ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට හැමටම වඩා මා ගැන දුක හිතේ මට

මාර්තු 30, 2023
සඳ මෝරා උඩුගුවනට 
එන කලට 
ඔබේ රුව පෙනෙනවා
කවුළු දොරින් මට 
ඉකිලන හදින් 
තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන 
දුක හිතේ මට
පහන් දොරින් හිරු 
එබිකම් කරන සඳ
මා අසලින් නුඹ
නැතුවා දුකකි
සීතල නිය තුඩින් 
මා ගත රිදෙන සඳ
ඔබේ මුදු පහස මට  
නැතුවා දුකකි
 
ගී පද - ආචාර්ය තිස්ස අබේසේකර
ගී නද - කාලෝ විජේසිරි
ගී හඬ - විශාරද මාලිනී බුලත්සිංහල
චිත්‍රපටය - වත්සලා අක්කා
 
මානව සබඳතාවල පැවැත්ම රැඳී තිබෙනුයේ ප්‍රේමය හේතුවෙනි. එකිනෙකා කෙරෙහි ඇතිවන බැඳීම, ආකර්ෂණය, ළෙන්ගතුකම, සුහද බව ආදී සියල්ල පරයා, මානව බැදීමේ ප්‍රබලතම සහ සම්බන්ධය වනුයේ පේ‍්‍රමයයි. පේ‍්‍රමය වනාහි, අර්ථ ගැන්විය හැකි  පොදු හැඟීමක් නොවුණ ද, එය එකිනෙකාට ලැබෙන, දැනෙන, විඳින ආකාරය හා ඔවුනගේ ප්‍රතිචාර හා හැඟීම් මත වෙනස් විය හැකි පුද්ගල බද්ධ වූ හැඟීමකි.
 
ආදරය සොයන, ආදරය දැනෙන, ආදරය විඳින්න ඕන සිතකට ඒ ආදරය ඒ ලෙසටම හිමි වූ විට ඇතිවන හැඟීමේ ප්‍රහර්ශය කෙතරම් සොම්නස් සහගත වේද?
එසේම ඒ ලෙස විඳින්නට මඟබලා සිටින පේ‍්‍රමයක් හිමි නොවුණු විට ඒ හද තුළ ඇතිවන තනිකම, පාළුව දොම්නස කෙබඳු වේද? එවන් මොහොතකට හදවතට දැනෙන ‘හුදකලාව‘ කෙතරම් දරුණු ද? බියකරු ද? පීඩාකාරී ද දැනෙන්නේ, එය සැබැවින්ම අත්විඳි හදවතක්ම පමණි.
 
උදාහිරු පැමිණිය ද, අවරින් සවස බැස ගිය ද, සඳ පායා හිනහුණ ද, රැය පහන්කර සැඟවුණ ද, එවන් හදකට දැනෙන විරහවේ දොම්නස, කිසි විටක හෝ සුවපත් නොවේ.
මේ ගීතය ගයන ඇයත් විරහ දුකින් වැලපෙන සිතැත්තියකි.
 
 සඳ මෝරා උඩුගුවනට 
එන කලට
ඔබේ රුව පෙනෙනවා
කවුළු දොරින් මට...
ඉකිලන හදින් 
තනි යහනේ ඉන්න විට 
හැමටම වඩා මා ගැන 
දුක හිතෙයි මට...
 
මෙය විප්‍රලම්බ ශෘංගාරයේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින්  ගැහැනියක් ‘තනිකමේ’ වේදනාව දරාගන්නා අයුරු අති සියුම් ලෙස දනවමින් ගයන ගැයුමකි. විරහවේ දොම්නස දැඩි ආත්මානුකම්පාවකින් ඇය තනිවම විඳගනියි. 
 
