හරවත් සිනමාවකට නිහඬව කැපවී සමුගත් වර්ණසිරි

මැයි 4, 2023

පුවත් සඟරාවක් දශක සතරක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. රාජ්‍ය කේන්ද්‍රීය සඟරාවකට වුව මෙ කරුණ අදාළ ය. මේ පසුබිම තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් සේ ‘දෙසතිය’ පුවත් සඟරාව සිය හතලිස් පස් වසරක ගමන් මඟ පසුගිය දා සම්පූර්ණ කළේ තවත් පස් වසරකින් එළඹෙන ස්වර්ණ ජයන්ති සැමරුම සිහි ගන්වමිනි. ‘දෙසතිය’ මේ තරම් දුරක් ගමන් කරන්නට එහි සමාරම්භක ක්‍රියාකාරීන් ලබාදුන් අනුප්‍රාණය අතිමහත් ය. ඇත්ත වශයෙන්ම 'දෙසතිය' හි පදනම නිසි ප්‍රමිතියට අනුව සකස් කරනු ලැබුවේ ඔවුන් විසිනි. 'දෙසතිය' පළමු ප්‍රධාන සංස්කාරක ධුරය ඉසිලූ ආචාර්ය සරත් අමුණුගම පවසන්නේ ඩී. බී. විජේතුංග හා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් යන කැබ්නට් අමාත්‍යවරුන් මෙහිලා දැක්වූ උනන්දුව කැපී පෙනෙන බව යි. එසේම පළමු සංස්කාරකවරයා වූ සිරිල් බී. පෙරේරා ද, දෙවන සංස්කාරකවරයා වූ ඩී. බී. වර්ණසිරි ද ඔහුගේ ඇගැයීමට ලක් වේ. 'දෙසතිය'ට විසි වසරක් සපිරීම නිමිත්තෙන් වර්ෂ 1998 මාර්තු 15 කලාපයට 'දැලි පිහියෙන් කිරි කන දෙසතිය' මැයෙන් සටහනක් එක් කරමින් මෙසේ අදහස් දක්වන ආචාර්ය සරත් අමුණුගම වැඩි දුරටත් කියා සිටින්නේ යම් නිමිත්තක් අරභයා වූ ගැඹුරු විශ්ලේෂණයක් වෙනුවෙන් දිනපතා පුවත්පතකට ඇති අවකාශය ප්‍රශ්නකාරී වන වග ය. එනමුදු 'දෙසතිය' යම් නිමිත්තක් ගැඹුරෙන් විශ්ලේෂණය කරලීමට කැප වී සිටින්නේ යැයි ය ඔහු සඳහන් කරයි. 'ටයිම්ස්', 'නිව්ස්වීක්' බඳු ලෝ ප්‍රකට පුවත් සඟරා ද ඔහු මෙහිදී පාඨක අවධානයට ලක් කරන්නේ 'දෙසතිය' පිළිබඳ සිය නිර්වචනය තහවුරු කරලීමේ අටියෙනි.

උක්ත සමාරම්භක 'දෙසතිය' සංස්කාරකවරුන් දෙදෙනා අතරින් සිරිල් බී. පෙරේරා සිනමා විචාරකයකු හා සිනමා ලේඛකයකු ලෙස ඉටු කළ කාර්යභාරය සුවිශේෂ ය. 'දෙසතිය' ට එක් වීමට පෙරාතුව ම ඔහු ලාංකේය සිනමා කලාපය සාරගර්භ කරලීමට සිය දැක්ම මෙහෙය වූ බව සත්‍යයකි. ඩී.බී. වර්ණසිරි ද 'දෙසතිය' සංස්කාරකවරයා වීමට පෙරාතුවම සිනමාව විෂයෙහි හඳුනා ගත හැක්කෙකි. ඔහුට පසුව 'දෙසතිය' සංස්කාරකවරයා වූ ගාමිණී විජේතුංග ද ප්‍රකට සිනමා විචාරකයකු වූ බව මෙතැන දී සඳහන් කළ යුතුම ය.

මෙයින් කියැවෙන්නේ ලාංකේය සිනමා සමාජය පොහොසත් කරලනු පිණිස සපැමිණි සිනමා ප්‍රකාශන අතරට 'දෙසතිය' එක් වන බව යි. පසුගිය දා සිය කීර්තිමත් දිවි සැරිය නිමා කළ ඩී. බී. වර්ණසිරි ඊට දායක වූ පළමුවැන්නකු වන බව යි. කෙසේ වුවද සිනමා සහභාගීත්වය උත්කර්ෂයට නැංවෙන නිසා ඔහුගේ මාධ්‍ය ජීවිතයේ පෘථුල බව සැඟවෙන්නට ඇති ඉඩ කඩ නො සලකා හැරිය යුතු නො වේ.

