වීණාට පමාවී ලැබෙන ඇගැයුමක්

මාර්තු 23, 2023

 

නළුවෙකු වීමේ කිසිම බලාපොරොත්තුවක් කිසිම අවස්ථාවක මා තුළ නොතිබුණු නමුත්, කුඩා කල සිටම සිංහල චිත්‍රපට නැරඹිමට දැඩි ආශාවක් තිබුණු බව මීට ප්‍රථමත් මම කීප වතාවක් ප්‍රකාශ කර තිබුණු බව නොරහසකි.

කාලයාගේ ඇවෑමෙන් ළමා විය ඉක්මවා ගැටවරයකු වූ පසුද විවිධ සිංහල චිත්‍රපට නැරඹීමටත්, එහි රඟපෑ නළු නිළියන්ගේ රංගනයන් පිළිබඳ නැවත සිතා බැලීමටත් පුරුද්දක් ඇති වී තිබුණි. වෙළඳ අගයන් රැගත් වාණිජ චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ද කලාත්මක ගුණයේ රංගනයන් ඉදිරිපත් කළ නළු නිළියන්ද මේ දෙවර්ගයම එකසේ ජයගත් නළු නිළියන්ද මගේ වර්ගීකරණයට අයත්ය.

වාණිජ චිත්‍රපටවල කතා නායිකාව වූ සමහර නිළියන් කලාත්මක ගණයේ දක්ෂතා පෙන්වූයේ, සිනමාව තුළ යම් කලක් අත්දැකීම් ලබා ගැනීමෙන් පසුවය. කලාත්මක චිත්‍රපටවලින් පැමිණි බොහෝ නිළියන් වාණිජ රැල්ලට අසු නොවූයේ, ඔවුන් සතු තරු ගුණයේ උපරිමයක් නොතිබුණු නිසා යැයි මගේ හැඟීමය. ඉතා ඉක්මනින් මේ දෙවර්ගයම ග්‍රහණය කර ගනිමින් දක්ෂතාවය මෙන්ම ජනප්‍රියතාවයද එක සේ එකවිට, තබා ගැනීමට සමත් වූවෝද මේ අතර විය.

මගේ මතකයේ හැටියට එවැන්නියක් ‘අප්සරා’ චිත්‍රපටයෙන් දොරට වැඩි අතර, එකී අප්සරාවිය ම තම වයසට වඩා වැඩිමහල්, තම ජාතියේ නොවන, නමුත් මනුෂ්‍යත්වයෙන් හා ගුණවත් කමින් පෝෂණය වූ වෙනත් ජාතියේ තැනැත්තෙකුට පෙම් බැදීමට තරම් ගුණවත් මෙන්ම එඩිතර වූ බවද අපි ‘සරුංගලය’ තුළින් දුටුවෙමු.

මේ අන් කිසිවකු නොව, මෙවර රයිගම් සම්මාන උලෙළේ ගෞරව බහුමානයට ලක්වන මා සහෝදර ශිල්පිණී වීණා ජයකොඩිය.

වීණා මට මුලින්ම හමුවන දිනය මතක නැතත් එකී අවස්ථාව අද මෙන් මතකයේ රැදී ඇත්තේ අන් කිසිවක් නිසා නොව, නිරන්තරයෙන්ම සිනාසෙන ඇගේ මුව සහ දෙඇස නිසාය. රෙක්ස් අයියා (රෙක්ස් කොඩිප්පිලි) සමඟ මීගමුවේ පැවති ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක මුහුරත් උලෙළකට යෑමට ඇය අප දෙදෙනාටම ඇයගේ වාහනයේ ඉඩ පහසුකම් සැලසීමට කාරුණික වූවාය. අධික වේගයෙන් රථය ධාවනය කරමින් රෙක්ස් අයියාගේ සමහර වදන්වලට එවැනිම වේගයකින් සිනාසෙමින් ඇය හැසිරුණු කෙළිලොල් ආකාරය ආධුනික නළුවකු වූ මට එක්තරා අන්දමක පුදුමයක් විය. නමුත් ඒ සියල්ලම අබිබවා ඇය තුළ පැවති සරල කමත් සුහද කමත්, මිත්‍රශීලී ගුණයත් මට ඈ කෙරේ යම් ගෞරවයක් ඇති කළේ එවකට ආධුනිකයකු වු මටද රෙක්ස් අයියා නැමැති ප්‍රවීණයාට මෙන්ම දැක්වූ සෙනෙහස නිසාය.