භෞතික සැප සම්පත් කොතරම් තිබුණ ද, තමනට දැනෙන තමන් අපේක්ෂිත පේ‍්‍රමය හිමි නොවුණු විට ගැහැනියකට දැනෙන හැඟීම කෙසේ ද යන්න, ගීතයෙන් මනාව දනවයි. සඳ මෝරා උඩුගුවනට පැමිණෙන තුන්යම රෑ පුරාම ඔහු නොමැති ජීවිතයට දැනෙන හිස් බව ඇය තනිවම විඳියි. රෑය ගෙවෙමින් හිරු පහන් දොරින් නැගෙන විටත් ඇය අවධියෙන්. නිදිනොමැති රැය පුරාම ඔහුගේ මතකය ඈ හද පෙළු බව පවසයි. 
 
සීතල නිය තුඩින් 
මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට 
නැතුවා දුකකි...
 
පේ‍්‍රමයෙන් එකිනෙකා විඳින සුඛය තරම් සුවයක් ලොව නැති තරම්ය. එය මුදු බැල්මක්, සිනහවක්, ස්පර්ශයක් වැනි කුමක් හෝ විය හැකිය. පේ‍්‍රමය තුළ සියුම් තැන් බොහෝය. ගීතය පුරාම ඔහුගේ පේ‍්‍රමය, සුවය නොලැබීමේ ශෝකයෙන් ඇය පෙළෙන වේදනාව හැඟුම්බරව ගයයි. 
 
සිංහල සිනමා වංශකතාවේ 611 වෙනි සිනමාපටය ලෙස රිදී තිරය හැඩගැන්වුයේ ‘වත්සලා අක්කා’ චිත්‍රපටයයි. 1985 ජූනි මස 28 දින එය තිරගත විය. 
 
තිස්ස අබේසේකර, නදීකා ගුණසේකර, ශි‍්‍රයාණි අමරසේන, ඉනෝකා අමරසේන, ඩග්ලස් රණසිංහ, දයා අල්විස්, ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූහ. සරත් ගුණරත්නගේ අධ්‍යක්ෂණයක්, වාග් දේව් ප්‍රනාන්දු හා අසංකා මොනරවිල               නිෂ්පාදනයෙන් දායක වුණු මෙහි තිරපිටපත අසංකා මොනරවිල රචනා කර තිබේ. 
 
විවාහක බිරින්දෑවරු දෙදෙනෙක්ම මියගොස් තනිවුණු මහාචාර්යවරයකුට පෙම් බැඳි යුවතිය වත්සලාය. ඇය පාසල් ගුරුවරියකි. මහාචාර්යවරයාගේ පළමු විවාහයෙන් ලද දියණිය හා වත්සලා හොඳ මිතුරියන්ය. මහාචාර්යවරයාගේ නිර්මාණයන්වල හොඳ රසිකාවක් ද පාඨකාවක ද වන වත්සලා ඔහුට තදින් ප්‍රේම කරයි. 
 
ඔහුගේ දෙවැනි බිරිඳ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් මියගිය පසු ඔහු නැවත තනි වේ. තනිවුණු ඔහුට වත්සලා පේ‍්‍රමකරත් ඔහුගේ දියණිය එයට එරෙහි වීම මත එම පේ‍්‍රමය බිඳි යයි. ඈ කන්‍යා සොයුරියක් බවට පත්වන අතර ඈ සොයා පැමිණෙන විට මහාචාර්යවරයා හදිසි අනතුරකින් මියයයි. චිත්‍රපටයේ කතාව සැකවින් එසේය. 
 
1986 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකාවට හිමි සම්මානය, මෙම ගීතය ගායනා කළ මාලිනී බුලත්සිංහලට හිමිවිය. ඇයගේ ළයාන්විත හැඟුම්බර හඬ ගීතයේ අර්ථය වඩාත් තීව්‍ර කරමින්, රසිකයාට උපරීම සාධාරණය ඉටුකරයි. එසේම තිස්ස අබේසේකර ගේ ගී පද රචනයත්, කාලෝ විජේසිරිගේ සංගීතයත් ගීතයේ සාර්ථකත්වයට හේතු වී තිබේ. චිත්‍රපටයෙන් වියුක්තව, නූතන පරම්පරාවක් රසවිඳින මෙය, අර්ථපූර්ණ, භාව පුර්ණ අතිශය හැඟුම්බර මියුරු ගීතයකි.