වර්ෂ 1972 දී පමණ ප්‍රකාශිත 'පරසතු' සිනමා පුවත්පතේ කර්තෘ ධුරය දරන්නේ වර්ණසිරි ය. මේ බව ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ 'ශ්‍රී ලාංකේය සිනමා වංශය' ග්‍රන්ථයේ 'ශ්‍රී ලාංකේය සිනමා පුවත්පත් නමාවලිය යටතේ සඳහන් වෙයි. ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා පවසන්නේ ඊට මහින්ද අල්ගම ද එක්ව සිටි බවත්, යම් මතභේදයක් නිසා ඔහු චිත්‍ර ශිල්පී වටරැක ප්‍රේමදාසගේ සහය ඇතිව 'විකසිත පරසතු ' මැයෙන් නව සිනමා පුවත්පතක් ආරම්භ කළ බවත් ය.ආතර් යූ. අමරසේන සිය '60 වසරක සිංහල සිනමා ප්‍රකාශන' ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදයේ සඳහන් කරන 'විකසිත' සිනමා පුවත්පත මේ 'පරසතු' විය යුතු ය. එය ආරම්භ කරන විට වර්ණසිරි 'දවස' පුවත්පතේ සේවය කරමින් සිටි බව ද ආතර් යූ. අමරසේන පවස යි. වර්ණසිරි 'දවස' පුවත්පත් ආයතනයෙන් නිකුත් වූ 'සන්' ඉංග්‍රීසි පුවත්පතේ ද සේවය කළේ ය.

'ලක්බිම' දිනපතා පුවත්පතේ සමාරම්භක කර්තෘ වූයේ ද වර්ණසිරි ය. මෙ සමය සිහිපත් කරන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර පවසන්නේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය වෙනුවෙන් වර්ණසිරි දැඩි සැලකිල්ලක් දැක්වූවකු වන බව යි.

වර්ණසිරිගේ සිනමා සහභාගීත්වය පිළිබඳ සිනමා ලේඛක රූපසේන සිල්වා බොහෝ කරුණු ගෙන හැර පාන්නට සූදානම් ය. මෙතැන විදේශීය සිනමාපට ද වේ. විදේශීය සම්බන්ධතා සහිත සිනමාපට ද වේ.එසේම ඔහු සිනමා අධ්‍යක්ෂවරයකු ද වන බව අමතක නො කළ යුතු ය. මුද්‍රිත මාධ්‍යයේදී සිනමාව දුටු ආකාරය සිය සෘජු සිනමා අවතීර්ණ වීම් වෙතින් ගම්‍ය කරන්නට ඔහු ප්‍රමාණවත්ව සමත් වූ බව පෙනේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'ද ගෝඩ් කිං' සිනමාපටයේ දෙවන සහය අධ්‍යක්ෂවරයා වූයේ වර්ණසිරි ය. 'ගෝඩ් කිං' ලෙස්ටර්ගේ සිනමා භාවිතයේ එන අපූර්ව සිනමාපටයකි. එය අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත සිනමාපටයක් සේ අද දවසේදී ද සඳහන් කෙරෙන බව සිහිකටයුතු ය. එසේම 'ද ගෝඩ් කිං' අතිශය සංකීරණ හා අවුල් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ද වන බව යි කියැවෙන්නේ. වර්ණසිරි මේ අවසාන ඵලය වෙනුවෙන් පෙනී සිටින්නට ඇත.

මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකා - එංගලන්ත හවුල් නිෂ්පාදනයක් වූ 'සීතාදේවි ' හි සිංහල දෙබස් කැවීමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ වර්ණසිරි බව යි 'ඕ.සී.අයි.සී. චිත්‍රපට වාර්ෂිකය 31 32 33' හි සඳහන් වන්නේ.

එසේම ආසියානු සිනමා කේන්ද්‍රයේ 'චිත්‍රපට වාර්ෂිකය 94' හි සඳහන් වන්නේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ 'නොමියෙන මිනිසුන්' හි සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් ද ඔහු කටයුතු කළ බව යි.

