුන් දෙමපියන් වීමේ සුබ සිහිනයකි. ඇය, සිය කුලුඳුල් දරුවා කුස තුළ දරාගෙන ඒ අපිරිමිත සොම්නස ඔහු හා බෙදාගනී.
සැබැවින්ම එය, ඔවුන් දෙදෙනාටම වසන්ත සමයකි. ඔවුන්ගේ හදවත් ඒ සොම්නසින් පිරී ඉතිරි ගොසිනි. දිනෙන් දින, කුස තුළ වැඩෙන බිලිඳා මෙලොව එළිය දකින තුරු, ඒ බිලිඳු කිරි සිනහා මුවග දකින තුරු ඒ නොවිසිලිමත් දෑස් පෙර මඟ බලා හිඳියි. දරාගත නොහැකි තරම් ආදරණීය හැඟුමන් සිත් තුළ දරාගෙන ඔවුන්ගේ, සුන්දර කැදැල්ල තව තවත් සොම්නසින් පුරාවාලන්නට ඔවුන් සුදානම්ව සිටී.
ජීවිතය යනු අප සැලසුම් කරන, අප බලාපොරොත්තු වන හෝ අප සිහින දකින දේ, ඒ අයුරින්ම ඉටුවන තැනක් නොවේ. බොහෝ විට ඒ සෑම ප්රාර්ථනයක්ම සොබාදම් ගීතය හා බැඳී තිබේ. අප කැමති වුවත් අකමැති වුවත් ලෝක ස්වභාවය එයයි. කාලය ජීවිතයේ බොහෝ ගැටලුවලට විසඳුම් සොයා දෙනු ලබයි. ඔවුන් කාලයක් පුරා දුටු ඒ සිහිනය ඈ ඉටු වී තිබේ.
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බැඳී එන පැතුම් දිගේ
සිඟිති තොල රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතුවේ... බලාපොරොත්තුවේ
මහ සයුරේ රළ පෙළ සේ ඇති වෙමින් නැතිවෙමින් නිමා නොවන, ජීවන සිතුම් පැතුම් හමුවේ ඉටු වනු පැතුම මොනතරම් නම් සුන්දර ද?
බොහෝ විට විවාහක යුවළකගේ ආදරයේ කූට ප්‍රාප්තිය වනුයේ, දරු සුරතල් බැලිමය. මෙම ගීතයෙන් ඒ සිහිනය ඉටුවීමේ පෙර මං බලමින් ජීවිතය විඳින සොඳුරු යුවළකගේ ආදරණීය ප්‍රාර්ථනාවක්, ඉටුවීමේ ප්රහර්ශය පිළිබඳව අපූරුවට ගැයේ.
ගීපද සංකල්පනාව තුළ ඒ ප්‍රාර්ථනය ඉටුවීම පිළිබඳ සොම්නස අපූරුවට කැටිකොට තිබේ. එසේම සංගීත් වික්‍රමසිංහ ගේ මියුරු සංගීතයට, සිය භාවමය හඬ මුසුව මඟින් අමරසිරි පීරිස් ගායන ශිල්පියා විසින් උපරීම සාධාරණය ඉටුකොට තිබේ.
මෙම ගීතය මඟින් ඔවුන්ගේ සිහිනය ගැන කියැවුණ ද චිත්‍රපටය හදකම්පනය කරන කතාවකින් නිමා වේ. නොසිතූ ලෙස සිදුවන රිය අනතුරකින් ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනා බිඳ වැටෙන අයුරුත් අනපේක්ෂිතව මියගිය දරුවකු බිහිකළ මවකගේ කම්පිත වේදනාවේ කඳුළු ගැන කියවෙන, සත්‍ය අත්දැකීමක් පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක, රසික හදවත් කම්පනය කිරීමට සමත් වේ.
සියල්ල ලෝ දහම හා බැඳී පවතී යන්න සනාථ කෙරෙමින් අවසන් වන මෙහි නිල්මිණි තෙන්නකෝන්, ටොනී රණසිංහ ඉතා දක්ෂ රංගනයක නිරත වේ. බුද්ධික ජයරත්න, සනත් ගුණතිලක, ශි‍්‍රයාණි අමරසිංහ, නිසංසලා ජයතුංග, පාලිත සිල්වා, දයාදේව එදිරිසිංහ ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය, ආදායම් අතින් ද ඉතාම සාර්ථක විය.
මේ ගීතය රචනා කළ සුනිල් විමලවීර වසරේ හොඳම ගීත රචක ලෙසත් ගීතය ගැයූ අමරසිරි පීරිස් වසරේ හොඳම ගායකයා ලෙසත් සරසවිය සම්මානයට පාත්‍ර විය.