මගේ අවාසනාවට එම චිත්‍රපටය පටන් ගත්තේ නැත. එයට පසු කැමරා ශිල්පී එම්. ඒ ගෆූර් අධ්‍යක්ෂණය කළ ‘ශිරාණි’ නමැති සරල චිත්‍රපටයක ඇයත් සමඟ රඟපෑමට මට අවස්ථාව ලැබිණ. නමුත් වීණා පිළිබඳ මගේ මතකයේ ඇත්තේ ආරියරත්න විතාන නිර්මාණය කිරීමට උත්සාහ කළ ‘ සඳවතිය‘ නමැති චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ මට තිබුණේ අභියෝගාත්මක චරිතයකි. ස්ත්‍රීන් පිළිබඳ දැඩි කෑදර කමක් ඇති, පෞරුෂත්වයෙන් සහ කඩවසම් බවින් පිරිපුන් වතු පාලකයකු ගේ චරිතයකි. ඔහුට වසඟ වූ ස්ත්‍රීන් බොහොමයක් සිටියත් ඔහුට සඳවතිය ගේ (වීණා ගේ) කැමැත්ත ලබා ගැනීමට නම් කිසි විටෙක නොහැකි විය. අනේක විධ උපක්‍රම යෙදුවත් සඳවතිය ගෙන් ලැබුණේ තද බල විරෝධයකි. මේ ගැටුම චිත්‍රපටය පුරා අවසානය තෙක්ම ගමන් කළ අතර එවකටත් අති දක්ෂ නිළියක් වූ වීණා මට හිමිව තිබූ සංකීර්ණ චරිතය හරියාකාරව ඉදිරිපත් කිරීමට සුවිශේෂ සහායක් ලබා දුන්නාය. මේ චිත්‍රපටය තිර ගත නොවුණද වෙනත් ස්වරූපයක් ගත් මගේ නිශ්චල ඡායාරූපයක් දුටු ලෙස්ටර් මහතා පසුකලෙක එතුමාගේ කලියුගය චිත්‍රපටය සඳහා මාව තෝරා ගැනීමට එකී ඡායාරූපයද ඉවහල් වූ බව පසු කලෙක ප්‍රකාශ කළේය.

වීණා ගේ චරිත නිරූපණය සඳහා ඇගේ වයස ඇයට කිසිසේත්ම බාධාවක් නොවීය. කුඩා දරුවන්ගේ මවක් ලෙසද, තරුණ දූ පුතුන් ඇති මවක් ලෙසද එකම අවස්ථාවකදි වෙනස් අයුරින් රඟපාමින් එම රංගනය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ගැඹුරේම තැන්පත් කිරීමට තරම් දක්ෂතාවයක් ඇයට තිබේ.

‘මයුරිගේ කතාව’ සහ ‘සාගරයක් මැද’ ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණයි. අධ්‍යක්ෂවරයා විසින් චරිතයෙන් නිරූපණය කිරිමට අවශ්‍ය දෑ අසා දැන ගන්නා ඇය, ඇය විසින්ම එකි චරිතයට එකතු කළ යුතු දෑද සම්බන්ධ කර ගනිමින් දර්ශනයට අවශ්‍ය පරිදි කළ යුතු දෑ ඇය මනස තුළ රඳවා ගනී. එයින් පසු නැවත වතාවක් සුපුරුදු පරිදි කෙළිදෙලෙන් සහ විවේකයෙන් හැසිරෙන ඇය දර්ශන ගත කිරීමේදී, තම මනස තුළ රඳවා ගත් සියල්ල අඩු නැතුව මුදා හරිමින් අධ්‍යක්ෂවරයාද, චිත්‍රපට චරිතයද ගොඩ දමා දෙයි. මේ අපූරු හැසිරීම ඇයගේ මව නිළියක් වූ නිසා උත්පත්තියෙන්ම ගෙන ආවා යැයි මා සිතන්නේ නැත. මෙය ඇයටම අනන්‍ය වූ රංගන ස්වභාවයක් බව මගේ මතයයි.

‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයේ මගේ බිරිඳ ලෙස රඟපාමින් ඇය දැක් වූ කුසලතාවය මට හොඳීන් මතකය. ඇයගේම පුතු අප දෙදෙනාගේ පුතා ලෙස රඟපෑ නිසා දර්ශන ගැනීම වඩාත් පහසු විය. පුතු සෙනෙහස සහ සැමියාගේ අනියම් සබඳතාවය අතර දෝලනය වූ ඒ චරිතය තුළ ඇයගේ රංගන කුසලතාවය ඔපවත් කිරීමට අපට දර්ශන කීපයකින් හැකියාව ලැබීම නිසාම ඇය හොඳම සහාය නිළිය ලෙස සම්මානයටද පාත්‍ර වූවාය.

එක් අවස්ථාවකදි තම පුතාගේ මෘත දේහය හෙලිකොප්ටරයකින් රැගෙන එන දර්ශනයේදි ඇය මගේ ඇඟට වාරු වූයේ සැබවින්ම සිහි නැති වී ගිය තැනැත්තියක ලෙසිනි. ඇගේ සීතල වු සිරුර මා තුළ අනියත බියක්ද ඇති කිරීමට සමත් විය. ඒ ඇය රංගනයේදි රඟ නොපා චරිතය තුළ ම ජීවත්වන නිසාය.

මේ කාලසීමාවේම ‘දොරකඩමාරාව’ චිත්‍රපටයේත් ඊට ප්‍රථම ‘විමුක්ති’ චිත්‍රපටයේත් මගේ මව ලෙස රඟපෑවේ ඇගේ තාරුණ්‍යය සහ රූප ස්වභාවය රඟපෑම වෙනුවෙන් උගසට තබාය. ඇය පිළිබඳ රංගන නිදර්ශන තවත් ඕනැ තරම් දීමට හැකි වුවත් මෙම ලිපිය දීර්ඝ කිරීමෙන් නීරස කිරීමට මම කැමැති නැත.

චූඩා මාණික්‍යය, තවලම, බාඳුරා මල්, රෑ මනමාලි, සත්‍යග්‍රහණය, කෙළි මඬල, කුලගෙය, සුරබිදෙන, මාරුතය, ලොකුදුව, අරගලය, මේ සඳහා දිය හැකි චිත්‍රපට නාමාවලියේ කොටසක් පමණි.

‘සිහිනය දිගේ එන්න’ සහ ‘සංගිලි’ ද ඇය මා සමඟ රඟපෑ තවත් මගෙ මතකයේ රැඳෙන චිත්‍රපට දෙකකි. විශේෂයෙන්ම ඒ චිත්‍රපට දෙකේ මෙන්ම ඇය සමඟ රඟපෑ බොහෝ චිත්‍රපටවල අප දෙදෙනා හමුවූයේ නිතර ගැටෙන, විරසක වෙන චරිතවලිනි. ඇය සමඟ සුහදතාවයකින්, සෙනෙහසකින් රඟපා ඇති චරිතයක් ඉදිරියේදී හෝ මට ලැබේවිදැයි යන සිතිවිල්ලක් මා තුළ අදටත් පවතී.

විණා මෙලෙස ගෞරව බහුමානයට පත්විම පුදුමයට කරුණක් නොවේ. එය මෙතෙක් ප්‍රමාද විම පිළිබඳ නම් යම් පුදුමයක් ඇති කරන්නේ විවිධ චරිත සඳහා ඕනැම අවස්ථාවක ඉතා කෙටි සූදානමක් තුළ සැකසෙන නිළියක ලෙස අධ්‍යක්ෂවරුන් ඇය පිළිගෙන ඇති බැවිණි.

ඉදිරි කාලය තුළ ඇයගේ රංගනයන් කෙතරම් දුරට අප ට දැක ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබේ දැයි සැකයක් මතු වන්නේ සමස්ත වර්තමානයේ සිනමා කර්මාන්තය සහ කලාව පත්ව ඇති තත්ත්වය නිසාය. එය ඇයගේ අවාසනාව නොව ඔබ අපගේ අවාසනාව ලෙස අර්ථ දැක්වීමට කැමැත්තෙමි.

අනපේක්ෂිත ලෙස ඇයවත් නොදන්නා පරිදි ළදරු වියේම සිනමාවට පිවිසි වීණා අද දවස වනවිට අපගේ සිත් සතන් තුළට යමක් දැනෙන පරිදි, යමක් හැඟෙන පරිදි පුදකර ඇති රංගන චාරිකාව ඉදිරියේදි තව තවත් පුළුල් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

වීණා ඔබට ජයෙන් ජය!

 

[email protected]