රූපසේන සිල්වා කියා සිටින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'යුගාන්තය, මනික් සන්ද්‍රසාගරගේ 'කළු දිය දහර' හා 'කොළඹ සන්නිය' යන සිනමාපට සඳහා ද වර්ණසිරිගේ සෘජු සහභාගීත්වය සහතික වූයේය යන්න ය.

ගාමිණී ෆොන්සේකාගේ 'උතුමාණෙනි' හා 'සාගරයක් මැද' යන සිනමාපටවල විධායක නිෂ්පාදකවරයකු ලෙසත් වර්ණසිරි කටයුතු කළ බව රූපසේන සිල්වා වැඩි දුරටත් පවස යි. මෙතැනට චන්ද්‍රන් රත්නම්ගේ 'ආදර කතාව' සිනමාපටය ද එක් කෙරේ.

වර්ණසිරිගේ මෙම සිනමා සහභාගීත්වය සාධක දෙක තුනකින් ම සමන්විත ය. පළමු කොටම ඔහු විචාරක අවධානයට නො මඳව පාත්‍ර වන විවාදාත්මක සිනමාපට කෙරෙහි අපමණ උනන්දුවක් දැක්වූ අයකු වන බව යි. දෙවැන්න වන්නේ පුළුල් නිෂ්පාදන පසුබිමක් සහිත සිනමාපට සම්බන්ධයෙන් ඔහු දැක්වූ කැමැත්ත යි. තෙවැන්න වන්නේ ගාමිණී ෆොන්සේකාගේ සිනමා රූපණය අරභයා වූ මනාපය යි. 'සීතාදේවි ' , 'නොමියෙන මිනිසුන්' , 'යුගාන්තය', උතුමාණෙනි' හා 'සාගරයක් මැද' යන සිනමාපටවල ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගාමිණී ෆොන්සේකා යි.

වර්ණසිරි සිය පළමු හා එකම සිනමා අධ්‍යක්ෂණය වූ 'සත්‍යග්‍රහණය' හි ප්‍රධාන චරිතය නිරූපණයට ඇරියුම් කළේ ද ගාමිණී ෆොන්සේකාට ය. ගාමිණී එහි එකිනෙකට වෙනස් චරිත ද්විත්වයක් නිරූපණය කළේ 'සාගරයක් මැද' ද සිහි ගන්වමිනි.

වර්ෂ 1987 මාර්තු මස 13 දා සිට යි 'සත්‍යග්‍රහණය' හි මහජන ප්‍රදර්ශනය ආරම්භ වූයේ. තිරනාටකය රචනා කළේ ද වර්ණසිරි ය.

වර්ණසිරිගේ මාධ්‍ය ඇල්ම 'සත්‍යග්‍රහණය' වෙතින් ද පිළිබිඹු කෙරිණි. මෙහි එන්නේ මාධ්‍ය අයිතිවාසිකම් හා මාධ්‍ය නිදහස පිළිබඳ කරුණු සාකච්ඡා කෙනෙන සිදුවීම් මාලාවකි. එහි දේශපාලනික ලක්ෂණ හසු කර ගැනීමට ඔහු කිසිවිටෙකත් නො පැකිළුණු බව පෙනේ. කෙසේ වෙතත් 'සත්‍යග්‍රහණය' ලාංකේය දේශපාලනික සිනමාවේ අවස්ථාවක් සේ හඳුන්වා නො දෙන තරම් ය. නිශ්චිත දේශපාලනික තීරණ, දේශපාලනමය සිදුවීම්, දේශපාලනිකව වැදගත් වන චරිත සෘජුව ම ගෙන එන සිනමාපටයක් සේ 'සත්‍යග්‍රහණය' හඳුන්වා දීම වඩා සුදුසු බව පෙනේ. මෙබඳු සිනමාපට අතලොස්සක් පමණි ලාංකේය සිනමාවේදී දත හැකි වන්නේ. ගාමිණී ෆොන්සේකා මෙතැන දී ද ප්‍රමුඛ ය. 'සාගරයක් මැද', 'කොටි වලිගය' හා 'නොමියෙන මිනිසුන්' මෙතැනට අදාළ සිනමාපට යි . එසේම පසුකාලීනව නිර්මිත උදයකාන්ත වර්ණසූරියගේ 'රාජ්‍ය සේවය පිණිසයි' හා බෙනට් රත්නායකගේ 'කවුරුවත් දන්නේ නෑ' යන සිනමාපට ද මෙතැනට කැඳවීම තර්කානුකූල ය.

අදින් අඩ සියවසකට පමණ පෙරාතුව සිදුවූ පුවත්පත් තහනමක් හා එහි දේශපාලනික පසුබිමත්, සමකාලීන දේශපාලනික ව්‍යාකූල බවත් 'සත්‍යග්‍රහණය' හි නිරපණය වන්නේ ප්‍රබලාකාරයෙන් මතු කරන චරිත ගණනාවක් සමඟ ය. රජයේ ප්‍රවෘත්ති බලධරයා හා වගකීම් විරහිත අමාත්‍යවරයාගේ චරිත නිරූපණයේ දී ගාමිණී ෆොන්සේකා සිය සමත්කම් අභියෝගාත්මකව විදහා පා යි. ප්‍රධාන පෙළේ දිනපතා පුත්පතක හිමිකරු, ප්‍රධාන කර්තෘ , කර්තෘ මාණ්ඩලිකයන් , ඡායාරූප ශිල්පියා, ඔහුගේ පෙම්බරිය, නියෝජ්‍ය අමාත්‍යවරයා යන චරිත ඔස්සේ ද වර්ණසිරි පවසන්නේ මාධ්‍ය මර්දනය මැතිවරණ තීන්දු වෙතින් නවතාලීම හිතලුවක් පමණක් ය යන්න ය.

වර්ෂ 1987 මාර්තු මස 30 වන දා පළවූ 'විචිත්‍ර ' සිනමා පුවත්පතට අදහස් දක්වමින් වර්ණසිරි පවසන්නේ ජන මාධ්‍යයට සම්බන්ධ වූවන් පොදු ජනයා මුහුණ දුන් විෂමතා හා අභියෝග විෂය වූ නිර්මාණ බිහි කළ ද, තමන් මුහුණ දෙන විෂමතා හෝ අභියෝග පිළිබඳ නිර්මාණ බිහි නො කරන බව ය. 'සත්‍යග්‍රහණය' ඊට තමා ලබා දුන් පිළිතුරක් ය යන්න යි ඔහු අවධාරණය කළේ. ජී.එච්.කේ.රත්නසිරි සමඟ කළ මේ සම්මුඛ සාකච්ඡාවේ දී වර්ණසිරි වැඩි දුරටත් පවසන්නේ තමා 'සත්‍යග්‍රහණය' අධ්‍යක්ෂණයෙන් තෘප්තිමත් බව යි. මෙහි එන පුවතට එක්තරා සමයක බලපෑ ප්‍රශ්නයක් පාදක වුවත් , එය සර්වකාලීනව සිදුවන්නක් බව ද ඔහු පවස යි.

'සත්‍යග්‍රහණය' හි එන එක් උද්වේගකර දර්ශනයක් රූ ගත කෙරුණේ කොළඹ මහා නගර සභා ගොඩනැගිල්ල අබියස දී ය. මේ සත්‍ය සිදුවීමකි. ඩී. කීරගලආරච්චි 'සිත්සර' සිනමා පුවත්පත වෙනුවෙන් මෙම රූ ගත කිරීමේ අවස්ථාව වාර්තා කළේ පාඨකයා ත්‍රාසයෙන් මුසපත් කරමිනි. වර්ෂ 1982 නොවැම්බර් මස 18 වන දා 'සිත්සර' හි මේ වාර්තාව පළ වන්නේ 'නගර ශාලාව ඉදිරිපිට මහා යුද්ධයක්' යන සිරස්තලය යටතේ ය. ත්‍රිවිධ හමුදා භටයන්ටත්, දහසක් සෙනඟටත් එකවර විධාන කරමින් ක්‍රියාශීලීව හැසිරුණු අධ්‍යක්ෂ ඩී.බී.වර්ණසිරි, හොලිවුඩ් චිත්‍රපට ජවනිකාවක රඟපාන අප්‍රිකානු චිත්‍රපට නළුවකු ලෙසින් තමා දුටු බවත්, සිංහල සිනමාවේ නව යුගයක අරුණළු නැඟෙන අන්දම ඉන් දක්නට ලැබුණු බවත් කීරගලආරච්චි තව දුරටත් පවස යි.

මෙම අමතක නො වන ජවනිකාව සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රී ටී.එම්.සංඝදාස ද අදහස් දක්වන්නේ වර්ණසිරිගේ ප්‍රයත්නයට වටිනාකමක් එක් කරමිනි. වර්ෂ 1974 මැයි මස 22 වන දා මේ සැබෑ සිදුවීමට නගර සභා සේවකයකු ලෙස තමා ද මුහුණ දුන් බව ලේඛක ඩී. කීරගලආරච්චි හමුවේ ඔහු කියා සිටින්නේ වර්ෂ 1982 දෙසැම්බර් මස 26 වන දා 'සිත්සර ' සිනමා පුවත්පතට ය.

වර්ණසිරිගේ සිනමා සහභාගීත්වය ලාංකේය සිනමාවෙන් ඔබ්බට ද විහිදුණු බව රූපසේන සිල්වා පවසන්නේ මෙයට අදාළ වැඩි දුර තොරතුරු සොයා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. මේ අනුව වර්ණසිරි වර්ෂ 1969 දී මුල් වරට ප්‍රදර්ශනය වූ බව කියවෙන 'ද ග්‍රීන් එමරල්ඩ්' නැමැති ශ්‍රී ලංකා - ජර්මන් සිනමාපටයේ සම්බන්ධිකාරකයකු ලෙස කටයුතු කරන්නට ඇති බව පෙනේ. රූපසේන 'ද ග්‍රීන් එමරල්ඩ්' සනිටුහන් කරන්නේ සිය 'දේශීය චිත්‍රපට නාමාවලිය' ග්‍රන්ථයේ 'හවුල් නිෂ්පාදන ' යටතේ ය. එසේම එහි දැක්වෙන ශ්‍රී ලංකා- ඉතාලි හවුල් නිෂ්පාදනයක් වූ 'මවුන්ටන් ඉන් ද ජන්ගල්' , ශ්‍රී ලංකා - එංගලන්ත හවුල් නිෂ්පාදනයක් වූ 'රැම්පේජ් ', ශ්‍රී ලංකා - ප්‍රංශ හවුල් නිෂ්පාදනයක් වූ ' නෝ බොඩි ඉස් පර්ෆෙක්ට්' යන මෙරට දී රූ ගත කළ සිනමාපටවල සහය අධ්‍යක්ෂණයට හෝ දර්ශන සම්බන්ධීකරණයට ඔහු එක්වූ බවත් රූපසේන පවස යි.

එමෙන්ම මෙරට දී රූ ගත කිරීම පමණක් සිදු කළ විදේශීය සිනමාපට කිහිපයකට ද වර්ණසිරි සම්බන්ධ වූ බව ද රූපසේන කියා සිටී. 'ටාර්සන් ද ඒප් මෑන්' හා 'දි එලිෆන්ට් බෝයි' මේ අතර වේ.

1970 හා 1980 දෙදශකය තුළදී වර්ණසිරි ලද මෙම අත්දැකීම් සමකාලීනව වෙනත් ලාංකිකයකු ලැබුවේ ද යන්න සැක සහිත ය. මේ සමඟ මෙරටට විදේශ විනිමය සිනමාවෙන් රැගෙන ආ මුල් පෙළේ පුද්ගලයකු බවට වර්ණසිරි පත්වන්නේ නිරායාසයෙනි. මුද්‍රිත මාධ්‍යයේ කාර්ය බහුල ව සිටිය දී වර්ණසිරි මෙවන් කටයුත්තක නියැලීම තරමක විස්මයක් ද දනව යි.

සිනමා ලේඛක ජී. එච්.කේ.රත්නසිරි වර්ෂ 1987 මාර්තු මස 30 වන දා පළ වූ 'විචිත්‍ර' සිනමා පුවත්පතට පැවසු කරුණකින් වර්ණසිරිගේ කාර්යභාරය පිළිබඳ පමණක් නොව දැක්ම හා අනන්‍යතාව පිළිබඳ සුවිශේෂ අදහසක් සරි කර ගත හැකි ය. දවසේ පැය විසි හතර කල්පනාකාරීව හා සැලසුමකින් යුතුව පාවිච්චි කළහොත් තත්පරයකට පැයක වටිනාකමක් ලබා දිය හැකි බව වර්ණසිරි නිතර කී බව යි මෙම අදහස වන්නේ. වර්ණසිරිගේ ජීවිතය අවලෝකනයේදී මේ අදහස පසක් වන්නේ කිසිදු බාධාවකින් තොරව ය.

 

[email protected]